අපේ ශරීරයේ ස්වභාවිකවම තිබෙන ප්‍රෝටීන එකක් තමයි කොලජන් කියන්නේ. මේ කොලජන් තමයි අපේ දේහයේ බහුලවම අඩංගු වෙලා තියෙන ප්‍රෝටීනය වෙන්නෙත්. ඒ වගේම අපේ සමේ ප්‍රධානම සංඝටකය වෙන්නෙත් මේ කොලජන්. සමට, හිසකෙස්වලට, අස්ථි පද්ධතියට සහ කණ්ඩරාවලට පවා මේ කොලජන් අත්‍යවශ්‍ය සංඝටකයක්. ඇමයිනෝ අම්ල විශාල ප්‍රමාණයකින් නිර්මාණය වෙන මේ කොලජන්වලට ආරක්ෂාව සපයන්නේ විටමින් C මගින්.
කොලජන් මගින් සමේ තරුණ බව ආරක්ෂා කරනවා. ඒ හැරුණාම සම ශක්තිමත් කිරීම, සමේ තෙතමනය ආරක්ෂා කිරීම, සමේ ඇදෙන සුළු ස්වභාවය පවත්වා ගැනීම ආදී කාර්යබාරයන් බොහොමයක් සිදු කරනු ලබනවා. වයස ගත වෙද්දි ශරීරයේ කොලජන් මට්ටම අඩු වෙන නිසා සම වියළි බවට පත්වීම වැඩි වෙලා සමේ විවිධ ගැටළු ඇති කරනවා. ඉතින් මේ නිසා තරුණ බව හැමදාටම පවත්වා ගන්නට නම් අපේ දේහයේ කොලජන් මට්ටම ආරක්ෂා කරගන්නට අපිට සිදු වෙනවා. ඒ සඳහා අපි මොනවද කළ යුත්තේ .අපි අද කතා කරමු මේ කාරණා පිළිබඳව.
සාමාන්‍යයෙන් අපට වයස අවුරුදු 30- 35 වගේ වෙද්දි අපේ ශරීරයේ කොලජන් මට්ටම ස්වභාවිකවම ක්‍රමයෙන් අඩු වෙන්නට පටන් ගන්නවා. මේ නිසා සමේ රැළි වැටී අපේ තරුණ පෙනුම අඩු වෙනවා. විශේෂයෙන්ම ආර්තවහරණය සිදු වුණු කාන්තාවකගේ පළමු අවුරුදු 5 ඇතුළත තමන්ගේ ශරීරයේ ඇති කොලජන්වලින් 30% ක් පමණ අඩු වන බව සොයාගෙන තියෙනවා.
දේහයේ කොලජන් අඩුවීම සමට විතරක් නෙවෙයි දේහයේ කොටස් බොහොමයකටම බලපාන ප්‍රෝටීනයක් නිසා බොහෝ දෙනෙක් බාහිරව දේහයට කොලජන් ලබා ගන්නට කටයුතු කරනවා. කොහොමවුණත් වැඩිදෙනෙක් තරුණ බව රැක ගන්නට උත්සාහ කරන නිසා ඒ සඳහා අපේ සමේ ඇති ස්වභාවික කොලජන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ සඳහා අපිට අනුගමනය කරන්නට උපදෙස් කිහිපයක් තියෙනවා.

හිරු එළියෙන් ආරක්ෂා වීම සූර්යාලෝකයේ පවතින UV කිරණ අපේ සමේ කොලජන්වලට ඉතාම අහිතකර වෙනවා. නිතර නිතර හිරු එළියට නිරාවරණය වීම මගින් මේ කොලජන් ටිකෙන් ටික විනාශ වී යනවා. ඒ නිසා හිරු එළියට ඔබ නිරාවරණය වන්නේ නම් හිරු ආවරණ ආලේපනයක් ගැල්වීම අත්‍යවශ්‍ය වෙනවා. එමගින් කොලජන් මට්ටම ආරක්ෂා වෙනවා වගේම අපේ තරුණ පෙනුමත් බොහෝ කාලයක් පවත්වා ගෙන යන්නට හැකියාව ලැබෙනවා.
ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ලබා ගැනීම සමේ කොලජන් මට්ටම ආරක්ෂා කරගන්නට විශාල හැකියාවක් ප්‍රතිඔක්සිකාරකවලට පවතිනවා. ඒ සඳහා විවිධ වර්ණයෙන් යුක්ත එලවලු සහ පලතුරු ආහාරයට එකතු කරගත යුතු වෙනවා. මේ ප්‍රතිඔක්සිකාරක අතුරින් ඉහළින්ම පවතින්නේ විටමින් C . විටමින් C අපේ සමේ ඇති කොලජන්වලට හානිවීම අඩු කරනවා.සමේ ඇති කොලජන් ආරක්ෂා කරනවා. ඒ නිසා ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර නිතර ඔබේ ආහාරවේලට එකතු කර ගැනීම වඩාත් වැදගත්.
මානසික ආතතියෙන් තොරවීම මානසිකව පීඩාවෙන් කල්ගත කිරීම අපේ සෞඛ්‍යයට කෙසේවත් හිතකර වෙන්නේ නැහැ. මේ මානසික ආතතිය නිසාම ලෙඩ රෝග බොහොමයක් අපිට වැළදෙනවා. ඒ වගේම තමයි අපේ තරුණ පෙනුම ඉතා ඉක්මනින් වියැකී යන්නත් මේ මානසික ආතතිය හේතුවක් වෙනවා. ඉතා දැඩි ලෙස මානසිකව පීඩා විදීමෙන් නින්දට බාධා පැමිණෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට ඇස් වටා කළු වෙනවා. ඇස් වටා සම රැළි වැටෙනවා. මානසික ආතතිය නිසා ස්ට්‍රෙස් හෝර්මෝන ශ්‍රාවය වීම සිදු වෙනවා.
එවැනි එක් හෝර්මෝනයක් තමයි කෝටිසෝල් කියන්නේ. මේ හෝර්මෝනය මගිනුත් අපේ ශරීරයේ පිහිටා තිබෙන කොලජන්වලට අහිතකර ලෙස බලපානවා. මේ මානසික ආතතිය නිසාම විවිධ අහිතකර ආහාර රටාවන්ට හුරු වෙනවා. බොහෝඅය ආතතිය නිසාම වැඩිපුර පැණි රස ආහාර සහ පිටි සහිත ආහාර ගන්නට පටන් ගන්නවා. ඒ නිසා දේහයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. එය කොලජන්වල අතර බන්ධන ඇති කරන්නට හේතු වෙනවා. එයින් සමේ ඇදෙන සුළු බව අඩු වෙනවා.
ඒ වගේම කොලජන් අලුත්වීම අඩුවෙනවා. මෙසේ කොලජන්වලට හානිවීම නිසා සමේ තරුණ බව නැතිව යනවා. එ නිසා මානසික ආතතිය අඩු කර ගන්නට කටයුතු කරන්නට අපිට සිදු වෙනවා. ඒ සඳහා යෝගා අභ්‍යාසවල නිරත වීම, ස්වසන ව්‍යායාම ඉතා වැදගත් වෙනවා.
ව්‍යායාම්වල නිරත වීම ව්‍යායාම මගින් අපේ රුධිර සංසරණය හොඳින් සිදු වීම නිසා එය හැපි හෝර්මෝන ශ්‍රාවය වීමට උපකාරී වෙනවා . එය අපේ සමේ තරුණ බවට හිතකර බලපෑම් ඇති වෙනවා.
වයසට යාම පමා කර ගන්නට තරුණ බව බොහෝ රැක ගන්නට මේ කොලජන් විශාල වශයෙන් දායක වෙනවා . ඒ නිසා අපේ සමේ ස්වභාවික කොලජන් ආරක්ෂා කර ගන්නට උනන්දු වීම අපේ වගකීමක්. ඒ හැරුණාම නිවසේදීම ඔබට පහත සඳහන් කර ඇති කොලජන් පානයක් ස්වභාවිකවම සාදා ගෙන පානය කරන්නටත් පුළුවන්. කෘතීමව කොලජන් ලබා ගන්නවාට වඩා එය අපේ දේහයට ලබා දෙන්නේ හිතකර ප්‍රතිලාභයන් පමණයි.
අවශ්‍ය ද්‍රව්‍ය

- කැරට් ගෙඩියකින් ¼
- රතු ඇපල් ගෙඩියකින් ½
- බීට් රූට් ¼
- යෝගට් 1 ක්
- අවශ්‍ය නම් පීනට් බටර් ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය මේ ද්‍රව්‍යයන් සියල්ලම සෝදා පිරිසිදු කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසුව උකු ද්‍රාවණයක් ඔබට ලැබේවි. ඔබට අවශ්‍ය නම් පමණක් බ්ලෙන්ඩර් කර ගැනීමෙන් පසුව ජලය ස්වල්පයක් එකතු කර ගන්නත් පුළුවන්. මෙය උදෑසන කාලයේදී පානය කරන්නට හැකි නම් වඩාත් ප්‍රතිඵලදායක වෙනවා.