හිස උදුගොව්වා කෑමේ රෝගය නිට්ට්වටම සුව කර හැකි ස්වභාවික සත්කාර 5ක්

health tips

අපේ රූපය අවලස්සන කරන රෝග අතරින් ගොඩක් දෙනා පීඩාවට පත්ව සිටින රෝගයක් තමයි උදුගොව්වන් කෑම කියන්නේ. අපේ පෙනුමට හිසකෙස් සුවිශාල දායකත්වයක් ලබාදෙනවා  නේ.ඒ වගේම අපේ හිස් කබල ආරක්ෂා කරන්නත් අපේ හිසකෙස් දායක වෙනවා. ඒත් මේ රෝග තත්ත්වය නිසා හිසේ තැනින් තැන රවුම් ආකාරයට හිසකෙස් හැලීයාමක් සිද්ධ වෙනවා . ඉතින් ඇත්තටම මෙය මානසිකව විශාල පීඩාවක් . මේ රෝගයට විවිධ ස්වභාවික පිළියම් තියෙනවා . අපි අද කතා කරන්නේ ඒ ගැන .

ගොඩක් අය උදුගොව්වන් කෑම කියන මේ රෝගය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ Alopecia areata නමින්. පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හිසකෙස් ආශ්‍රිතව විරුද්ධව ක්‍රියා කිරීම ආරම්භ කිරීමෙන් ඇතිවෙන මේ රෝග තත්ත්වයේ දී ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්ම කේශ මූලයන් විනාශ කර දැමීමක් තමයි සිද්ධ වෙන්නෙ .

වේදනා රහිත මේ රෝගය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වෙන්නේ නැහැ.ළමුන් අතරෙත් මැදි වයසේ පසුවන අය අතරත් දකින්නට ලැබෙන මේ රෝගය ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා. එය කොතරම් වේගවත් ද කිව්වොත් කළු පැහැති හිස කෙස් සහිතව නිදා ගත් කෙනෙකුට පසුදා අවදි වෙද්දි කෙස් ඉවත්වීමෙන් සුදු පැහැති ආකාරයෙන් දිස්වීම , කේශ මූලය කළු පාටින් හා කෙස් ගසේ මැද කොටස සුදු පැහැයෙන් ද නැවත ඉතිරි කොටස කළු පාටීන් ආදී වශයෙන් කෙස් ගසේ වර්ණ ඉවත්වීමක් දකින්නට ලැබෙනවා .

මේ උදුගොව්වන් කෑම හිසේ විතරක් නෙවෙයි රැවුල් ඇහිබැම, ඇස් පිහාටු  ආදී ශරීරයේ වෙනත් ස්ථානවලත් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම  මේ උදුගොව්වන් කෑම එහි ස්වරූපය අනුව විවිධ නම්වලින් හඳුන්වනවා .

හිස කෙස් සම්පූර්ණයෙන්ම ඉවත් වීම  – Alopecia totalis

මුළු සිරුරේම රෝම ඉවත්වීම – Alopecia universalis  

ඔලුවේ මැද කොටසේ කෙස් ඉතිරිව අනිත් කෙස් ඉවත්වීම – Ophiasis Pattern  

ඔළුව වටේ කොණ්ඩය ඉතිරිවී මැද කොටසේ කොණ්ඩය ඉවත්වීම  – Reveres Ophiasis Pattern  

මේ  තත්ත්වයන්වල ස්වභාවය අනුවය සුව කර ගන්නට ගතවන  කාලය වගේම නිට්ටාවටම සුව කරගත හැකිද යන්න තීරණය වෙනවා.

රෝගයට බලපෑ හැකි හේතු 

  • ජානමය සාධක 
  • රක්තහීනතාවය 
  • දියවැඩියාව
  • මානසික ගැටළු 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත ගැටළුකාරී තත්ත්වයන් 
  • ත්‍රයිරොයිඩ් ග්‍රන්ථියේ ඇතිවන රෝගවල ප්‍රතිඵලයක් ලෙස

රෝග ලක්ශණ 

  • හිසේ කෙස් ගැලවී යාම සහ කෙස් සහිත තැන්වල රෝස පැහැයට හුරු සිනිඳු රවුම් ලප මතුවීම
  • හිසකෙස් කොටස්වල යම් කොටස් අව  පැහැයක් ගැනීම 
  • කෙස් ඉවත් වූ ස්ථානවල නැවත කෙස් නොවැඩීම හෝ උදුගොව්වන් කෑ ස්ථානයේ නැවත එන හිසකෙස් සුදු පැහැයක් ගැනීම.
  • හිස පීරද්දී උදුගොව්වන් ඒමට ලක්වන ස්ථානවල කෙස් වැඩිපුර ගැලවී යාම 

කුඩාවට හටගන්නා උදුගොව්වන් කෑ ස්ථානයට ප්‍රතිකාර නොකිරීමෙන් එය සෙන්ටිමීටර 6-10 අතර ප්‍රදේශයක වුණත් පැතිර යන්නට පුළුවන්. ඒ වගේම මේ ලක්ෂණ වෙනත් භයානක රෝගයක ලක්ෂණයක් ලෙස වෙන්නටත් පුළුවන්. ඇතැම්විට යම් දිලීර රෝගයක් නැත්නම් පිළිකා තත්ත්වයන් ආදී තත්ත්වයන් නිසා හිසකෙස් ගැලවී තට්ටය පෑදීම උදුගොව්වන් කෑම නිසාවෙන් සිදුවන්නක් යැයි ස්වයං ලෙස තීරණය කළහොත් තමාට වැළදී ඇති යම් යම් රෝගයන් මගහැරී යටපත්ව යන්නට පුළුවන්.ඒ නිසා සුදුසුකම් ඇති වෛද්‍යවරයෙක් හමුවී රෝගය හඳුනා ගැනීම ඉතා වැදගත්. 

උදුගොව්වන් කෑමට ආයුර්වේද පිළියම් 

  • හීරැස්සපලු , වියන් දුඹුළු එකට අඹරා උදුගොව්වා කෑ ස්ථානවල ආලේප කර විනාඩි 45 ක් තියෙන්නට හැර ස්නානය කරන්න.
  • සමන් පිච්ච ගසේ කොළ සෝදා හොඳින් අඹරා උදුගොව්වන් කෑ ස්ථානයේ ආලේප කරන්න .
  • කරද කොළ, සමන්පිච්ච කොළ , ලුණුවරණ පොතු සමඟ අඹරා ආලේප කරන්න .
  • ඉදුණු එළබටු ගෙඩි යුෂ මී පැණියෙන් අඹරා ආලේප කරන්න. 

උදුගොව්වන් කෑ ස්ථානයේ ඉදිමුම් සහ වේදනාවක් ඇත්නම් එළබටු ගෙඩිවල  යුෂ ගෙන  ඒ ස්ථානවල ආලේප කරන්න.

ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඇතිවන මේ උදුගොව්වා කෑම වේදනා රහිත අසනීප තත්ත්වයක් පෙන්නුම් නොකරණ තත්ත්වයක් වුණත් එය අපේ බාහිර පෙනුමට ඉතා විශාල බලපෑමක්. ඒ නිසාම ඇතිවන මානසික පීඩනයත් අතිමහත්. ඒ නිසා මේ පිළියම්වලින් සුවයක් නැත්නම් වෛද්‍ය  ප්‍රතිකාර ලබාගන්නට කටයුතු කරන්න.