වර්තමානය වෙද්දි මෙය තමන්ගෙ ගෙවත්තේ තමන්ට අවශ්‍ය කරන යම් යම් ආහාර වර්ග වගා කරගන්නට වැඩි දෙනෙක් උනන්දු වෙනවා. නමුත් එයින් තමන් අපේක්ෂා කරන ඵලදාව නොලැබෙන නිසා බොහෝ වෙලාවට පුද්ගලයන් කලකිරීමට පත් වෙනවා. එයට මූලිකම හේතුව වෙලා තියෙන්නේ තමන්ගේ ගෙවත්තේ වගා කරන්නට තෝරා ගන්නා භෝග වර්ග. බොහෝ දෙනෙක් වැඩි වියදමක් දරා නඩත්තු කළ යුතු එළවලු පලතුරු වර්ග තමයි ඒ සඳහා තෝරා ගන්නේ.
භෝග වර්ග තෝරා ගැනීමේදී පලිභෝධකයගෙන් හානි අඩු හෝ හානි නොවෙන ඕනෑම දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයේ භෝග තෝරාගෙන වගා කරගන්නට අපි දැනගත යුතු වෙනවා. එසේ නොමැති වුණොත් ඔබට මේ ගෙවතු වගාව සාර්ථක කරගන්නට නොහැකි වෙනවා. ගෝවා, බෝංචි, කැරට්, ලීක්ස් ආදී එළවලුවලට වඩා පළිබෝධකයන්ට ප්‍රතිරෝධී සාත්තුවක් සිදු කරන්නට අවශ්‍ය නැති දේශීය ශාක ඕනෑතරම් තිබෙනවා.
නමුත් අපේ ජනතාව තුළ එවැනි ශාක ගැන එතරම් දැනුවත් බවක් නැහැ. ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ නිර්මාංශ අයටත් පෝටීන අවශ්‍යතාවය හොඳින් සපුරා ගන්නට හැකි දේශීය එළවලුවක් ගැන. ඒ තමයි ඉහළ පෝෂණ ගුණයක් සහ ඖෂධීය වටිනාකමක් ඇති ආලංගා.
පැරණි සිංහල ජන සමාජයේ එළවළුවක් විදිහට භාවිතා වුණත් අද වෙද්දි වඳ වී යන දුර්ලභ එළවළුවක් විදිහට ආලංගා හඳුන්වන්න පුළුවන්.බෝංචි ලංකාවට හඳුන්වා දෙන්නට පෙර අපේ මුතුන් මිත්තන් බෝංචි විදිහට ආහාරයට ගත් මේ ආලංගා වැල මීටර් 5ක් 10ක් පමණ උස යන බහුවාර්ෂික ශාකයක්.

මේ ආලංගාවල මල් පිපෙන්නේ රාත්‍රී කාලයේදී. මල් සුදු පාට වර්ගයක් සහ දම්පාට වර්ගයක් දකින්නට පුළුවන්. මේ මල් සෙන්ටිමීටර් 8 – 14 ත් පමණ දිගකින් යුක්තයි.ලා කොළ පැහැති කරල් අඟල් දෙකක් තුනක් පමණ දිගකින් යුක්තයි. ඒවා තෙල් ගතියකින් සහ බූව සහිතයි. විශාල වැල් විදිහට ඉතාම වේගයෙන් වැවෙන ආලංගා වැලකින් වසර ගණනාවක් ඔබට අසීමිතව ඵලදාව ලබා ගන්නට පුළුවන්.
ආලංගා ශාකය පිළිබඳව වැඩි දෙනෙක් අවධානය යොමු නොකළත් ආලංගා කියලා කියන්නේ එක් වැලකින් පමනක් විශාල ඵලදාවක් ලබා ගත හැකි පෝෂණීය සහ ඖෂධීය වටිනාකමින් ඉහළ ආහාරයක්. මේ ආලංගා පිසූ පසුව බෝංචි හා සමාන රසයකින් යුක්තයි. ව්‍යාංජනයක් විදියට වගේම මෝජුවක් ආකාරයෙන් ද මැල්ලුමක් වශයෙන් ද ආලංගා ඔබට රස විඳින්නට පුළුවන්.
ආලංගා මෝජුවක් රසට පිළියෙල කර ගන්නේ කොහොමද
ආලංගා ග්‍රෑම් 250 ක්
අමු මිරිස් කරල් 5ක්
රට ලූනු ගෙඩියක්
රතු ලූනු ගෙඩි හයක්
රම්පෙ සහ කරපිංචා
අබ තේ හැන්දක්
සුදු ළූණු බික් 3
කුරුඳු
ඉඟුරු කුඩා කැබැල්ලක්
එනසාල් කරල්
කහ කුඩු ස්වල්පයක්
කෑලි මිරිස් කුඩු ස්වල්පයක්
මිරිස් කුඩු තේ හැඳි බාගයක්
විනාකිරි අඬු කෝප්ප භාගයක්
කිතුල් පැණි මේස හැන්දක්
මිටිකිරි අඩු කෝප්ප කාලක්
පොල් තෙල් ලුණු
සාදාගන්නා ක්‍රමය
මුලින්ම ආලංගා කරල් හොඳින් සෝදා ගන්න.
ඒ කරල උඩින් ඇති කොටස කපා ඉවත් කරගන්න.
පසුව කරල දික් අතට දෙකට පලා ගන්න.
රට ළූණු සිහින්ව කපාගන්න. මිරිස් දෙකට පලා ගන්න.

මුලින්ම තාච්චියකට පොල් තෙල් දමා රත්වෙන්නට තබා කපාගත් ආලංගා රන්වන් පැහැ වනතුරු තෙලේ බැද ගන්න.
පසුව පිරිසිදු රෙදි කඩක් හෝ කඩදාසියක් මතට බැදගත් ආලංගා දමා තෙල් බේරාගන්න. පසුව රට ලූනු, රතු ළූණු දමා රන්වන් පැහැ වනතුරු බැදගන්න. ඉන්පසුව රම්පේ සහ කරපිංචා දමා බැදගන්න. ඉන් පසුව රතු ලූළූණු සහ අමු මිරිස් දමා විනාඩි භාගයක් පමණ බැදෙන්නට හැර පිටතට ගෙන තෙල් බේරාගන්න.
ඉඟුරු, අබ, සුදුලූනු ආදිය හොඳින් අඹරා ගන්න.
පසුව මැටි වලළඳක් ලිපේ තබා එයට පිරිසිදු පොල් තෙල් මේස හැන්දක් දෙකක් එකතු කර ගන්න. අඹරාගත් ඉඟුරු, සුදුළූණු, කෑලි මිරිස් කුඩු, කහකුඩු, කුරුදු එකතු කර හැඳි ගාමින් බැදගන්න.
පසුව තලා ගත් එනසාල් ඇට සහ විනාකිරි දමා හොඳින් මිශ්‍ර කරගන්න.
විනාඩියක් පමණ මිශ්‍රණය එතුමා පසුව පොල් කිරි එකතු කරන්න. තවත් විනාඩි තුනක් පමණ හැඳි ගාමින් මද ගින්නේ තබා ගන්න. ලිපෙන් බා ගත් විගසම කිතුල් පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසුව එයට කලින් බැදගත් ආලංගා රතුලූනු , රට ලූනු, අමු මිරිස්, රම්පෙ කරපිංචා එකතු කර කලවම් කරන්න.
මේ මෝජුව රසය සඳහා සීනි වෙනුවට කිතුල් පැණි එකතු කිරීම එහි ගුණදායක බව වැඩි කරන්නට වගේම රසය වැඩි කරන්නටත් උදව් වෙනවා. පොල් කිරි එකතු කිරීම නිසා දිගු කාලයක් ඔබට මෙය තබා ගන්නට නොහැකි නමුත් දින දෙකක් පමණ තබා ගන්නට හැකියි. මෝජු සඳහා පොල්කිරි එකතු නොකළත් පොල් කිරි එකතු කළ මෝජුව රසයෙන් ඉතා ඉහළයි.
වස විස නැති දේශීය ආහාරයක් වෙන ආලංග ඔබත් ආහාරයට ගන්නට පුරුදු වුණොත් මාරාන්තික රෝගයක් වෙන පිළිකාවෙන් ආරක්ශා වී සුවසේ ජීවත් වෙන්නට හැකියාව ලැබේවි. වසර ගණනාවක් පරම්පරා ගණනාවක් පෝෂනය කරන්නට සමත් ආලංගා වැලක් ඔබේ ගෙවත්තෙත් අදම සිටුවන්න.