ගර්භාෂ රෝග සමනය කරන ඇඹරැල්ලා

health tips

පලතුරක් ලෙස, මෙන්ම එළවළුවක් ලෙස ආහාරයට එකතු කර ගත ඇඹරැල්ලා බොහෝ රෝග නිවාරණය කිරීමට ඖෂධීය ආහාරයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් Anacaediaceae උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඇඹරැල්ලා ශාකය ප්‍රභේද  කිහිපයක් හඳුනාගත හැකිය. 

  • සාමාන්‍ය ඇඹරැල්ලා 
  • කටු ඇඹරැල්ලා 
  • වල් ඇඹරැල්ලා 

ආදී වශයෙන් ඇඹරැල්ලා ප්‍රභේද කිහිපයක් පවතී. ඇඹරැල්ලා ඉදුණු ගෙඩි පලතුරක් ලෙස මෙන්ම අමු ඇඹරැල්ලා ව්‍යංජනයක්,චට්නියක්, අච්චාරුවක් ලෙසින් ද ඇඹරැල්ලා දලු මැල්ලුමක් ලෙස ද ආහාරයට ගත හැකිය. එමෙන්ම ආයුර්වේදය තුළ රෝග සමනය කිරීමට ඇඹරැල්ලා ගෙඩි, පොතු,දලු, කොල ,මුල් ආදී ශාක කොටස් ඖෂධ ලෙස යොදා ගනු ලැබේ. එනම් ඇඹරැල්ලාවල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අඩංගු වේ. 

  • විටමින් C
  • විටමින් A
  • විටමින් B1
  • විටමින් B2 
  • කැල්සියම්
  • තන්තු
  • යකඩ
  • කාබෝහයිඩ්‍රේට්
  • පොස්පරස් යන ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු වන හෙයින් ඇඹරැල්ලා ආහාරයට එකතු කර ගැනීම බොහෝ රෝග රැසක් සමනය කිරීමට හේතුවේ. 

ඇඹරැල්ලා වල ඖෂධීය ගුණ 

ආහාර රුචිය වැඩි කරයි.බොහෝ දෙනෙකුට ඇතිවන ආහාර අරුචිය සමනය කරගෙන ආහාර රුචිය වර්ධනය කරගැනීමට ඇබරැල්ලා ව්‍යංජනයක් ලෙස සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් ආහාර  රුචිය වැඩිකර ගත හැකිය. 

බෙල්ල ආශ්‍රිතව ඇති වන  ආබාධ සුව කරයි. බොහෝ විට බෙල්ල ආශ්‍රිතව ඇතිවන ආබාධ එනම් බෙල්ල හැරවීමට නැමීමට නොහැකි වන පරිදි වේදනාවක් ඇතිවූ අවස්ථාවක ඇඹරැල්ලා ශාකය යොදාගෙන පත්තුවක් සකස් කර එම රෝග තත්ත්වය සුවකර ගත හැකිය. එනම් මේ සඳහා ඇඹරැල්ලා කොළ සහ පොතු හරන් කහ ලුණුවරණ පොතු  කොට්ට පොල් ..ආදියෙන් සමව ගෙන කොටා මලවා සකස් කරගන්නා පත්තුව යෝග්‍ය වේ. 

ගර්භාෂය ආශ්‍රිත ඇතිවන රෝග සුව කරයි. බොහෝ කාන්තාවන් ගර්භාෂය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන්ට ගොදුරු වී තිබේ. මෙම රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා ඇඹරැල්ලා පලතුරක් ලෙස හෝ ඇඹරැල්ලා දළු සලාදයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් ගර්භාෂගත රෝග සමනය කරගත හැකිය. 

දරු ප්‍රසූතිය සිදුකළ කාන්තාවන් ට ගුණදායකවේ.ඈත අතීතයේ සිටම දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන අධික රුධිර වහනය පාලනය කිරීමට මෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව එම කාන්තාවගේ හීන වී ගිය ශරීර ශක්තිය වර්ධනය කරගැනීමට කටු ඇඹරැල්ලා දළු කෂායක් ලෙස සකසා පානය කිරීමට ලබා දීම සිදුකර තිබේ. 

මුඛය ආශ්‍රිතව ඇති විය හැකි තුවාල සුව කරයි.මුඛය ආශ්‍රිතව ඇති විය හැකි තුවාල සෙම්ගෙඩි විදුරුමස් රෝග සුව කිරීම සඳහා ඇඹරැල්ලා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් මේ සඳහා ඇඹරැල්ලා කොළ ගෙන මද පවනේ වියලා කුඩුකර උතුරන වතුර වීදුරුවකට දමා ඊට සහිඳ ලුණු ස්වල්පයක් මිශ්‍ර කර එම ජලයෙන් මුඛය සේදීම මගින් මුඛය ආශ්‍රිතව ඇති විය හැකි රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය. 

තුවාලවලට ඉක්මන් සුවය ලබාදේ.ඕනෑම ආකාරයේ තුවාලයක් සුව කිරීම සඳහා ඇඹරැල්ලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ඇඹරැල්ලා කොළ මදපවනේ වේලා කුඩුකර එම කුඩුවලට එළඟි තෙල් ස්වල්පයක් මිශ්‍ර කර එම මිශ්‍රණය තුවාලවල ආලේප කිරීම මගින් සුවය සලසා ගත හැකිය. 

දෙපාවල ඇතිවන ආබාධ සමනය කරයි.දෙපා ආශ්‍රිතව ඇතිවන වේදනාව, කැක්කුම, ඉදමුම ආදී රෝග තත්ත්වයන් සුව කිරීම සඳහා ඇඹරැල්ලා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා ඇඹරැල්ලා පොතු හොඳින් කුඩු කර එම ප්‍රමාණයටම අරළු කුඩු මිශ්‍රකර දෙහි ඇඹුල් මගින් අඹරා දෙපා වල ආලේප කිරීම මගින් දෙපා ආශිතව ඇතිවිය හැකි ආබාධ සුවය කරගත හැකිය. ඊට අමතරව මේ සදහා ඇඹරැල්ලා පොතු කොළ කෂාය කර පානය කිරීම ද යෝග්‍ය වේ. 

අතීසාරයට සුවය සලසයි.ඈත අතීතයේ සිටම අතීසාරය සමනය කිරීම සඳහා ඇඹරැල්ලා පොතු කෂායක් ලෙස සකස් කර භාවිතා කර තිබේ. එනම් මේ සඳහා ඇඹරැල්ලා පොතු ස්වල්පයක් ගෙන බදුනකට දමා ඊට වතුර කෝප්ප අඩු අටක් එකතු කර එකට සිඳවා ගත යුතුය. ඉන්පසු ඊට දෙළුම් යුෂ හා මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර උදේ සවස පත භාගය බැගින් පානය කිරීමෙන් අතීසාරය සමනය කරගත හැකිය. 

  • හෘදයාබාධ ඇතිවීම වලක්වාගැනීමට 
  • අධි රුධිර පීඩන තත්වයන් සමනය කිරීමට 
  • මල බද්ධය සමනය කිරීමට 
  • දියවැඩියාව පාලනය කිරීමට 
  • කොලෙස්ට්‍රොල් පාලනය කිරීමට 
  • වා පිත් සෙම් දොස් සමනයට 
  • මේ ආදී වූ රෝග ගණනාවක් සුව කර ගැනීමට ඖෂධයක් මෙන්ම එළවළුවක් ලෙස ඇඹරැල්ලා ශාකයේ ඖෂධීය ගුණයන් භාවිතා කළ හැකිය