පැරැන්ණන් භාවිතා කර උදුගොව්වා කෑම රෝගයට පිළියම් 20 ක්

health tips

පුද්ගලයාගේ රුවට වින කරමින් මානසිකව පීඩාවට පත් කරන උදුගොව්වා කෑම ගැන බොහෝදෙනා දන්නවා. උදුගොව්වන් කෑම වෛද්‍ය විද්‍යාවේ Alopecia areata නමින් හඳුන්වනු ලබනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය හිසකෙස් ආශ්‍රිතව විරුද්ධව ක්‍රියා කිරීම ආරම්භ කිරීමෙන්. එනම් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්ම කේශ මූලයන් විනාශ කර දැමීමයි. ඉතින් සත්‍රී පුරුෂ භේදයකින් තොරව පීඩා විදින්නට සිදුවෙන මේ තත්ත්වයට නිශ්චිත ප්‍රතිකාර නැහැ. ඒ නිසාම මේ තත්ත්වය සැබැවින්ම මානසික වදයක්. ඉතින් මේ පීඩාවෙන් මිදෙන්නට නිවසේදී කරන්නට හැකි පිළියම් කිහිපයක් ගැනයි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

මේ උදුගොව්වා කෑම කියන තත්ත්වය අලුත් රෝගයක් නොවෙයි. ඒ නිසා  අපේ පැරණි සමාජයේ උදවිය මේ සඳහා විවිධ වූ අත් බෙහෙත් යොදා ගත්තා. ඒ හැරුණාම ඔවුන් අතර සෑම රෝගයකටම වගේම භාවිතා කරපු කෙම් ක්‍රමත් ප්‍රධාන තැනක් ගත්තා. අද මේ කෙම් ක්‍රම සමාජය තුළ ජනප්‍රියවී නැතත් සමාජයෙන් බැහැරවෙලා යැයි කියන්නට බැහැ. ඒ නිසා මේ උදුගොව්වා කෑම සඳහා වුණත් එදා ඔවුන් යම් යම් අත් බෙහෙත් හා කෙම් ක්‍රම භාවිතා කර සුව කරගත්තා. ඉතින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා අතරේ ඔබට මේ උදුගොව්වන් කෑම නිට්ටාවට සුව කරගන්නට මේ අත් බෙහෙත් හා කෙම් ක්‍රම කිහිපයක් භාවිතා කරන්නට පුළුවන්.

මේ තත්ත්වයෙන් වැළකීමට ඇති කරගත යුතු පුරුදු 

මේ රෝගය රක්තය දූෂිත වීමෙන් ඇතිවන නිසා මේ රෝගය සුව කරගන්නට රුධිරය පිරිසිදු වෙන ප්‍රතිකර්ම අනිවාර්යෙන්ම යෙදිය යුතුයි.ඒ සඳහා ඇසිඩ් ගතිය අධික ආහාරවලින් වැළකිය යුතුයි. එනම් ඉස්සෝ, දැල්ලෝ,  අච්චාරු, අන්නාසි, තක්කාලි වගේ ආහාර.

  • ඇඟ සිසිල් කරන ආහාර පාන ලබා ගත යුතුයි.වෙනිවැල්ගැට , රණවරා, ඉරමුසු, නෙල්ලි, බෙලි මල්, රසකිද ආදී පානයන් නිතර ගැනීම. 
  • නැවුම් එලවළු පලතුරු ආහාරයට ගැනීම 
  • වැඩි වශයෙන් ජලය පානය කිරීම 
  • දිනපතා මල කොටස් පිටවීම හා මුත්‍ර පිටවීම සිදුවිය යුතුයි.

උදුගොව්වන් කෑමට අත් බෙහෙත් 

  • උදුගොව්වා කෑම රෝගයේදී යම් රළු දෙයකින් ඒ ස්ථානය තදින් ඇතිල්ලිය යුතු වෙනවා.මොකද එයින් ඒ හිසකෙස් වැටුණු ස්ථානයේ ඇති විෂ ගතිය ඉවත් කරන නිසා.මේ සඳහා සේපාලිකා කොළයක් භාවිතා කරන්නට පුළුවන්. ඉන්පසුව මේ අත් බෙහෙත් ගල්වන්නට පුළුවන්.
  • උළුහාල්, නෙල්ලි, බැබිල, කොළ එකට තම්බා හිස සෝදන්න.
  • එළබටු කොළ තලා එහි යුෂ ගෙන මී පෙණි මිශ්‍රකර ආලේප කරන්න. 
  • ඉදුණු  එළබටු ගෙඩි යුෂ මී පැණියෙන්  මිශ්‍රකර ආලේප කරන්න.
  • එළබටු ඇට දෙහි ඇඹුලින් අඹරා ආලේප කරන්න.
  • නියගලා අලයක් එළකිරෙන් තම්බා ගෙන අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න. මෙය දවසක් වරක් දින කිහිපයක් කළ හැකියි.
  • ඔලිද ඇට සහ ඔලිද මුල් ගෙන අඹරා ආලේප කරන්න 
  • ඔලිද ඇට මද මී පැණියෙන් අඹරා ආලේප කරන්න.
  • නියගලා අල අරලිය යුෂ හා මුසු කොට ආලේප කරන්න.
  • නුග දළු, කේසර බැබිල දළු සමව ගෙන අබ තෙල් සමඟ අනා පොඩිකර රසකිද වැලේ යුශ හා විනාකිරි සමඟ එක්කර අනා අව්වේ කකාරා ගාන්න.
  • හීරැස්ස පලු, වියන් දුඹුළු එකට අඹරා උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කර විනාඩි 45 කින් පසුව ස්නානය කරන්න.
  • සමන් පිච්ච කොළ අඹරා ගාන්න.
  • දේවධාර අමු රසකිද යුෂවලින් අඹරා අලේප කරන්න.
  • නියගලා අල, බදුල්ල ඇට, කළු තල සමව ගෙන කරිවිල කොළ යුෂින් අඹරා ආලේප කරන්න.
  • වියළි ඉඟුරු තල තෙලින් අඹරා  නැවත අත්තන කොල යුෂවලින් අඹරා ආලේප කරන්න.
  • කරඳ කොළ සමන් පිච්ච කොළ, ලුණු වරණ පොතු අඹරා ආලේප කරන්න.
  • දුම්මෑල්ල කොහොඹ කොළ එක පමණ ගෙන කොටා මිරිකා ගත්යුෂ දින කිහිපයක් ගන්න.
  • වතු කහබිලියා අමු කහ එකට කොටා මිරිකා ඒ යුෂ දින කිහිපයක් එකදිගට ආලේප කරන්න.
  • අමු පොල් කොළ පිළිස්සුණු අළු කොහොඹ තෙලින් අඹරා උදේ සවස ආලේප කරන්න.
  • හුණු සමඟ  ඉදුණු කැප්පෙටියා කොළ අඹරා උදුගොව්වා කෑ ස්ථානය සූරා ආලේප කරන්න.
  • සුදු හදුන්, රත් හදුන්, එරඩු මුල්, කොට්ටන්, සමසේ ගෙන හුණු දියෙන් ගලගා ආලේප කරන්න 
  • කදුලැස්ස දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.
  • ගැට තුබ කොළ දුම්කොළ සමඟ අඹරා හුණු මිශ්‍රකර උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න.
  • හිසකෙස් වැඩෙන්නට පටන් ගත් විට කුරුම්බා ලොද, රතු ළූණු සමඟ අඹරා ආලේප කරන්න.

කෙම් ක්‍රම 

  • දේවදාර කැබැල්ලක් දෙහි යුෂවලින් ගල ගා කතා නොකර දවස් 14 ක් උදුගොව්වා කෑ ස්ථානය මදක් සූරා ගාන්න. මෙහිදී සූරන්නට අමු කොස් කොළයක් ගත හැකියි.
  • අමු රසකිද වැල් කැබැල්ලකින් කැපූ මුහුණතින් උදුගොව්වා කෑ ස්ථානය පිරිමදින්න.මෙය දින කිහිපයක්ම සුවවන තෙක් කළ යුතුයි.
  • ජාපාල ඇටයක් පුළුස්සා කොහොඹ තෙලින් උරච්චි කර රෝගීයා රාත්‍රී නින්දට ගිය පසු කතා නොකර ආලේප කරන්න.
  • හබරල පිත්තකට හුණු ආලේප කර උදුගොව්වා කෑ ස්ථානයේ ආලේප කරන්න.
  • කථා නොකර කිඹුල් දතක් දෙහි ඇඹුලෙන් ගලගා ආලේප කරන්න. මෙය තුන්වේලක් පමණයි. දින 15 ඉන් හිස කෙස් වර්ධනය වෙයි.

සැලකිය යුතුයි.

මේ අත් බෙහෙත් සිදු කිරීමේදී ඇතැම් අයට අසාත්මිකතා ඇතිවිය හැකි නිසාවෙන් එවැනි අවස්ථාවක මේ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නවතා සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගන්න.