දිනකට ජලය ලීටර් 2-3 අතර ප්‍රමාණයක් පානය කිරීම ඉතා හොඳ සෞඛ්‍ය පුරුද්දකි. හොඳින් ජලය පානය නොකිරීමෙන් ශරීරය විජලනයට ලක්වී බරපතල සංකූලතා හා ගැටලු පවා සිරුරේ වර්ධනය වීමට පුළුවන්. අපේ සිරුරේ 80%කට අසන්නව පවතින්නේ ජලයයි.සිරුරේ නීරෝගී පැවැත්මට ජලය ඉතා වැදගත්. ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකළ විට සිරුරේ ඇති ජල අන්තර්ගතය ද අඩුවී යාමට පටන්ගනියි. රුධිරයේ ඇති ජලය ඉවත්වීමට පටන්ගැනීමෙන් රුධිර කැටිති පවා සෑදෙයි.රුධිර නාළ පටු වීම එසේත් නැතිනම් හැකිළීම සිදුවෙයි. මින් රුධිර සංසරණයට දැඩි බලපෑමක් ඇතිවෙයි.
රුධිර පීඩනය ඉහළ ගොස් හෘදයාබාධ හා ආඝාත වැනි සෞඛ්‍ය ගැටලු අවදානම් පවා ඇතිවීමට ඉඩ තිබෙයි. සෛල හා පටක අතර ඇති ජල සංයුතිය ඉවත්වීම රක්තපාතය,ආම්ලිකතාව ඉහළ යාම,වකුගඩු ගල් හටගැනීම,අස්ථි දුර්වල වී බිඳෙන සුලු බව වැඩිවීම, ප්‍රතිශක්තිය හීනවීම වැනි තත්වයන් ඇතිවීමට හේතුවිය හැකියි. සෛල වල ජල අන්තර්ගතය 60%ඉක්මවමින් ඉවත්ව යාමෙන් සිරුරේ කොලෙස්ටරෝල් මට්ටම් පවා ඉහළ යාම,පරිවෘත්තිය අඩුවීම හා පුද්ගලයාගේ සිරුර වියපත්වීමේ ස්වභාවය වේගවත් වීම වැනි තත්වයන් ඇතිවිය හැකි බව වෛද්‍යවරුන් පෙන්වාදේ.ඔබේ සිරුරේ මතුවන මෙවැනි සංඥා ලක්ෂණ ඔබ හොඳින් ජලය පානය නොකරන කෙනෙක් බව ඉඟි කරයි.

කටේ අධික වියළිබව-කටේ සහ උගුරේ ශ්ලේෂ්මල පටල තෙත්ව හා ලිහිසිව පවත්වාගැනීමට උපකාරී වන්නේ ජලයයි. හොඳින් ජලය පානය නොකරන විට කට වියළී කට දිව හා උගුර ඇලෙන ගතියක් මෙන් දැනෙයි.කටේ තෙතමනය සඳහා උදවුවන්නේ ඛේට ස්‍රාවය හෙවත් කෙලයි. මේවා නිෂ්පාදන වීම සඳහා සිරුරේ සජලතාව ඉතා වැදගත්ය.කටේ වියළි බව දුරුකරගැනීමට සීනි අධික පාන වර්ග ගැනීමෙන් සිදුවන්නේ එම තත්වය තවත් නරක අතට හැරීම බව අමතක නොකළ යුතුයි.
සමේ අධික වියළිබව-සිරුරේ විශාලතම අවයවය වන සමේ නීරෝගී බව ආරක්ෂා වීමට නම් එහි තෙතමනය හොඳින් ආරක්ෂා විය යුතුයි. හොඳින් ජලය පානය කිරීම සමේ නීරෝගී බව වඩවයි. සමේ රැළි ඇතිවීම්, රේඛා මතුවීම්, එල්ලා වැටීම්, හම යාම,කොරල මතුවීම, ඉරි තැලීම වැනි ගැටලු ඇතිවීම් අවම කරවයි. සමේ අධික වියළි බව ඇතිවන්නේ සමට හොඳ තෙතමනයක් නොලැබෙන විටයි. මොයිෂ්චරයිසර් වර්ග වලට අමතරව සමේ තෙතමනය රැකගැනීමට නම් හොඳින් ජලය පානය කිරීමත් ඉතා වැදගත්ය.සමේ අධික වියළිබව විජලනයේ පූර්ව ලක්ෂණ අතරින් ද එකකි.
අධික පිපාසය-තොල කට වියළී යාම මෙන්ම අධික පිපාසය ද සිරුරේ ජලය හිඟකම පෙන්නුම් කරන තවත් සංඥාවකි.මත්පැන්, ලුණු (සෝඩියම්) කැෆේන් (කෝපි) වැනි දෑ නිසා සිරුරේ ජලය ඉවත්වීම වැඩියි. එනම් සිරුර විජලනයට පත්වීමේ අවදානම ඒවායින් වැඩිකරවයි.ජලය පානය කිරීමට පිපාසය දැනෙන තුරු සිටින්නට එපා!විටින් විට දවස පුරා හොඳින් ජලය පානය කිරීමට පුරුදුවන්න.
ඇස් වල අධික වියළි ගතියක් දැනීම-සිරුර තුළ ප්‍රමාණවත් තරම් ජලය නැතිවිට ඇස් වල කඳුළු ග්‍රන්ථි වියළී යයි.කඳුළු මඟින් ඇස් වල තෙතමනය ආරක්ෂා කරමින් ඇසට ඇතුළු වන ආගන්තුක හා හානිකර ද්‍රව්‍ය ඉවත්කර ඇස් පිරිසිදු කරයි.ඇස් වල අධික වියළි බව නිසා ඇස් රතුවීම හා කැසීම වැනි තත්වයන් ඇතිවිය හැකියි. ඔබ ඇස් කාච පළඳින කෙනෙක් නම් ඇස් වල වියළි බව ඔබේ ඇස් වලට තවත් හානි ඇතිවීමට හේතුවක් වන්නට පුළුවන් බව මතක තබගන්න. මෙවැනි අපහසුතාවක් දැනෙයි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී නිසි ප්‍රතිකාර ගැනීම සුදුසුයි.
සන්ධි වේදනා මතුවීම-සිරුරේ කාටිලේජ හා කශේරුකා තැටි වලින් 80%ක්ම සමන්විත වන්නේ ජලයෙනි. අස්ථි වල නීරෝගී චලන හා ක්‍රියාකාරීත්වයන්ට ජලය ඉතා වැදගත් ය. සිරුරේ මනා සජලතාව සිරුරේ සන්ධි වල කම්පන අවශෝෂණ හැකියා වඩාත් තීව්‍ර කරයි.ඇවිදීම, දිවීම, උඩ පැනීම වැනි ක්‍රියාකාරකම් වලදී මෙන්ම ක්‍රීඩා වලදී ද අපේ සිරුර අනපේක්ෂිත හා හදිසි චලන වලට ලක්වෙයි. එවැනි අවස්ථා වල ශරීරයට හානි නොවී අස්ථි හා සන්ධි ආශ්‍රිත සුමට ක්‍රියාකාරීත්වටක් ඇතිවීමට ජලය ද උපකාරී වෙයි.
මාංශ පේශී ස්කන්ධය අඩුවෙයි-මාංශ පේශී වල වැඩිවශයෙන් ඇත්තේ ජලයයි.සිරුරේ ජලය අඩුවීම මාංශ පේශී ස්කන්ධය අඩුවීමට බලපායි.ව්‍යායාම වලට පෙර මෙන්ම ව්‍යායාම වල නිරතවෙද්දී හා ඉන් පසුව ද හොඳින් ජලය පානය කිරීම වැදගත් වන්නේ ඒ නිසයි. ඒ හරහා ශරීර අපහසුතා ඇතිවීම් බොහෝ දුරට මගහරවා ගැනීමටත්, ශරීර ප්‍රදාහය හා මාංශ පේශී තැල්ම හා අප්‍රාණික බව ඇතිවීම අවම කරගැනීමට ද හැකිවෙයි.විශේෂයෙන්ම බර ඉසිලීම හා තීව්‍ර ව්‍යායාම වල යෙදෙන විට දිනකට හොඳින් ජලය පානය කරන්න.
අසනීප ගතිය දිගු කාලයක් පැවතීම-ජලය ඔබේ සිරුරේ ඇති වස විස ,රෝග කාරක ඇතුළු අපද්‍රව්‍ය මූත්‍රා,දහඩිය හරහා සිරුරෙන් බැහැර වීමට සලස්වා සිරුර විෂහරණය කරයි. හොඳින් ජලය පානය නොකරන විට ඔබේ සිරුරේ මෙම ක්‍රියාවලි අඩපණ වී ,සිරුර තුළ ඒවා ගොඩ ගැසී,එවැනි රෝගකාරක නිසා ඔබව රෝගී වීමට පටන්ගත හැකියි.සිරුරේ ක්‍රියාකාරීත්වයන්ට අවශ්‍ය ජලය රුධිරයෙන් හා සෛල වලින් ලබාගැනීමට පටන්ගත් විට ඔබ නොසිතන ආකාරයේ ගැටලු සංකූලතා සිරුරේ මතුවීමට පටන්ගත හැකියි.සිරුර පුරා පෝෂණය හා ඔක්සිජන් රැගෙන යන රුධිර සංසරණ ක්‍රියාවලියට ද බාධා ඇතිවෙයි.ප්‍රතිශක්තිය දුර්වල වෙයි. සුළු රෝග තත්ව පවා සුව නොවී දින ගණනාවක් පුරා පැවතිය හැකියි.

තෙහෙට්‍ටුව හා උදාසීනබව-සිරුරේ ප්‍රමාණවත් ලෙස ජලය නොමැතිවිට රුධිරයෙන් හා සෛල වලින් ජලය ඉවතට ගැනීම සිදුවෙයි.රුධිර ධාරිතාවේ ඇතිවන එම ගැටලු සංසරණ ක්‍රියාවලියට බාධා ඇතිකාන නිසා සිරුරේ ඔක්සිජන් ඌනතාවට තුඬුදෙයි.ඔක්සිජන් නොමැතිකමින් ශරීර ශක්තිය හීනවී යයි.නිදිමත ගතිය හා අලස ගතිය වැඩිවෙයි. සිරුරට මහන්සි ගතියක් දැනෙයි.
නිතර බඩගිනි දැනෙයි සිරුර විජලනය වූ විට ඊට හේතුව සිරුරට ආහාර අවශ්‍ය නිසා බව ඇතැම් විට මොළයට වැරදි සංඥා ලැබිය හැකියි.බඩගිනි දැනෙන විට ජලය වීදුරුවක් පානය කරන්න පුරුදුවීම අනවශ්‍ය ලෙස කැලරි ශරීරගත වීම පාලනය කරගැනීමට හොඳ උපක්‍රමයක්.
ආහාර ජීර්ණයේ ගැටලු සිරුරේ ශ්ලේෂ්මල පටල වල නීරෝගි ක්‍රියාකාරීත්වයට ජලය වැදගත් බව ඔබ දැනටමත් දන්නා දෙයක්. ජීර්ණ මාර්ගයේ ඇති අවයව සඳහාත් එය එසේමයි.එම ශ්ලේෂ්මල ආහාර පහසුවෙන් පහළා ගමන් කිරීමට මෙන්ම ආමාශයික යුෂ ඇතුළුව ආහාර පහසුවෙන් ජීර්ණා කිරීමට ද උදවු වෙයි.එමෙන්ම එම පද්ධතියේ කොටස් වල බිත්ති හෙවත් ආස්තර වලට හානිවීම වැළැක්වීමේ කාර්ය ඉටුකරන්නේ ද මෙම තෙතමනයෙන් යුක්ත පටලයි.ඒවාට හානිවීම බඩපපුවේ දැවිල්ල, වණ, අජීර්ණය වැනි තත්වයන්ට තුඬු දිය හැකියි.
අකලට සම වියපත් වීම හොඳින් ජලය පානය නොකිරීමෙන් ඔබේ ශරීරය මෙන්ම සමේ නිරෝගී බව ද පිරිහීමට පටන්ගනියි. සමේ තාරුණ්‍ය වියැකී ස්ම වියළීම,රැළි වැටීම්, එල්ලා වැටීම, වැනි වියපත් ලක්ෂණ මතුවීම වේගවත්ව සිදුවෙයි.