වර්තමානයේ පරපුර මෙවැනි ශාක පිළිබඳ දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ. නැතිනම් අනාගතයේ කිසිවෙක් මෙවන් වටිනා ඔසු පිළිබඳ දැන නොගනී. මෙවැනි වටිනා ඖෂධීය ගුණ පිරි ශාක ආරක්ෂා කිරීම අප යොමු විය යුතුය.
අතීතයේ සිටම බෝහෝමයක් රෝග සුවපත් කිරීම සදහා ජනයා භාවිත කළ තවත් ඖෂධීය ශාකයක් ලෙස පාවට්ටා හදුනා ගත හැකිය. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී වෙදමඩු යනුවෙන් හදුන්වන මෙම ඖෂධීය ශාකය , ආඩතෝඩා ,අගල්ලාදාර, වැටහිර, වංඇපල යනාදී විවිධ නාමයන්ගෙන් ද හදුන්වනු ලැබේ. මීටර් 4ක් පමණ උසට වැඩෙන මෙම ශාකය බහු වාර්ෂික පදුරු ශාකයක් වේ. සරල පත්‍ර සම්මුඛව පිහිටයි. පුෂ්ප මංජරියක හට ගන්නා මල් නටුවක් රහිත වන අතර ඒවා පිපුණු පසු ඉතා සුන්දර දසුනක් වේ. පාවට්ටා Acanthaceae උද්භිද කුලයට අයත් ශාකයකි.
පාවට්ටා ශාකයේ ඖෂධීය ගුණ
පුරාණ පාරම්පරික වෛද්‍ය විද්‍යාවන්හි සහ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී බහුලවම සෙම් රෝග සුවපත් කිරීමට භාවිත කරනු ලබන ප්‍රමුඛ පෙලේ ඖෂධයක් ලෙස පාවට්ටා හදුනා ගත හැකිය. ගසේ පංචාංගයම ඖෂධ සැකසීම සදහා භාවිත කරනු ලැබේ.මෙම ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගත හැකි රෝග රැසක් පවතී.
• අතීසාරය සදහා
• ප්‍රවාහිකා සදහා
• මූත්‍ර අඩස්සිය සදහා
• මූත්‍ර දාහය සදහා
• හෘද රෝග සදහා
• මූත්‍ර දාහයට
• ප්‍රමේහය සදහා
• රක්ත පිත්ත සදහා
• රක්තාර්ශස් සදහා
• රක්ත ප්‍රදර සදහා
• ඇදුම ඇතුළු ශ්වසන රෝග සදහා
• ආමවාතය හෙවත් ආතරයිටීස්
• වණ ශෝත සදහා
• කුෂ්ඨ සදහා
• ගුද කීල සදහා
• පණු රෝග සදහා
• චර්ම රෝග සදහා
• රක්තජ රෝග යනාදී බෝහෝමයක් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී මෙම ඖෂධීය ශාකය භාවිත කරනු ලබයි.
පාවට්ටා ඖෂධීය භාවිතය

• පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝග සදහා.පෙනහළු ආශ්‍රිතව ඇතිවන රෝග සදහා ඉතාමත් ගුණදායක ඔසුවක් ලෙස පාවට්ටා හදුනා ගත හැකිය. මේ සදහා පාවට්ටා මල් කැකුලු මදක් වියළා උණු වතුරට මිශ්‍ර කර පානය කිරීම පෙනහළු ආශ්‍රිතව ඇතිවන සෑම රෝගී තත්වයක් සදහාම ඉතා ගුණදායක වේ. මෙම ඖෂධීය පානය කැස්ස ,අධික සෙම් තත්වයන් සමනය කිරීමට ,උගුරේ වේදනාවන් නැති කිරීමට උපකාරී වේ. කැස්ස ,පීනිස , සෙම වැනි පෙනහළු ආශ්‍රිතව හටගන්නා සෑම රෝග තත්වයක් සදහාම වසාවලේහය නම් ඖෂධය ඉතාමත් ගුණදායක වේ.
• ඇදුම සදහා.ඇදුම රෝගය ඇති පුද්ගලයන් සදහා පාවට්ටා කොළ ඉස්ම ගෙන සූදුරු ,ඉගුරු ,සහ රතු ලූණු යුෂ යන ඖෂධීය ද්‍රව්‍ය මිශ්‍ර කර හොඳින් ලිපෙ තබා කකාරා එම පානය පැණි පදමට පැමිණි පසු ලිපෙන් බා නිවුන පසු පානය කරන්න. වාතාශ්‍රය ඇතුළු නොවන පරිදි බෝතලයකට දමා අවශ්‍ය විට පානය කිරීම මගින් මෙම රෝග සුව කර ගත හැකිය.
• කුෂ්ඨ සදහා.මේ සදහා පාවට්ටා කොළ අමුකහ සමග අඹරා ආලේප කිරීමෙන් සුවය ලබා ගත හැකිය.
• සන්ධි ඉදිමුම් සදහා.ආමවාතය හෙවත් ආතරයිටීස් රෝගී තත්වය නිසා ඇතිවන සන්ධි ඉදිමුම් සදහා භාවිතාවන ඔසුවක් ලෙස පාවට්ටා හදුනා ගත හැකිය. මේ සදහා පාවට්ටා කොළ වලින් සන්ධි ඉදිමුම් තැවීම සිදු කරනු ලැබේ.
• මූත්‍ර ආශ්‍රිතව ඇතිවන රෝග සදහා.මූත්‍ර අඩස්සිය, මූත්‍ර දාහය යනාදී රෝග සදහා පාවට්ටා මල් චූර්ණය හෝ පාවට්ටා පංචාංගයෙන් සැකසූ ක්වාතය පානය කිරීම ගුණදායක වේ.
• අම්ලපිත්ත රෝගය සදහා.මේ සදහා පාවට්ටා පංචාංගයෙන් සැකසූ කෂාය හෝ ස්වරසය සිනී හෝ මී පැණි සමග පානය කිරීමට ලබා දෙනු ලබයි.
• කැස්ස සදහා.පාවට්ටා කෂාය මී පැණි සමග පානය කිරීම මේ සදහා ගුණදායක වේ. කල් ගත වූ කැස්ස සදහා පාවට්ටා කොළ ඉස්ම රැගෙන එයට ඉගුරු ඉස්ම සහ මී පැණි මිශ්‍ර කර බීම සදහා ලබා දිය යුතුය. වරකට තේ හැදි දෙක බැගින් දිනපතා උදේ සවස දින අටක් පමණ මෙම ඖෂධය පානය කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය.
• දරු ප්‍රශූතිය පහසු කිරීම සදහා.හක් බෙල්ලන්ගේ අළු සහ පාවට්ටා ශාකයේ මුල් අඹරා නාභි,වස්ති හා යෝනී පෙදෙස් හි ආලේප කිරීමෙන් ප්‍රශූතිය පහසු කරයි.
• රත්පිත් සදහා.රත්පිත් රෝගය සදහා (ලේ අඩු මෙම රෝගයේ උච්චතම අවස්ථාව )පාවට්ටා ශාකයේ පංචාංගයම කෂාය ලෙස සකස් කර හෝ පංචාංගයම භාවිත කර ලබා ගන්නා යුෂ මී පැණි හෝ සීනි දමා පානය කිරීම ඉතා ගුණදායක වේ.
• මූත්‍ර දැවිල්ල හා මූත්‍ර පිටකිරීමේ අපහසුතා සදහා.මේ සදහා පාවට්ටා මල් චූර්ණය ( කුඩු ) තම්බා පානය කිරීම ඉතා ගුණදායක වේ.
• අපස්මාරය සදහා.එනම් වලිප්පුව සදහා පාවට්ටා භාවිතයෙන් සැකසූ තෙල් ආලේප කීරීම ගුණදායක වේ.
• ශරීර දුර්ගන්ධය නැසීමට.පාවට්ටා කොළ හක්බෙල්ලන්ගේ අළු සමග මිශ්‍ර කර ආලේප කිරීම ගුණදායකය.
• අංශභාගය සදහා.අංශභාග රෝගය සදහා ලබා දෙන මහදලු අනුපානයට වෙනත් ඖෂධීය දලු වර්ග කිහිපයක් සමග පාවට්ටා යොදා ගනී.
• තුනටිය අමාරුව, සන්ධි වේදනා, හන්දිපත් ඉදිමුම් සදහා.මෙවැනි රෝග තත්වයන් පවතින අවස්ථාවන්හි පාවට්ටා කොළ හොඳින් අඹරා තුනටියේ සහ හන්දිවල වේදනා ඇති ස්ථානයන්හි ආලේප කළ යුතුය. එමගින් මෙම රෝග නිසා ඇතිවන වේදනාවන් සමනය කර සහනය සලසා ගත හැකිය.
• වාත රෝග සදහා.වාත රෝග ඇති අවස්ථාවන්හි පාවට්ටා කොළ පොට්ටනියේ තම්බා මද රස්නය පිට තැවීමෙන් වාත රෝග සදහා සහනයක් මෙන්ම සුවපත්භාවයක් ලබා ගත හැකිය.
• සෙම වාතය සහිතව ඇති අර්ශස් සදහා.පාවට්ටා පොතු වලින් පොට්ටනි බැද වණ්ඩුවේ තම්බා තැවීම යෝග්‍ය වේ.

• පණුවන් සදහා.පාවට්ටා පස් පංගුව පත අට එකට සිදුවා පානය කිරීම පණුවන් සදහා ඉතා ගුණදායක ඖෂධයක් වේ.
• වසාවලේහය ,වාසාරිෂ්ටය, වාසා පානය ,වාසක පැණිය ,වාසක ඍතය ආදිය පාවට්ටා යොදා නිපදවන ඖෂධ වේ.
පාවට්ටා ශාකයේ වෙනත් භාවිත අවස්ථා පාවට්ටා යනු විෂබීජ නාශකයක් වේ. එනිසා කුඹුරු වලට ජලය ගෙන යන ඇල මාර්ගයන් ආශ්‍රිතව පාවට්ටා ගස් සිටුවනු ලැබේ. එමගින් කුඹුරෙහි පළිබෝධ පාලනය වන බව කියවේ.පාවට්ටා කොළ ,දුම්කොළ ,අනෝදා ඇට ආදිය කොටාගෙන ලබා ගන්නා යුෂ ස්වාභාවික පලිබෝධ නාශකයක් ලෙස භාවිත කරනු ලැබේ.
• පාවට්ටා කොළ දුම්කොළ වෙනුවට බුලත් විට කෑමේදි භාවිත කළ හැකිය. එසේම පාවට්ටා කොළ ඔතා ඖෂධීය දුම්වැටියක් ලෙස ද භාවිත කළ හැකිය.
• පාවට්ටා දලු මැල්ලුමක් ලෙස ද සකසා ආහාරයට ගන්නා පිරිස් සිටී. මී මුරේ ප්‍රදේශයේ ජනතාව මේ සදහා කදිම නිදසුනක් වේ.මැල්ලුම සකස් කිරීමේදී සියඹල කොළ සමග තම්බා ගැනීමෙන් පාවට්ටා කොළ වල ඇති තිත්ත රසය ඉවත් වේ.මෙම මැල්ලුම ඉතා රසවත් වූවක් වේ.සියඹලා පාවට්ටා කොළ මාරුවෙ මාරුවට හට්ටියක අසුරා තම්බා ගත යුතුය.සියඹලා කොළ ඉවත් කර පාවට්ටා කොළ හොඳින් සෝදා සිහින්ව ලියලා මැල්ලුම සකස් කර ගනු ලැබේ.
• මදුරුවන් පළවා හැරීම සදහා ප්‍රබල මදුරු විකර්ශකයක් ලෙස භාවිත කිරීම.
• බෑවුම් සහිත ප්‍රදේශවල පාංශු සංරක්ෂණය සදහා සිටුවීමට උචිත ශාකයක් වේ.
මේ අනූව ගත් විට පාවට්ටා යනු ඖෂධීය ගුණ පමණක් නොව බෝහෝමයක් ප්‍රයෝජන ඇති ඉතා වටිනා ඖෂධීය ශාකයක් වේ.