සර්ප විෂ නිසා ජීවිතේ නැතිවෙන්න ගිය රෝගීන්ට නැවත පන දුන් කිරි අඟුණ කොළ සතු ගුණ 14 ක්

health tips

ඈත අතීතයේ ඉඳලම පෝෂණීය ආහාර වේලක් සඳහා කුමන හෝ පලා වර්ගයක් ආහාරයට එකතු කරගන්නට එදා ගෘහණියන් අමතක කළේ  නැහැ. ඒත් අද වෙද්දි සංකීර්ණ ජීවන රටාවත් එක්ක අවට වටපිටාවේ හැදෙන වස විස නැති පලා වර්ග කොතෙකුත් තිබුණත් ඒවා අපේ බත්පතට එකතු කරගන්නට අපේ ගෘහණියන්ට වේලාවක් නැහැ. එහෙමත් නැත්නම් ඔවුන් නිතරම ආහාරයට එකතු කරගන්නේ ගොටුකොළ මුකුණුවැන්න වගේ සාම්ප්‍රදායික පලා වර්ග කිහිපයක් විතරයි.

 බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේ මහ පොළොවේ  ගුණයෙන් වැඩි පහසුවෙන් සපයා ගන්නට හැකි පළා වර්ග ඕනෑ තරම් දකින්නට තියෙනවා. නමුත් ඒවා හඳුනන්නේ සුළු පිරිසක් නිසා ඒවා ආහාරයට එකතු වෙන්නේ හරිම අඩුවෙන්. සෑම පලාවකින්ම අපේ ශරීරයට ලැබෙන පෝෂක ගුණය හැරුනහම ඇතැම් රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට සහ ඒ රෝග  සමනය කරගන්නටත්  හැකියාවක් සහිත පලාවන් අප අතර තියෙනවා. 

කිරි අඟුණ කොළ කියන්නෙත් පහසුවෙන්  හොයාගන්න පුළුවන් රසවත් ගුණදායි පලාවක්. මේ කිරි අඟුණ ශාකය ගෙවත්තේ කුඩා බදුනක  වුණත් පහසුවෙන් වගා කර ගන්නට පුළුවන්. ඒ වගේම ඒවා අමුවෙන් ප්‍රයෝජනයට ගැනීම පිළිබඳ විශේෂ ශාකයක්. සාමාන්‍යයෙන් අපි සුලභව භාවිතයට ගන්නා පලා වර්ග හා සසඳා බලන විට කිරි අඟුණවල කැල්සියම්, පොස්පරස් සහ යකඩ ඉහළ ප්‍රතිශතයකින් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කිරි අගුණවල විටමින් ඒ සාදනු ලබන බීටා කැරටින් පදාර්ථත් ඉහළ අගයකින් අඩංගු වෙනවා.

 ගොටුකොළ වගේම අඟුණ කොළ සම්බෝලයක් පිළියෙල කිරීමේදී බොහෝ වේලා තබා ගන්නවාට වඩා ඒ අවස්ථාවේදීම පිළියෙල කර ආහාරයට එකතු කර ගැනීමෙන් එහි අන්තර්ග ගතවෙන විටමින් සී ප්‍රමාණය නොඅඩුව අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. මෙන්න මේ නිසාම ඉස්සර කාලේ අපේ මුතුන් මිත්තන් අඟුණකොළ මැල්ලුම මලවා ගත්තේ බත් මුට්ටියේ බත උයා අවසන් කර බත නිවෙන්නට ලිපේ තිබියදී බත උඩින් කෙසෙල් කොළයක් එළාගෙනයි. ඒ ක්ර්මවේද නිසා පලාවේ නියම රසය ගුණය වගේම වර්ණයත්  හොඳින් ආරක්ෂා වුණා. 

කිරි අඟුණ ශාකයේ කොළ පමණක් අපි ආහාරයට එකතු කරගත්තත් ඒවායේ ඇති කරල් ද ව්‍යංජනයක් විදිහට සකස් කර ගන්නට පුළුවන්. මේ කිරිඅඟුණ කොළ සම්බෝලයක් වශයෙන් මැල්ලුමක් වශයෙන් වගේම ව්‍යංජනයක් විදිහටත් ආහාරයට එකතු කරගන්නට හැකියාව තියෙනවා. නමුත් මේවා පිසීමේදී පෝෂණ ගුණය ආරක්ෂා වන ආකාරයට පිස ගැනීමට ගෘහණියන් වන ඔබ දැනුවත් විය යුතු වෙනවා.

 කිරි අඟුණ කොළ ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

කිරි දෙන මව්වරුන්ට ඉතාම ගුණදායකයි.දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ගේ කිරි හිඟකම සඳහා මේ අඟුණකොළ ඉතාම ගුණදායකයි. ඒ වගේම මව්කිරි දරුවාට ප්‍රමාණවත්ව ලබාදුන්නත් වෙනත් අපහසුතාවලට දරුවා ලක්වන අවස්ථා තියෙනවා. විශේෂයෙන්ම කිරි බීමෙන් පසු බඩ පුරවා දැමීම, කිරි වමනය, මල පිටවීමේ වෙනස්කම් සහ අජීර්ණ තත්ත්වයන් මේ හේතුවෙන් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවක දී මවට ලබාදිය හැකි සුදුසුම ප්‍රතිකාරය සහ ගුණදායකම ආහාරය තමයි මේ කිරිඅඟුණ කොළ මැල්ලුම.

මල බද්ධය වළක්වනවා විශේෂයෙන්ම ඕනෑම වයසක පසුවන අයෙකුට ඇතිවන මලබද්ධය සමනය කරගන්නට වගේම දරු ප්‍රසූතියට පෙර ගර්භනී කාලයේ ඇතිවන මලබද්ධයට විසඳුමක්  විදිහටත් මේ කිරි අඟුණ කොළ මැල්ලුම සඳහන් කරන්න පුළුවන් .

  • ශරීරයේ විෂ නසනවා.
  • සර්ප විෂ නැසීමට උදව් වෙනවා.
  • පණු රෝගවලට ඉතාම ගුණදායකයි.
  • ඇස් පෙනීම  වර්ධනය කරනවා.
  • ලිංගික ශක්තිය වර්ධනය කරමින් ලිංගික බෙලහීනතා දුරු කරනවා. දරුඵල ලබා ගන්නට උපකාරී වෙනවා. 
  • ශරීරයේ ඉදිමුම්  සමනය කරනවා.
  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • රුධිරය පිරිසිදු කිරීමේ ගුණයකින් සමන්විතයි.
  • අධි රුධිර පීඩනයට ගුණදායකයි.
  • සීනි මට්ටම යහපත්ව පවත්වා ගන්නට උපකාරී වන නිසා දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
  • කැස්ස සහ ඇදුම ආදී රෝග තත්ත්වයන්ට සහනය සලසනවා. 

සුව නොවන සෙම් රෝග සඳහා කිරි අඟුණ දළු, ඔලිඳ දඩු, පාවට්ටා දළු සමව ගෙන අමු ඉඟුරු ස්වල්පයක් දමා එකට කොටා වණ්ඩුවේ තම්බා ගෙන ඒ මිශ්‍රණයෙන් යුෂ ලබාගන්න. ඒ යුෂවලට සීනි මීපැණි දමා මේස හැඳි එක බැගින් වරින් වර පානයට ලබා දෙන්න . මෙය  ළදරුවන්ට වරකට තේ හැඳි එකක් හෝ දෙකක් ප්‍රමාණවත් වෙනවා.  

සර්ප විෂ සඳහා සර්පයන් දෂ්ට කිරීමෙන් ඇතිවන හදිසි තත්ත්වවලදී කිරි අඟුන මුල් දෙහි ඇඹුලින් අඹරා දෂ්ට මුඛයේ ආලේප කිරීම සිදු කරනවා. ඒ වගේම කිරි අඟුණ කැඳ සකස් කර ලබාදීම  සර්ප විෂට වගේම මී විෂටත් ඉතාම ගුණදායකයි. 

ඒ හැරුණාම අමු කහ කැබැල්ලක්, කිරි අඟුණ කොළ, තුඹ කරවිල අල සම ප්‍රමාණයන්ගෙන් ගෙන කොටා මිරිකා යුෂ ගෙන රත්කර බල්ලන් සපා කෑ තුවාලයේ  හෝ සර්පයන් දෂ්ට කළ ස්ථානයේ ආලේප කරන්න.

 කනේරු කෑම නිසා ඇතිවූණ වමනය, බඩේ කැක්කුම හෝ හුස්ම ගැනීම වේගවත් වීම ආදී අපහසුතාවයන් සඳහා කිරි අඟුණ කොළ,බුලත්,  ආඩතෝඩ කොළ රතුළූණු ආදිය කොටා මිරිකා ගත් යුෂ රත්කර පානයට ලබා දෙනවා. එයින් කනේරු විෂ නැති කරගන්න පුළුවන්.

 කැඩුම් බිඳුම් ආදිය සඳහා මෙවැනි අවස්ථාවකදී නිවසේදී පහසුවෙන්ම කිරි අඟුණ භාවිතයෙන් සහනය සලසා ගන්න පුළුවන්. කිරි අඟුණ කොළ, පැපොල් කොළ පොල් සමඟ  කොටා මිරිකා ගත් යුෂ වලට අසමෝදගම්, පල්ලමානික්කම්, කහ සහ කළු දුරු සමාන ප්‍රමාණවලින් කුඩුකර දමා මද අව්වේ වියළා සිඳගත් තෙල් භාවිතා කරන්නට පුළුවන්. 

කිරි අඟුන කොල ව්‍යංජනය සකසා ගන්නා ආකාරය

 අවශ්‍ය ද්‍රව්‍ය

  •  පිරිසිදු කරගත් කිරි අඟුණ කොළ
  •  මිටි කිරි
  •  රතු ළූණු 
  •  සුදුළූණු 
  •  අමුමිරිස්
  •  කුරුඳු
  •  කරපිංචා
  •  උළුහාල් ඇට කිහිපයක්
  •  ගොරකා කැබැල්ලක්
  •  ලුණු

 මුලින්ම සෝදා පිරිසුදු කර ගත් අඟුණ කොළ තරමක කෑලිවලට කඩා පැත්තකින් තියාගන්න. ඉන්පසුව පොල් කිරිවලට ලූනු, සුදුලූනු, කුරුදු, උලුහාල්, කරපිංචා, ගොරකා ලුණු ආදිය පදමට එකතු කර මිශ්‍ර කර ලිප තබා ගන්න. ඉන්පසු එය තැම්බෙන විට කඩාගත් අගුණ කොළ ටික එකතු කර තරමක් රන්වන්පාට වන විට ලිපෙන් ඉවත් කරගන්න.

 කිරි අඟුන කැද සාදාගන්නා ආකාරය මේ කිරි අඟුණ කොළ කැඳ අතීතයේ ගැමියන් භාවිතයට ගත්තේ සර්ප විෂ මී විෂ ආදිය ශරීරයට ඇතුල් වූ  විට ඒවා ඉවත් කර ගැනීම සඳහා. 

අවශ්‍ය ද්‍රව්‍ය

  •  කැකුළු සහල් මිටක්
  •  කිරි අඟුණ කොළ මිටක්
  •  ගා ගගත් පොල් 
  • සුදුළූණු  බික් දෙකක් 
  • අමු ඉඟුරු කෑල්ලක්

 මුලින්ම පොල් සමග සහල් හොඳින් සෝදා වතුර ටිකක් වැඩිපුර දමා ලිප තබන්න. ඉන්පසුව පිරිසිදු කරගත් කිරි අඟුණ කොළ පොල් සමග හොඳින් කොටා යුෂ ලබාගන්න. ඉන්පසු තලාගත් ඉගුරු සුදු ළූණු තැම්බුන බතට එකතු කර කොළ යුෂත් දමා  මිශ්‍ර කර ලුණු රහිතව පිස ගන්න.

 කිරි අඟුණ කොළ සම්බෝලය

 අවශ්‍ය ද්‍රව්‍ය 

  •  කිරි අඟුණ කොළ 
  •  රතුල ළූණු  ගෙඩි හයක් 
  • අමු මිරිස් කරල් දෙකක්
  • ගා ගත් පොල්
  • ලුණු සහ දෙහි 
  • අවශ්‍ය නම් උම්බලකඩ 

මෙය තිත්ත නැතිව සකසා ගැනීමට මුලින්ම සෝදා පිරිසිදු කරගත් අඟුණ කොළවල තෙත ඉවත්වන ආකාරයට  රෙදි කඩකින් හොඳින් පිස දමන්න. ඉන්පසු ඒවා සිහින්ව ලියා ගැනීමට පෙර මැද නාරටිය ඉවත් කරගන්න. ඉන්පසු සිහින්ව ලියාගෙන ඉන්පසු ගාගත් පොල් වලට සිහින්ව ලියා ගත් රතු ළූණු, අමු මිරිස්, ලූණු සහ දෙහි අවශ්‍ය පදමට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. ඉන් පසු එයට සිහින්ව ලියාගත් කිරි අඟුණ කොළ එකතු කර මිශ්‍ර කර රස බලන්න .

 මේ කිරිඅඟුණ තරමක තිත්ත රසයක් ගත්තත් ගුණයෙන් ඉතාම ඉහළයි. ඉතින් ඒ නිසා ලොකු පොඩි හැමෝටම සතියකට දෙතුන් වතාවක් මේ පලාව ආහාරයට එකතු කරගන්නට පුළුවන් නම් ලැබෙන ප්‍රතිලාභ අතිමහත්. ඒ විතරක් නෙවෙයි මේ ශාකය විවිධ ලෙඩ රෝග සඳහා නිවෙස් පිළියම් සඳහා භාවිතා කරන්නත් පුළුවන්. කොහොම වුණත් මේ මැල්ලුම තරමක තිත්ත ගතියක් ගන්නා නිසා කලවම් පලාවක් ලෙස සකස් කර ගැනීමෙන් රසය වගේම ගුණය වැඩි කරගන්නත් පුළුවන්. නමුත් දිනපතාම නිතර නිතර මේවා ආහාරයට ගැනීම එතරම් හිතකර වෙන්නේ මොකද රුධිරයේ සීනි මට්ටම අඩු වෙන්න එය හේතුවක් වෙන්නට හැකි නිසා.