මුත්‍රා ගල් වකුගඩු රෝග නසන පොල්පලා පානය

health tips

එදා පැරැන්නන් නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වුණා. නමුත් අද කුඩා වයසේ සිටම දියවැඩියාව කොලෙස්ටරෝල් ආදී මෙකී නොකී රෝග රැසකින් බාල මහලු තරුණ හැමෝම පීඩා විදිනවා. තාක්ෂණික වශයෙන් දියුණුවෙමින් යන ලෝකයේ ජීවත් වෙන අපි අද ගත කරන්නේ ඉතාම සංකීර්ණ ජීවන රටාවක්. තරගකාරී ගමනක්. ඒ නිසාම අපේ වැරදි ආහාර හා වැරදි චර්යාවන් නිසා අපිට ලෙඩ රෝග වැළදීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා.ඒ නිසාම ස්වභාදහමට අවනත නොවූ අය දැන් ස්වභාදහමට අවනතවෙමින් ස්වභාදහමෙන් තමන්ගේ ලෙඩ රෝගවලට පිළියම් සොයනවා. ආයුර්වේදය එවැනි බොහෝ අයට සැනසුමක් ගෙනදී තියෙනවා. ඉතින් ඒ නිසාම මෙතුවක් කල් වැඩි අවධානයක් යොමු නොකරපු මේ මහ පොළවේ ස්වභාවිකව වැඩෙන ඉතා වටිනා ඖෂධ පැලෑටි සම්බන්ධයෙන් ජනතාව වැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. ඉතින් එවැනි කාලයක රෝග රැසකට ගුණදෙන ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත පැලෑටියක් පිළිබඳව තමයි මේ කියන්නට යන්නේ. ඒ තමයි පොල්පලා.

පොල්කුඩු පලා, පහනබෙය කියන නම්වලින් හඳුන්වන පොල්පලාවල උද්භිද විද්‍යාත්මක නාමය Aerva lanata වෙයි. දෙමල බසින් සිරුනුලෙයි තේන්ගායිපු නමින් හඳුන්වන මේ ඖෂධ පැලෑටිය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ඇති මේ පොල්පලා ඉන්දියාවේ පවතින පොල්පලා පැලෑටියට වඩා ක්‍රියාකාරිත්වයෙන් වැඩි බව සඳහන් වෙනවා. එය අස්වැන්න පොල්පලා විදියටයි හඳුන්වන්නේ. ඉන්දියාවේ ඇති පොල්පලා පුස්වැන්න ලෙසටයි හඳුන්වන්නේ.නමුත් මේ වටිනා පොල්පලා පැලෑටිය ප්‍රයෝජනයට ගන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් රෝග රැසකටම ගුණදායක දේශීය වෙදකමේ නිතර භාවිතා වෙන ඖෂධයක් තමයි පොල්පලා කියන්නේ. රුසියාව, ජර්මනිය වගේ රටවලත් වකුගඩු පිරිසිදු කරන පානයක් ලෙසට ඉතාමත් ප්‍රචලිතයි මේ පොල්පලා.

මෙය බූව සහිත දුර්වල කඳක් සහිත ශාකයක්. පත්‍ර ඒකාන්තරයි. පුෂ්ප රාශියක් පවතියි.වසර පුරාම මල් පිපෙන පොල්පලා පැලෑටියේ හොඳින් මේරු වියළි කිනිති පොඩිකර බීජ ලබාගෙන වැපිරිය හැකියි. වර්තමානයේ පොල්පලා ශාකයට ඉහළ ඉල්ලුමක් ඇති නිසා මෙය වගාවක් ලෙසට වගා කරන්නට හැකියි. ලංකාවේ වැඩෙන පොල්පලාවල ගුණය පළාත් අනුව තරමක් වෙනස් වනවා.නමුත් සමස්තයක් වශයෙන් පොල්පලාවල ඖෂධීය ගුණයෙන් යුතු නිසා ප්‍රයෝජනයට ගත හැකියි.

පොල්පලා භාවිතයට ගත හැකි ආකාර 

පොල්පලා එදා ගැමියාගේ ආහාරවේලේ මුල් පෙලේ වැජඹුණත් අද අපි මේ විස්මිත ඔසු පැලය ආහාරයට එකතු කරගන්නේ නැති තරම්. පොල්පලා මැල්ලුමක් වශයෙන්,ව්‍යංජනයක් වශයෙන්,කැඳ වශයෙන් හෝ වියළීමෙන් තේ වශයෙන් ද භාවිතයට ගන්නට පුළුවන්.

  • මල් හටගැනීමට පෙර ලපටි පොල්පලා පැල කව්පි අහුරක් හෝ කොස් ඇට දමා ව්‍යංජනයක් ලෙස ආහාරයට ගත හැකියි.
  • ලපටි පොල්පලා කොළ, රතු ළූණු, උම්බලකඩ, දෙහි හා පොල් දමා අමුවට රසවත්ව සම්බෝලයක් ලෙස සකසා ආහාරයට  පුළුවන්. 
  • පොල්කිරි සහ සහල් මිටක් දමා කොළ යුෂවලින් පොල්පලා කැඳ සාදා රසවත්ව පානය කළ හැකියි.

පොල්පලා සතු ඖෂධීය ගුණයන් 

මුත්‍ර  මාර්ගයේ ඇතිවන ගල් දිය කරයි. මුත්‍රා  ආසාදන සුව කරයි.මුත්‍රාශයේ හට ගන්නා ගල් සඳහා අමු පොල්පලා ගසක් සම්පූර්ණයෙන්ම ගෙන සෝදා පිරිසිදු කර කුඩා කැබලිවලට කපා වතුර බෝතලයක් මැටි මුට්ටියකට දමා එයට කපාගත් පොල්පලා ටික එකතුකර මද ගින්නේ තේ කෝප්ප 5 ක ප්‍රමාණයට සිඳගන්න.රාත්‍රී ආහාරයෙන් පැයක් ගතවීමෙන් පසුව තැම්බූ පොල්පලා වතුර පෙරා පානය කරන්න.මෙය දවසක් හැර දවසක් පානය කිරීම සුදුසුයි.

ශරීරය සිසිල්  කරයි.මේ සඳහා වියළි පොල්පලා තම්බා එම වතුර දවසට දෙවරක් බැගින් පානය කරන්න.දින තුනකට වරක් පානය කිරීමෙන් හිරුගෙන් ශරීරයට වන හානි අවම කර සමේ තෙතමනය ආරක්ෂා කරයි. 

  • ඇදුම රෝගයට ගුණදෙයි. 
  • ශක්තිය වඩවයි.
  • දාහය, උණ ,ස්වාසය නසයි.
  • ලේ අතීසාරය,කැස්ස, ඇදුම, උගුරේ ආසාදන හා අර්ශස් රෝගයට ප්‍රතිකාර සඳහා පොල්පලා භාවිතා කරයි.
  • ගොනෝරියාව නම් ලිංගික රෝගයට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයේ පොල්පලා භාවිතා කරයි.
  • පිපාසයට හිතකරයි.
  • වාත රෝගවලට ගුණදායකයි.
  • අවුරුද්දට අඩු දරුවන්ගේ දිරවීමේ පහසුව ඇති කරයි.

මේ සඳහා පොල්පලා දළු, රතු ළූණු හා පොල්කිරි දමා පිස ආහාරයට දීමෙන් අනිකුත් ආහාර දිරවීමට ආහාර මාර්ගයත් සූදානම් කරනවා.

  • සිහිවිකලත්වයට ගුණදෙයි.
  • පොල්පලා වියළි කොළ සහ මල් ගිනි අඟුරු මත දමා දුම් ඇල්ලීමෙන් සුවයක් ලබාගත හැකියි.
  • හිසරදය සුව කරයි. 

පොල්පලා මල් ඇල් ජලයෙන් අඹරා නළල මත පැලැස්තරයක් දැමීමෙන් හිසරදය සුවවෙයි.

ගෝනුසු හා පත්තෑ ආදී සර්ප විෂ නසයි. මෙහිදී පොල්පලා ශාකය ඇල්  වතුරෙන් අඹරා දෂ්ඨ මුඛයේ ආලේප කළ යුතුයි.

  • පොල්පලාවල ඇති ප්‍රති පරපෝෂිත ගුණය නිසා කුඩා දරුවන්ගේ පණු අමාරුවට ගුණදායකයි.
  • බොහෝ වේදනාවන්ට වේදනා නාශකයක් ලෙස ගුණදායකයි. 

පොල්පලා කොටා වණ්ඩුවේ වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනියක තබා තැවීමෙන් කොන්ද කැක්කුම් ආදී වේදනාවන් සමනය වෙයි.

  • වකුගඩුවල පෙරීමේ ගුණය වැඩිකර ශරීරයෙන් දියර ඉවත් කරමින් මුත්‍ර මාර්ගය පිරිසිදු කර ක්ශුද්‍ර ජීවින් විනාශ කරයි. 
  • භාෂ්මික ගුණ ඇති පොල්පලා ආම්ලික බව නැති කරයි.
  • පිළිකා සෛල විනාශ කරයි. 
  • මැලේරියා රෝගය අවම කරයි.
  • අසාත්මිකතා වළකයි.
  • අක්මා පටල ප්‍රතිසංස්කරණය කරයි.
  • රුධිරගත සීනි මට්ටම පාලනය කරයි.
  • මේදය අඩු කරයි.
  • හෘද රෝග වළකයි.
  • ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

පොල්පලා පානය 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • අමු පොල්පලා මිටක් 
  • ලුණු ස්වල්පයක් 
  • සීනී තේ හැඳි 2 ක් 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්
  • දෙහි ස්වල්පයක් 

සාදා ගන්නා ආකාරය -අමු පොල්පලා මිටක් ගෙන හොඳින් සෝදා කුඩා කැබලිවලට කඩා බ්ලෙන්ඩරයකට දමා වතුර එකතු කර බ්ලෙන්ඩර්  කර ගන්න. එය වීදුරුවකට පෙරා ලුණු ගම්මිරිස් සහ සීනි දමා කලවම් කර දෙහි ස්වල්පයක් ද එකතු කර හොඳින් මුසුකර පානය කරන්න.

පොල්පලා මැල්ලුම -පොල්පලා දළු ගෙන කුඩා වෙන්නට අතින් කඩා ගන්න.එයට ගා ගත් පොල්, සිහින්ව ලියාගත්  අමු මිරිස් කරලක් , සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩියක්, සිහින්ව ලියාගත් සුදු ළූණු බිකක් සහ අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යොදාගන්න.මේ සියල්ල හොඳින් අනා එළගිතෙල් ස්වල්පයක් සමඟ මිශ්‍රකර මද ගින්නේ යන්තම් මලවා ගෙන ආහාරයට ගන්න. මෙහිදී පොල්පලා කඳ කොටසත් මල් කොටසත් මැල්ලුමට එකතුවීම අනිවාර්යයි.

සැලකිය යුතුයි.-පොල්පලා නියම මාත්‍රාව ඉක්මවා ආහාරයට ගැනීම භයානක ප්‍රතිඵල ඇති කරනවා. ඇතැම්විට වකුගඩුවල ඇති සියුම් නාල පවා විනාශ විය හැකියි. එබැවින් පොල්පලා පානයට වඩා අවදානම මගහැරීම සඳහා පොල්පලා මැල්ලුම සතියකට දවසක් දෙකක් එකතු කර ගැනීම ප්‍රමාණවත්. ප්‍රතිකාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පිළිපදින්න.