විටමින් සී,තන්තු,කැල්සියම්,පොස්පරස්, කාබෝහයිඩ්‍රේට්,යකඩ,විටමින් C,A,B1,B2 යන ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ඇඹරැල්ලා යනු ගුණයෙන් අනූන එළවළුවකි. ඉදුණු පසු පලතුරක් ලෙස ද ආහාරයට ගත හැකිය.

Anacaediaceae උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඇඹරැල්ලා ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
- වල් ඇඹරැල්ලා
- සාමාන්‍ය ඇඹරැල්ලා
- කටු ඇඹරැල්ලා යන ආදී වශයෙන් ඇඹරැල්ලාවල ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
ඇඹරැල්ලා ගෙඩි වලින් ව්‍යංජන, චට්නි, අච්චාරු, යුෂ ආදිය සකසා ආහාරයට එක්කර ගත හැකිය. ඇඹරැල්ලා කොළ වලින් සම්බෝලයක් සකස් කර ආහාරයට ගත හැකිය. එමෙන්ම ආයුර්වේදය තුළ කොල, මුල්, පොතු ආදිය ද ඖෂධ නිශ්පාදනයේදී භාවිතයට ගනී.
ඇඹරැල්ලාවල ඖෂධීය ගුණ
දියවැඩියාව පාලනය කිරීමට අමු ඇඹරැල්ලා ගෙඩි වල සීනි සංයුතිය ඉදුණු ඇඹරැල්ලා වලට සාපේක්ෂව අඩු වේ. එබැවින් ඇඹරැල්ලා දිනපතා ආහාරයට ගත්තා වුවද වරදක් නොවේ. තරමක ඇඹුල් රසයක් පැවතියත් එය දියවැඩියා රෝගය පාලනයට උපකාරී වේ.
දෙපා වේදනාවන් සුව කිරීමට දෙපාවල ඇතිවන ඉදිමුම, වේදනාව, කැක්කුම ආදිය සුව කිරීමේ හැකියාව ඇඹරැල්ලා සතුව පවතී. මේ සදහා ඇඹරැල්ලා පොතු හොඳින් කුඩු කර එම ප්‍රමාණයෙන් ම අරළු කුඩු මිශ්‍රකර දෙහි ඇඹුල් වලින් අඹරා දෙපා වල ආලේප කිරීම සුදුසුවේ. මීට අමතරව ඇඹරැල්ලා පොතු සහ කොල කසායක් ආකාරයට සකසා පානය කිරීමෙන් හන්දිපත් වේදනාවද සුවකර ගත හැකිය.
සෙම ඉවත් කිරීමට-සෙම ඉවත් කිරීම සඳහා ඇඹරැල්ලා ශාකයේ පොත්ත ගෙන පිට කුරුට්ට ඉවත් කර එයට ලුණු, ගම්මිරිස්, අමු ඉඟුරු ස්වල්පය බැගින් දමා කොටා නස්නාරං ඇඹුලෙන් අනා උගුරේ ආලේප කිරීමෙන් සෙම ඉවත් කරගත හැකිය.
කක්කල් කැස්ස හා දිගුකාලීන කුෂ්ඨ වලට-හොඳින් පැසුණු අඹරැල්ලා ගෙඩිවල පොතු ඉවත් කර හොඳින් සෝදා ගෑරුප්පුවකින් සිදුරු විද මී පැණිවල බහා තබා දිනකට එක ගෙඩියක් බැගින් අනුභව කිරීමෙන් සුවය සලසා ගත හැකිය.

බෙල්ලෙ වේදනාවට-මේ සඳහා වල් ඇඹරැල්ලා පත්තුව යෝග්‍ය වන අතර බෙල්ල හැරවීමට හෝ නැවීමට නොහැකි වන පරිදි වේදනා ගෙන දේ නම් එම පත්තුව සතියක් පමණ බැඳීමෙන් සුවපත් කරගත හැකිය. මේ සඳහා වල් ඇඹරැල්ලා කොළ සහ පොතු, හරන් කහ, කොට්ට පොල් හා ලුණු වරණ පොතු සම ප්‍රමාණවලින් ගෙන කොටා එය මලවා පත්තුව සකස් කර ගනී.
දරු ප්‍රසූතිය සිදුකළ මව්වරුන්ගේ ශරීර ශක්තිය වර්ධනය කරයි. කටු ඇඹරැල්ලා දළු කෂායක් ලෙස සකසා එම කාන්තාවන්ට ලබා දීමෙන් හීන වී ගිය ශරීර ශක්තිය නැවත යථා තත්ත්වයට පත් කර ගත හැකිය. එමෙන්ම දරු ප්‍රසූතියෙන් පසු ඇති වන අධික රුධිර වහනය පාලනය කිරීමටත් මෙය උපකාරී වේ.
ගන්ඩමාලයට ගන්ඩමාලය සමනය කිරීම සඳහා ඇඹරැල්ලා පොතු ,අරළු, අමු ඉඟුරු සමව ගෙන දෙහි ඇඹුලෙන් අඹරා කකාරා ආලේප කිරීම යෝග්‍ය වේ.
අධි රුධිර පීඩනයට ඇඹරැල්ලා දළු අමුවෙන් සපා කෑම , ඇඹරැල්ලා දළු සම්බෝලය ආහාරයට ගැනීම.
ගර්භාෂ රෝගයන්ට කාන්තාවන්ගේ ගර්භාෂය ඇතිවන්නා වූ රෝගී තත්ත්වයන් සඳහා ඇඹරැල්ලා පලතුරක් ආකාරයට හෝ ඇඹරැල්ලා දළු සලාදයක් ආකාරයට සකසා ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ.
වේදනා සමනය කිරීමට වේදනා නාශක ගුණයෙන් අනූන ඇඹරැල්ලා යම් යම් හේතු මත ඇතිවන තැලීම් වේදනාවන් සමනය කරනු ලබයි. මේ සඳහා ඇඹරැල්ලා පොතු, අමු ඉගුරු සහ අරළු සමාන ප්‍රමාණයන්ගෙන් ගත යුතුය. ඒවා දෙහි ඇඹුලෙන් කකාරා තැලුම් වේදනා පවතින ස්ථානවල ආලේප කිරීමෙන් සහනයක් සලසා ගත හැකිය. මීට අමතරව හන්දිපත් වේදනාව වැනි තත්ත්වයන් වලට ද ඇඹරැල්ලා භාවිතය වඩාත් සුදුසු වේ.
තුවාල සමනයට-මද පවනේ වියළාගත් ඇඹරැල්ලා කොළ කුඩුකර එම කුඩුවලට එළඟි තෙල් කවලම් කර එම මිශ්‍රණය තුවාලවල ආලේප කිරීමෙන් සුවය ලබා ගත හැකිය.මේ ආදී වූ රෝග ගණනාවක් සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස ඇඹරැල්ලා භාවිතා කළ හැකිය.