ස්වාභාවික පරිසරය තුළ ඇති නොයෙකුත් ඖෂධීය ගුණ පිරි ශාක අතරෙන් මිනිස් ව්‍යාධීන් රැසකට ප්‍රතිකාර කිරීමේදී භාවිත කරනු ලබන ශාකයක් ලෙස රුක් අත්තන හදුනා ගත හැකිය. එමෙන්ම මෙම ශාකය පරිසර දූෂණය අවම කිරීම සදහා වැවීමට සුදුසු ගසක් ලෙස ද පර්‍යේෂණවලින් තහවුරු කර ගෙන තිබේ.
සෘජු කදක් සහිත මෙම ශාකය මීටර් 40ක් පමණ උසට වර්ධනය වේ. මෙය විශාල වෘක්ෂයක් ලෙස වර්ධනය වන අතර එහි ළපටි අතුවල වාසිදුරු ලක්ෂණ දැකගත හැකිය. මෙම ශාකයේ සරල පත්‍ර සිනිදු මතුපිටකින් යුක්ත වේ. මෙහි පත්‍ර වලයාකාර ස්ථර වශයෙන් පිහිටා ඇත. පත්‍රයක දිග සෙන්ටිමීටර් 5-25ක් පමණ වන අතර පළල සෙන්ටිමීටර් 2.5-11 ක් පමණ වේ. පුෂ්ප මංජරිය බහු අක්ෂයක් වන අතර එය ඡත්‍රාකාර ස්වරූපයක් ගනී.
මෙහි හටගන්නා කුඩා මල් සුදු කහ පැහැයක් ගනී. හටගන්නා ඵලය සෙන්ටිමීටර් 30-45ක් පමණ දිග කරලක් වේ. Apocynaceae නම් උද්භිද ශාක කුලයට අයත් ශාකයක් ලෙස රුක් අත්තන හදුනා ගත හැකිය. මෙම උද්භිද ශාක කුලයටම අයත් වැල් රුක් අත්තන නමින් හදුන්වන ඖෂධ සදහා යොදා ගන්නා වැල් වර්ගයක් ද පවතී.
පැරණි ඉන්දීය ජන විශ්වාසයන්ට අනුව රුක්අත්තන ගස භූතාත්ම අරක්ගත් ස්ථානයක් ලෙස සළකනු ලැබේ. එනිසා ඉන්දියාවේ ඇතැම් ජන කොටස් රුක් අත්තන ගසක් අසළින් යෑමට පවා බියක් දක්වති.
සැහැල්ලු දැව වර්ගයක් ලෙස ඉතා ප්‍රසිද්ධ රුක්අත්තන පැන්සල් ,ගල්ලෑලී, සංගීත භාණ්ඩ, මීනී පෙට්ටි,කරත්ත වල වියගහ , වෙස් මුහුණු කැපීම ආදී නොයෙකුත් භාණ්ඩ නිපදවීමට භාවිත කරනු ලබයි. නොයෙකුත් වටිනාකම් සහිත මෙම ශාකය ඖෂධීය ගුණ රැසකින් සමන්විත ශාකයක් වේ.
රුක්අත්තන ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝග

- 1. වණ සදහා
- 2. කුෂ්ඨ රෝග සදහා
- 3. ඉක්කා සදහා
- 4. ප්‍රවාහිකා සදහා
- 5. කල්ගිය රක්ත අතීසාරය සදහා
- 6. මැලේරියාව සදහා
- 7. කැස්ස සදහා
- 8. ඇදුම සදහා
- 9. ස්තන්‍ය දෝෂ සදහා
- 10. දත් කැක්කුම සදහා
- 11. සන්ධි ඉදිමුම් සදහා යනාදී රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී රුක්අත්තන ගසේ පොතු ,කොළ ,කිරි, මල් යනාදී ශාක කොටස් භාවිත කරනු ලැබේ.
රුක්අත්තන ශාකයේ ඖෂධීය ගුණ
- 1. සර්ප විෂ නසන
- 2. රුධිරය සහ මව්කිරි ශෝධනය කරන
- 3. උණ නසන
- 4. වණ රෝපණය කරන
- 5. පණු රෝග වළක්වන
- 6. කුෂ්ඨ නසන
- 7. පාචන
- 8. දීපන යනාදී ඖෂධීය ගුණයන්ගෙන් යුක්ත වේ.
රුක්අත්තන ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් නිපදවන ඖෂධ
- 1. තෛල
- 2. ක්වාත
- 3. ප්‍රලේප
- 4. වටී ආදී වශයෙන් රුක්අත්තන ගසේ ඖෂධීය ගුණ භාවිතයෙන් ඖෂධ රැසක් නිපදවනු ලබයි.
විවිධ රෝග සදහා රුක්අත්තන ශාකය භාවිත කර සකසන අත් බෙහෙත්

- කුෂ්ඨ රෝග සදහා.රුක්අත්තන පොතු කෂාය ලෙස සකසා පානය කිරීමට ලබා දීම මෙන්ම රුක්අත්තන පොතු තැම්බූ ජලයෙන් ස්නානය කිරීම කුෂ්ඨ රෝග සදහා ගුණදායක වේ. එමගින් කුෂ්ඨ රෝග තත්වයන් සමනය කර ගත හැකිය.
- කුෂ්ඨ වණ සදහා.මේ සදහා රුක් අත්තන කිරි වියළා චූර්ණ කොට වණවලට ඉසියි.
- කැස්ස, ඇදුම, සහ හිසේ රෝග සදහා.මේ සදහා රුක්අත්තන මල් ශීරෝ විරේචනයට යොදනු ලබයි.
- හික්කා සහ ශ්වාස රෝග සදහා.මෙම රෝග තත්වයන් සදහා රුක්අත්තන පොතු ඉස්ම මී පැණියෙන් ලේහ කරනු ලබයි.
- මව්කිරි පිරිසිදු කිරීම සදහා.රුක්අත්තන පොතු චූර්ණය හා තිරිඟු පිටි සමව ගෙන උණුදියෙන් කලවම් කර ආලේප කරයි.
- සාන්ද්‍ර මේහය සදහා රුක්අත්තන පොතු කෂාය යොදා මේ සදහා ප්‍රතිකාර කරනු ලබයි.
- උග්‍ර විෂ ඇති සර්පයන් දෂ්ඨ කළ විට සිහි මූර්ජා වී දින ගණන් ගත වේ. එවැනි අවස්ථාවන්හි රෝගී පුද්ගලයා රුක්අත්තන ලී පෙට්ටියක දැමූ විට සිහිය එන බවත් කියවෙන මතයක් පවතී.
රුක්අත්තන ඖෂධීය ශාකයක් වශයෙන් මෙන්ම දැවමය වශයෙන් ද වටිනා ශාකයක් වේ. මෙවැනි වටිනා ශාක රැක ගැනීම අප සතු යුතුකමක් වේ.