හිටපු ගමන් බඩ පපුවේ වේදනාව සුව කරන ක්‍රම 6ක්

health tips

අම්ල ප්‍රතිවාහ තත්වය (acid reflux) හෙවත් ආමාශයේ සිට නැවත ආහාර උගුර දෙසට ගලා ඒම අපහසුතා ඇතිකරන ගැටලුවකි.උගුරට හා කටට ආම්ලිකතාවක් නැතිනම් ඇඹුල් රසයක් දැමීම, බඩපපුවේ දැවිල්ල හා උගුරේ අපහසුතා දැනිය හැකියි.මේ තත්වය නිතර ඇතිවෙයි නම් නිසි වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවීම වඩාත් සුදුසුයි. ඔබට ඇතිවන මෙම පීඩාකාරී තත්වය පාලනය කරගැනීමට උපකාරී වන උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ. ආහාර පාන හා එදිනෙදා ජීවන රටාවේ මෙවැනි වෙනස්කම් ඇතිකරගැනීමෙන් ඔබට ඖෂධ වලින් තොරවම මේ තත්වය බොහෝ දුරට පාලනය කරගත හැකිවනු ඇත.

ආහාර වේල් අතර පරතරය තබාගන්න. සෙමින් ආහාර ගන්න.ආමාශය ආහාර පාන වලින් පිරී ඇති විට එහි පීඩනය ඉහළමට මට්ටමක පවතියි.මින් සිදුවන්නේ ආහාර ජීර්ණය සඳහා ඉඩකඩ මදිවි නැවත ආහාර හා අම්ල අන්නස්‍රෝතය නැතිනම් උගුර දෙසට ගලා ඒමයි.එම නිසා අධිකව ආහාර ගැනීමෙන් වළකින්න.දවසේ තුන් වේලටම කුඩා ප්‍රමාණවලින් සමබල ආහාර වේල් ලබාගැනීමට උත්සහ කරන්න.සෑම වේලකටම අධික ලෙස හෝ විශාල /බර ආහාර පාන ගැනීමෙන් වළකින්න. එවිට . පීඩනය අඩු නිසා ආහාර පාන උගුරට ඒම පාලනය වෙයි.ආහාර වේල් අතර හොඳින් කාල පරතරය තබාගන්න. ආහාර සෙමින් සපමින් ගිලින්න.වේගයෙන් ආහාර ගෙන අවසන් නොකළ යුතුයි.

ඇතැම් ආහාර පාන වර්ග ගැනීමෙන් හැකිතාක් වළකින්න අම්ල ප්‍රතිවාහ තත්වය තවත් නරක අතට හැරීමට බලපෑ හැකි යැයි පෙන්වාදෙන මෙවැනි ආහාර පාන වලින් වැළකී සිටින්න. මින්ට් අඩංගු ආහාර, සෝස්, අච්චාරු, මේද බහුල හා ගැඹුරු තෙලේ බැදපු ආහාර වර්ග,තක්කාලි,සැර අධික හා කුළුබඩු අධික ආහාර,ලූනු හා සුදුලූනු,කෝපි, තද කහට තේ, චොකලට්, මද්‍යසාර  වැනි ආහාර ඊට උදාහරණයි.

කාබනීකෘත බීම වර්ග පානය නොකරන්න අධි පීඩනයක් යටතේ වායු මිශ්‍ර කිරීමෙන් සකසන මෙම බීම වර්ග වල බුබුළු ගතිය වැඩියි.මේවා පානය කළ විට එම වායු සිරුර තුළ නිදහස් වී රාමතෙල් හෙවත් ගුඩුස් ලෙස පිටවීමට පටන්ගනියි.ගුඩුස් පිටවන විට අන්නස්‍රෝතය දෙසට ආමාශයික අම්ල ගමන් කිරීම සිදුවිය හැකි නිසා ප්‍රතිවාහ හෙවත් උගුරට එන ගතිය තවත් දරුණු වීමට ඉඩ තිබෙයි.මෙවැනි සෝඩා හා සිසිල් බීම වර්ග වෙනුවට සාමාන්‍ය උණු කර නිවාගත් ජලය පානය කිරීමට පුරුදුවන්න. එය වඩාත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයකි.

ආහාර ගත් පසු ඇඳේ වැතිරීම නොකළ යුතුයි ආහාර පාන පරිභෝජනය කළ පසු යම් නිදිමත ගතියක් දැනීම සාමාන්‍ය වුවත් ඇඳක හෝ පු‍ටුවක වැතිරී නින්දට යාම එතරම් හිතකර අදහසක් නොවෙයි. මින් සිදුවන්නේ ආමාශය ආහාර වලින් පිරී ඇති නිසා එහි ඇති අම්ල උගුරට ගලා ඒම පහසුවෙන්ම සිදුවීමයි. එම නිසා ආහාර ගත් පසු හැකිතාක් කඳ සෘජුව ඇති ඉරියව්වකින් සිටින්න. සිටගෙන  සිටීම, ඇවිදීම හෝ වාඩි වී සිටීම සුදුඩු ඉරියව් ය.

රාත්‍රී නින්දට අවම පැය 2-3කට පෙරවත් ආහාර පාන ගෙන අවසන් කරන්න.දිවා කාලයේ නිදාගැනීම හැකිතාක් නතර කරන්න. රෑ මැද නින්දෙන් අවදි වූ විටක නැවත ඇ‍ඳෙන් නැගිට ගොස් ආහාර පාන වර්ග ගැනීම නොකරන්න. එය අහිතකර පුරුද්දකි. එමෙන්ම ප්‍රමාද නොවී නිසි වෙලාවට ආහාර ගන්න. ආහාර ගත් පසු පැය 2ක් වත් ගත වන තුරු තිව්‍ර ව්‍යායාම හෝ ක්‍රියාකාරකම් වල යෙදීමෙන් වළකින්න. විශේෂයෙන් සිරුර ඉදිරියට හෝ පහළට නැවීමට සිදුවන අභ්‍යාස වල නොයෙදෙන්න.

හිස කඳ කොටසට වඩා උස්ව පිහිටන සේ නින්දට යන්න.කකුල් වලට වඩා ඔබේ හිස අඟල් 6-8ක් පමණ උස්ව සිටින සේ තබාගන්න. මේ සඳහා කොට්ට 2-3ක් පමණ ඔබට භාවිත කළ හැකියි. මෙය ඔබේ නින්දේ ගුණාත්මක බව වැඩිවීමට උපකාර කරයි.මුණින් අතට හෝ උඩු බැලි අතට හැරී නිදනවාට වඩා පැත්තට හැරී නිදාගැනීමෙන් ආහාර පාන නැවත අන්නස්‍රෝතය දෙසට ඉහළට ගලා යාම බොහෝ දුරට පාලනය කරගත හැකියි.

සිරුරේ බර අඩුකරගන්න-අන්නස්‍රෝතයේ පහළ (පිධායක ස්නායුව) කොටසට ආධාරක වී ඇති මාංශ පේශීමය ව්‍යුහය එය තදින් යුක්තව මෙන්ම වැසී පැවතීමට සහය ලබාදෙයි.කෙසේවෙතත් අධි බර පුද්ගලයෙකුගේ සිරුරේ මෙම පේශී කොටසට දැඩි ආතතියක් එල්ල වී පවතියි.එහි බලපෑමෙන් එම අන්නස්‍රෝතයේ පහළ කොටස  අප්‍රාණික වීම සිදුවිය හැකියි.ප්‍රතිවාහ ගැටලු ඇතිවීමට මූලික වන ප්‍රධානම තත්වය මෙයයි.

ස්ථුලතාව හා අධි බර පුද්ගලයින් තුළ අම්ල ප්‍රතිවාහ . GERD රෝග ලක්ෂණ, අන්නස්‍රෝතය ආශ්‍රිත ඛාදනය හා ප්‍රදාහය (erosive esophagitis), උගුර තුවාල වීම හා උගුරේ අපහසුතා හා අන්නස්‍රෝත පිළිකා වැනි ගැටලු අවදානම් ඉහළ බව දත්ත මඟින් සොයාගෙන තිබෙයි. ශරීර බර ඉහළ යාමත් සමඟ පුද්ගලයින් තුළ මෙම රෝග අවදානම් ද ඉහළ යා හැකි බව වැඩිදුරටත් පෙන්වාදී තිබෙයි.

දුම්බීමෙන් වළකින්න-දුම්කොළ වල අඩංගු නිකොටින් වැනි හානිකර රසායනයන් සිරුරට සෘණාත්මක බලපෑම් ඇතිකරයි. ඒවා මඟින් ඉහළට ගමන් කිරීමට නොදී ආමාශයේ අම්ල රඳවාගෙන සිටින අන්නස්‍රෝතයේ පහළ කොටසේ මාංශ පේශී වළල්ල ලිහිල් වීමට හේතුසාධක වෙයි.දුම්පානය කරන කෙනෙකුගේ සිරුරේ මෙම පේශි වළල්ල වඩාත් ලිහිල් වී දුර්වල වන අතට අම්ල ඉහළට නැග ඒමත් සමඟ දැවිල්ල ගතියක් උගුරට දැනෙයි.

දුම්පානය නිසා අභ්‍යන්තර අවයව වල ලිහිසි බව ඇතිකරන ශ්ලේෂ්මල අඩු වී යයි. එනම් ඒවා වියළී යයි.ආමාශය හා අන්නස්‍රෝතයේ ඇතුළත බිත්ති අම්ල වලින් හානියට ලක්වීම වැළැක්වීම සඳහා මෙම ශ්ලේෂ්මල වල තෙතමනය ඉතා වැදගත්ය.මෙම ශ්ලේෂ්මල අඩු වූ විට අම්ල ප්‍රතිවාහ රෝග ලක්ෂණ වැඩිවීමට පටන්ගනියි.

දුම්බොන්නන් තුළ පපු ප්‍රදේශය ආශ්‍රිත ගැටලු අපහසුතා මතුවීම වැඩිය. කැස්ස තත්වය ඉන් ප්‍රධාන එකකි.නිතර ඇතිවන කැස්ස නිසා යටිබඩ අභ්‍යන්තර ප්‍රදේශයේ පීඩනය ඉහළ යයි.මෙසේ ඉහළ ගොස් පවතින පීඩනය නිසා අම්ල ප්‍රතිවාහ තත්වය ද ඉහළ යයි.එම නිසා කැස්ස ඇතිවන හැමවිටම අම්ල උගුර දෙසට ගලා යාමට පටන්ගත හැකියි. මින් බඩපපුවේ දැවිල්ල වැනි ලක්ෂණ ද මතුකරයි.