ඇඳ මකුණන් දෂ්ඨ කිරීමෙන් ඇතිවන බිබිලි සදහා නොවරදින පිළියමක්

health tips

ඇඳ මකුණන්  ඉතාම කරදරකාරී සතුන් බව  ඔයත් දන්නවා ඇති.  ඇඳ ඇතිරිලි  මෙට්ට කොට්ට  වාසස්ථාන කර ගත් ඇඳ මකුණන්  වැඩි වශයෙන් ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලයේ දී . ඒ නිසා රාත්‍රී කාලයට සුවදායි නින්දක් ලබා ලබා ගන්නත් අපිට මේ මකුණන් නිසා හරි අපහසුයි. මකුණු කරදරයෙන් බේරෙන්නට වෙළඳපොලේ විවිධ බෙහෙත් වර්ග තිබුණත් ඒවා ප්‍රතිඵලදායක  නොවෙන තත්වයට පත්වෙන අවස්ථාත් තියෙනවා.

එක මකුණෙකුගෙන් විශාල මකුණු ගහණයක් වර්ධනය වෙන නිසා ලෙහෙසියෙන් වඳ කර ගන්නට බැරි  කරදකාරී  සතුන් විශේෂයක්.  ඔවුන්ගේ ගැහැණු සතුන් වරකට බිත්තර සිය ගණනක් දමන නිසා ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. මකුණන් කෑම නිසා ඇතිවුණ වේදනාව, කුඩා බිබිලි සහ තුවාල ආදී  ආසාත්මිකතා ගැන අත්දැකීම් ඔයාටත් ඇති.

මකුණන් වඳ කර ගන්නට උත්සාහ කරන අතරේ මකුණු දෂ්ටනවලදී ඇතිවන කැසීම්  තුවාල සහ ඉදිමුම් නැති කරගන්නට  නිවසේ දී කරන්නට පුළුවන් පිළියම් ගැනත් ඔයා දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. මේ සඳහා අපිට කල හැකි පිලියම්  ගැන අද කතා කරමු.

 මුලින්ම මකුණන් දෂ්ට කළ ස්ථාන හොඳින් සබන් යොදා සෝදා හරින්න. එය සමේ කැසීම් සහ ආසාදනය අඩු කරගන්නට උදව් වෙනවා. ඉන්පසුව ඔබට එහි රතු පැහැය නැතිකර ගන්නට මේ ස්වභාවික පිළියම් භාවිතා කරන්නට පුළුවන්.

ලෙමන් යුෂ

 විෂබීජ නාශක ගුණයක් සහිත ලෙමන් මකුණන් දෂ්ඨ කිරීම නිසා ඇතිවන හානිය අවම කර ගන්නට අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ නිසා ඇතිවෙන වේදනාවන් බොහෝ දුරට අඩු කර ගන්නටත්  මෙයින් හැකියාව ලැබෙනවා.  මේ සඳහා ලෙමන් යුෂ ස්වල්පයක් ගෙන ආසාදනයට ලක්වුණ ප්‍රදේශවල ආලේප කර විනාඩි පහළොවක් පමණ තියෙන්නට හරින්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න. මෙය කුඩා රතු පැහැති බිබිලි ඉතා ඉක්මනින් වියලා සුවපත් කරගන්නට උදව්වෙන සත්කාරයක්.

කෝමාරිකා

 සමේ ඇතිවන පිළිස්සුම්, කෘමි දෂ්ටන හෝ වෙනත් ආසාදන ඉතා ඉක්මනින් සුවපත් කර කරගන්නට සහ වේදනාව අඩුකර ගන්නට භාවිතා කරන්නට පුළුවන් වටිනා ඖෂධයක් තමයි කෝමාරිකා. මකුණන් කෑම නිසා ඇතිවන ආසාදන තත්වයන් සහ වේදනාව ක්ෂණිකව අඩු කරගන්නට මේ කෝමාරිකා අපට භාවිතා කරන්නට පුළුවන්. කෝමාරිකා මදය සූරා මකුණන් දෂ්ඨ කළ ස්ථානවල ආලේප කර මද වේලාවක් තියෙන්න හැරලා සෝදා හරින්නට පුළුවන්. මෙය දවසට දෙතුන් වරක් කිරීමෙන්  හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

අයිස් කැට 

 මකුණන් දෂ්ඨ කිරීම නිසා ඇතිවන කැසීම් තත්ත්වයන්, ඉදිමීම, වේදනාව, රතු පැහැ බිබිලි ඉතා ඉක්මනින් සුවපත් කරගන්නට ඔබට අයිස් කැට භාවිතා කරන්නට පුළුවන්. අයිස් කැටයක් අරගෙන පිරිසිදු රෙදි කෑල්ලක ඔතා  මකුණන්  දෂ්ඨ කළ ස්ථානවල විනාඩි දහයක් පමණ තබමින් හොඳින් තවන්න. මෙය ඉදිමුම අඩු කරගන්නත් ඉතාම හොඳ ප්‍රතිකාරයක්. 

බේකින් සෝඩා

 බේකින් සෝඩා තේ හැඳි එකකට වතුර තේ හැඳි තුනක් එකතු කර හොඳින් කලවම් කර සාදන ආලේපය  මකුණන් දෂ්ට කළ ප්‍රදේශවල හොඳින් ආලේප කරන්න. මෙය විනාඩි 10-15 ත් අතර කාලයක් තියෙන්නට හැර සෝදා හරින්න. දිනපතා මෙය දෙතුන් වරක් සිදු කිරීමෙන් මකුණන් දෂ්ඨ කිරීම නිසා ඇතිවන. ආසාදන තත්වයන් ඉතා ඉක්මනින් සුව කරගන්නට පුළුවන්. 

තේ බෑග්

තේ සකස් කරලා අවසන් වුණාට පස්සේ තේ බෑග්  ඉවත නොදා ඒවා ශීතකරණයේ  ගබඩා කර තබා ගැනීමෙන් පිලිස්සුම් තුවාල ඇතුළු වෙනත් සමේ ආසාදනවලදී ඔබට අවශ්‍ය වේලාවට භාවිතයට ගන්නට පුළුවන් හොද සත්කාරයක්. මකුණන් නිසා ආසාදනයට ලක්වූ ප්‍රදේශවල විනාඩි 15 ක පමණ කාලයක් මේ තේ බෑග් තබාගන්න. එය  ක්‍රමයෙන් වේලෙන්නට හැර ඉවත් කරන්න.මේ සත්කාරය දිනකට දෙවරක් කිරීමෙන් මකුණන් දෂ්ඨ කිරීම නිසා සමේ ඇතිවන අපහසුතාවන් දුරු කරගන්නට පුළුවන් .

පිපිඤ්ඤා

සිසිල් කාරක ගුණයෙන් යුක්ත පිපිඤ්ඤා සමේ තියෙන දැවිල්ල, කැසීම, ලප, බිබිලි ආදිය සුව කරගන්නට ඉතා හොඳ සාර්ථක පිලියමක්. මේ සඳහා පිපිඤ්ඤා ගෙඩියකින් ස්වල්පයක් ඇට සමඟ අඹරා ගෙන එහි යුෂ භාවිතා කරන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් පිපිඤ්ඤා පෙති ගෙන මකුණන් දෂ්ඨ කළ ස්ථානවල ආලේප කරන්නත්  පුළුවන්. මේ මගින් මකුණන් කෑම නිසා ඇතිවුණු කැසීම්වලට සහනයක් ලබාගන්නට පුළුවන්. මෙය ආලේප කර විනාඩි විස්සත් තිහත් අතර කාලයක් තියෙන හැර සෝදා හරින්න. දවසට දෙපාරක් මෙය සිදු කරන්න පුළුවන් නම් ඉතාම හොඳයි.

මකුණන් සම්බන්ධව එක්තරා පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකට අනුව සොයාගෙන තිබුණේ මකුණන්ගේ වඩාත් ආසම පාටවල් කළු සහ රතු වන බවත්  කොළ සහ කහ පාට ඔවුන් වැළකුණු පාටවල් වූ බවයි. ඉතින් ඔබට යම්තාක් දුරකට හෝ මේ මකුණු කරදරයෙන් ගැලවෙන්නට ඔබේ නේවාසිකාගාරයේ බෝඩිමේ එහෙමත් නැත්නම් ඔබේ නිදන කාමරයේ තියෙන රතු සහ කළු ඇඳ ඇතිරිලි ඉවත් කරලා මකුණන්ගෙන්  ආරක්ෂා වෙලා ඉන්නත්  උත්සාහයක් ගන්නට පුළුවන්.