පිටේ ඇතිවෙන කුරුළෑ සුව කරන ස්වභාවික සත්කාර 17 ක්

health tips

කුරුලෑ අද බොහෝ තරුණ තරුණියන්ට තියෙන පීඩාකාරී ගැටළුවක්. සුලබව දකින්නට ලැබෙන මේ තත්ත්වය තරුණ බවට එළඹීමත් සමඟ ඇතිවන තත්ත්වයක්. මේ කුරුලෑ මුහුණේ,බෙල්ලේ පිටේ වගේම පපුවෙත් ඇති වෙන්නට පුළුවන්. කුරුළෑ ඇතිවෙන්නට යොවුන් වියේදී සමේ තෙල් අධිකව නිපදවෙන ග්‍රන්ථිවල ආදී ක්‍රියාකාරිත්වය. යම් යම් හෝර්මෝනවලට දක්වන අසාමාන්‍ය සංවේදීතාවය, සම මත බැක්ටීරීයා වර්ධනය ආදි හේතු බලපානවා.මේ  කුරුළෑ කැළැල් නිසා ඇතිවන මානසික පීඩනය ඉතා ඉහළයි. ඒ නිසාම මේ සඳහා  නිසි ප්‍රතිකාර කිරීම ඉතා වැදගත්. ඉතින් සමේ මේ වගේ ගැටළුවලදී භාවිතා කරන්නට තියෙන හොඳ නිෂ්පාදනයන් වගේම ප්‍රතිකාරයන් මිල අධිකයි. ඒ නිසා ඉතා පහසුවෙන් තමන්ටම නිවසේදී කළ හැකි ප්‍රතිකාරයන් කිහිපයක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ.

පිටේ කුරුලෑ ඇතිවෙන්නේ ඇයි 

  • මානසික ආතතිය
  • අධික තෙල් සහිත ආහාර නිතර භාවිතය  
  • හෝර්මෝන මට්ටම ඉහළ යාම 
  • ජානමය තත්ත්වයන් 
  • හිස්සොරි තිබීම 
  • අධික ලෙස දහදිය දැමීම 
  • තද ඇදුම් හා කෘතීම ඇදුම් භාවිතය 
  • ෂැම්පු හෝ හිසකෙස් සේදීමට භාවිතා කරන රසායන ද්‍රව්‍ය නිසා ඇතිවන අසාත්මිකතා  
  • නිසි පෝෂනය නොමැතිවීම හා සංකීර්ණ ජීවන රටාව 

පිටේ කුරුලෑ වළක්වා ගන්නට වෙනස් කරගත යුතු පුරුදු 

  • දහදිය දැමූ පසු ස්නානය කරන්න. සමේ පිරිසිදුභාවය සමේ ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා නිරතුරුව සම පිරිසිදුව තබා ගැනීම කුරුලෑ ආදී ගැටලුවලින් මිදෙන්නට උපකාරී වෙනවා.
  • නැවුම් එළවලු පලතුරු බහුල ආහාර වේලක් ලබාගන්න.
  • සබන් භාවිතය නතර කරන්න 
  • හොඳ සුවදායි නින්දක් ලබා ගන්න.
  • සීනි භාවිතය අඩු කරන්න
  • හිස්සොරි ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න.
  • කපු හෝ ලිනන් ඇද ඇතිලි භාවිතා කරන්න. 
  • කෘතීම බීම වර්ග පානය අඩු කර ජලය පානය කරන්න 
  • එලිමහනේ ව්‍යායාම කරන්න.

ස්වභාවික සත්කාරයන්

  • දවසට තුන් වතාවක් පමණ දෙහි බින්දු කිහිපයක් පිරිසිදු වතුරට මිශ්‍ර කර මුහුණ පිට ආදිය සෝදන්න.
  • සතියකට වරක් ලුණු වතුරෙන් ඇඟ සෝදන්න. 
  • ඇපල් සයිඩර් විනාකිරි සහ ජලය 1:2 අනුපාතයකින් මිශ්‍රකර සම සෝදන්න.
  • දෙහි යුෂවලින් පොගවා ගත් කපු රෙදි කැබැල්ලකින් කුරුලෑ ඇති සම පිසදා විනාඩි 10 ක් තබා උණුසුම් ජලයෙන් සෝදන්න.
  • අමු අර්තාපල් ගෙඩියක් මැදින් කපා කුරුලෑ ඇති ස්ථානවල ආලේප කර විනාඩි 30 කින් පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න.
  • කෝමාරිකා ජෙල් කුරුලෑ ඇති සමේ ආලේප කරන්න.
  • කහ කුඩු සහ තල තෙල් එකතු කිරීමෙන් සකසා ගන්නා මිශ්‍රණය ආලේප කරන්න.
  • සුදු ළූණු සහ කරාබු නැටි කිහිපයක් අඹරා ලබාගත් යුෂ අදාල ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 30 තබා සෝදා හරින්න. 
  • බේකින් සෝඩා ස්වල්පයක් ජලය සමඟ මිශ්‍රකර සමේ ආලේප කර හොඳින් මසාජ් කර මඳවේලාවකින් උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • ලුණු, සීනි, පැණි සහ පොල්තෙල් යනාදි සියල්ල එකට මිශ්‍රකර සාදා ගන්නා මිශ්‍රණය කුරුලෑ ඇති සමේ ආලේප කරන්න. මෙය මුළු සිරුරටම භාවිතා කළ හැකි ස්වාභාවික ස්ක්‍රබ් එකක්. මෙයි සතියකට දෙපාරක් සම පිරිසිදු කර ගැනීම සඳහා කුරුලෑ අවම කරගැනීම සඳහාත් යො යොදාගන්නට පුළුවන්.
  • කුරුලෑ ලප, කැළැල් ඉවත් කර ගන්නට වගේම කුරුලෑ කරදරයෙන මිදෙන්නටත්  ඔබ භාවිතා කරන Night Cream එකට කැරට් ඔයිල් බිංදු කිහිපයක් එකතු කර ආලේප කිරීම සුදුසුයි.
  • ඕට්ස් පවුඩර්, රෝස වතුර, මුල්තානි මිට්ටි කියන ද්‍රව්‍යයන් තුන මගින් සාදා ගන්නා මිශ්‍රණයත් මෙහිදී ඉතාම සුදුසුයි. ඕට්ස් පවුඩර් සහ මුල්තානි මිට්ටි යන ද්‍රව්‍ය දෙක රෝස වතුර අවශ්‍ය පරිදි එකතු කරමින් මිශ්‍රණයක් ලෙස සකසා ගෙන කුරුලෑ ඇති ප්‍රදේශයේ සති කිහිපයක් ආලේප කිරීම සුදුසුයි.
  • කොහොඹ කොළ සහ අත් කහ කොටා සකස් කරගන්නා මිශ්‍රණය කුරුළෑ සහිත සමේ ආලේප කරන්න.
  • මී පැණි ආලේප කරන්න. හැකි නම් මෙයට කුරුඳු කුඩු ස්වල්පයක් ද එකතු කර කුරුලෑ සහිත සම ආලේප කර විනාඩි 10-20 තබා සෝදා හරින්න.
  • මී පැණි, කහ කුඩු සහ කඩල පිටි ස්වල්පය බැගින් එකතු කර සකසා ගත් මිශ්‍රණය ආලේප කිරීමත් කුරුලෑ සඳහා ඉතා සුදුසුයි. මෙය වියළුණාට පසුව සෝදා හරින්න. 

සැලකිය යුතුයි.

  • කුරුළෑ කිසිවිටෙකත් කැඩීම හෝ මිරිකීම නොකළ යුතුයි. නිතර බිබිලි මිරිකීම හෝ ස්පර්ශ කිරීම කුරුලෑ වැඩිවීමට වගේම කැළැල් ඇති වෙන්නටත් හේතුවෙනවා.
  • දන්තාලේප සුවඳ විලවුන් කුරුලෑ මත ගැල්වීම නොකළ යුතුයි. එය කුරුලෑ වැඩි වෙන්නට හේතුවිය හැකියි. 
  • කුරුළෑ ඇති ඔබ රූපලාවන්‍ය ආලේපන භාවිතය අවම කළ යුතුයි. නිතරම සම පිරිසිදුව තබා ගැනීම එහිදී ඉතා වැදගත්.
  • මේ කුරුළෑ සඳහා වන ප්‍රතිකාර සමේ ස්වභාවය අනුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි. පිටේ සහ පපුවේ බෙල්ලේ අධික ලෙස කුරුලෑ ඇති වන්නේ නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් කර යොමුවිය යුතුයි.