අපි කොතරම් කාර්යබහුල වෙලා ද කියලා කිව්වොත් කටට රසට පිරිසුදු ආහාර වේලක් තමන්ගේ දෑතින් පිළියෙල කරගන්නවත් කාල වේලාව නැති වෙලා. දරුවන් දෙමාපියන් අතර තියෙන බැඳියාව බොහෝදුරට ඈත්වෙලා. අපි හැමෝම වැඩ කරන්නෙ හරියට යන්ත්‍ර සූත්ර වගේ. ඉතින් මෙන්න මේ වගේ ජීවන රටාවක් ගත කරන අපි බොහෝ දෙනෙක්ට නොයෙකුත් ආකාරයේ ලෙඩ රෝග ඇතිවෙනවා. ඒ පිළිබඳව විවිධ මාධ්‍යයන් ඔස්සේ ඔබත් දැනුවත් වෙලා ඇති.
සාමාන්‍යයෙන් අපි අද හුරු වෙලා ඉන්න ආහාර රටාව හේතු කරගෙන ඇතිවෙන බොහෝ ලෙඩ රෝග අතර වඩාත් බරපතළ තත්ත්වයක් තමයි ඇනීමියාව එහෙම නැත්නම් රක්තහීනතාවය කියන්නේ. පාසල් යන කුඩා දරුවන් අතරත් කාන්තා පාර්ශවය අතරත් වැඩි වශයෙන් දකින්නට තියෙන මේ රෝග තත්ත්වය ඕනෑම වයසක පුද්ගලයෙකුට ඇතිවිය හැකි බරපතළ රෝග තත්ත්වයක්. මේ තත්ත්වය වඩාත් දරුණු බවට පත් වුණොත් හදවත් රෝග හදිසි හෘදයාබාධ පවා ඇතිවෙලා අපේ ජීවිතය අපිට නැති වෙන්න වුණත් පුළුවන්. ඒ වගේම හැඩට වැඩට ලස්සනට ඉන්න අපි හැමෝගෙම සුන්දරත්වය පවා ගිලිහිලා යනවා මෙන්න මේ රෝග තත්ත්වය හේතු කරගෙන. ඒ නිසා අපි අද කතා කරමු මේ රක්තහීනතාවයෙන් ඔබ පෙළෙන බව ඔබට හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ ආදී කරුණු කාරණා පිළිබඳව.
රක්තහීනතාවය කියන්නේ රුධිරයේ තියෙන හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීමයි. රක්තහීනතාව රුධිරයේ රතු රුධිරානු ප්‍රමාණය අඩුවීම නිසාත් සිදුවෙනවා. වෛද්‍යවරුන් වගේම පෝෂණවේදීන්ගේ පර්යේෂණ අනුව රක්තහීනතාවයේ ප්‍රභේද 400 කට අධික ප්‍රමාණයක් ඇති බව සොයාගෙන තියෙනවා. මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා දිගු කාලීන සහ කෙටි කාලීන වශයෙන් .යකඩ ඌණතාවයක් සමග රතු රුධිර සෛලවල හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම නිසා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය ශරීරයේ පටක වෙත ගෙනයාමට නොහැකි වීමෙන් තමයි රක්තහීනතාව ඇති වෙන්නේ.
රක්තහීනතාව ඇති වෙන්නට බලපාන හේතු

- ස්වාභාවිකවම රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනය අඩුවීම
- ශරීරයේ සිදුවන රුධිර වහනය රක්තහීනතාව ඇති වෙන්නට දරුණු ලෙස ඇතිවන රුධිර වහනයන් හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රුධිර වහනය සිදුවන බඩවැල්වල පිළිකා, අර්ශස් ආදී රෝග කාන්තාවන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත් ලෙසින් වැඩි වාර ගණනක් සිදුවීම ආදියත් බලපානවා.ඒ වගේම විවිධ පණු රෝග ආදිය හේතු කරගෙන විශේෂයෙන් කොකු පණුවන් වගේ පණු රෝග දීර්ඝකාලීනව තිබීමෙන් දරුවන්ගේ රුධිරය අඩු වෙලා රක්තහීනතාවයට ගොදුරු වෙන්න පුළුවන්.
- ශරීර අභ්‍යන්තරයේදීම රතු රුධිරාණු විනාශ වීම
- යකඩ ඌණතාවය හිමොග්ලොබින් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් තරම් යකඩ නොමැති විට මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. මෙයට අමතරව ජීර්ණ ක්‍රියාවලියේ පවතින යම් යම් දුර්වලතා නිසාත් ශරීරයේ යකඩ ප්‍රමාණය අඩු වෙන්නට පුළුවන්.
- විටමින් B12 ඌණතාවය මේ විටමිනයේ හිඟ බව බොහෝ වෙලාවට නිර්මාංශ පුද්ගලයන් තුළින් දකින්නට පුළුවන්.
- ඇට මිදුලු ආශ්‍රිත රෝග තත්ත්වයන් නිසා යකඩ නිසි පරිදි අවශෝෂණය නොවීම
- පෝෂණ ඌණතා
- තයිරොයිඩ් ආබාධ
- ජානමය ගැටලු
ජානමය රෝගයක් ලෙස හඳුන්වන තැලසීමියාව ආදී රෝග තත්ත්වයන්ගෙන් බලපෑමක් ලෙසත් රක්තහීනතාව ඇති වෙන්න පුළුවන්.
රක්තහීනතාවයේ ලක්ෂණ
- සුළු කාර්යයක දී පවා දැඩි වෙහෙසක් දැනීම
- නිතරම විඩාවෙන් යුක්තවීම
- අලස බව
- හිසරදය
- හතිය
- ශරීරය දුර්වල වීම සහ සුදුමැලි වීම
- ක්ලාන්තය
- පපුවේ වේදනාව
- රසය දැනීමේ වෙනස්කම් ඇතිවීම
- මුඛයේ තුවාල ඇතිවීම සහ ආහාර ගිලීමේ අපහසුතා
- සමේ කැසීම සහ සමේ රෝග
- හුස්ම ගැනීමේ අපහසුතාවය
- හෘද ස්පන්දන වේගය වැඩිවීම
- ආහාර අරුචිය
- අත් සහ පාද සීතල වීම
- සම වියළීම
- නිතර කේන්ති යාම
- හිසකෙස් ගැලවී යාම
- නියපොතු කැඩෙන සුළු වීම
- මානසික අවපීඩනය
- මතකයේ දුර්වල බව
රක්තහීනතාවය නිසා ඇතිවෙන අතුරු ආබාධ
ශරීරයේ සෑම ඉන්ද්‍රියකම මනා ක්‍රියාකාරිත්වය සඳහා රුධිරයේ අඩංගු වන රතු රුධිරාණු බොහෝ සෙයින් උපකාරී වෙනවා. මොකද ඔක්සිජන් පේශීවලට ගමන් කරවීම සඳහා රතු රුධිරාණු ඉවහල් වන නිසා. රක්තහීනතාවයෙන් පෙළෙන යම් අවස්ථාවක ශරීරය වෙහෙස වෙන කටයුත්තක ඔබ නිරත වෙනවා නම් සෘජුවම එය අපේ හදවතට හානිකර විදිහට බලපාන්නට පුළුවන්. එවැනි අවස්ථාවක හදිසි හෘදයාබාධවලට ලක්වීමේ වැඩි අවදානමක් නිර්මාණය වෙනවා. දීර්ඝ කාලයක් මේ තත්ත්වය පැවතුණොත් හෘදය දුර්වල වීම, කාර්යක්ෂමතාව අඩුවීම සහ ඉදිමීම ආදී භයානක ප්‍රතිඵල ඇති වෙන්න හේතුවක් වෙනවා. හදවතේ රෝග ඇති වෙනවා කියන්නේ ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්වලටත් එය ඉතාමත් අහිතකර ලෙස බලපානවා.
රුධිරයේ හිමොග්ලොබින් අඩු වූ විට අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග

මෙවැනි ලක්ෂණ ඇති අවස්ථාවකදී ඔබ වෛද්‍යවරයෙකු හමු වී අදාළ උපදෙස් ලබා ගත යුතුයි. එසේ නොමැතිව හිතුමතයට යකඩ පෙති භාවිතා කිරීම එතරම් හිතකර නැහැ. එයින් සිරෝසිස් වගේ රෝග තත්ත්වයන් පවා ඇති වෙනවා. එවැනි අවස්ථාවක පරික්ෂා කිරීම් සිදු නොකළොත් පිළිකා තත්ත්වයන් වුණත් මගහැරී යන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ වෛද්‍යවරයකු හමු වෙලා ඊට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීමයි.
රක්තහීනතාවයේ සෑම ප්‍රභේදයකටම ප්‍රතිකාර නොමැති වුණත් යකඩ ඌනතාවය හෝ ශරීරයට අවශ්‍ය විටමින් ආදිය අඩුවීම හේතු කරගෙන ඇතිවන රක්තහීනතාවය සමනය සඳහා ඖෂධ පවතිනවා. ඒ හැරුනහම එය යථා තත්ත්වයට පත්කර ගන්නට අපිට විවිධ වෙනස්කම් අපේ ආහාර රටාව සහ චර්යා රටාවේ සිදුකරන්න පුළුවන්.
සමබර ආහාර රටාවක් පවත්වා ගැනීම
මෙහිදී ඔබගේ එදිනෙදා ආහාර වේලට ෆෝලේට්, යකඩ, විටමින් සී, විටමින් බී ආදි අන්තර්ගත වෙන ආහාර රටාවක් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
ෆෝලේට්
තද කොළ පැහැයට හුරු එළවළු සහ පලා වර්ගවල ෆෝලේට් අඩංගු වෙනවා. විශේෂයෙන්ම ආමන්ඩ් ඇට, කව්පි, ග්‍රීන්පීස් ආදී ධාන්‍ය වර්ග රටකජු ආදියෙත්, සත්ව ආහාර ලෙස බිත්තර, මාළු ආදියෙත් ඇතුළත්. ඒ වගේම නිවුඩ්ඩ සහිත සහල් වර්ගවල, විටමින් වැඩි වශයෙන් අඩංගු ධාන්‍ය වලින් සකස් කරන ලද පාන් වර්ග, සීරියල් වර්ග ආදිය තුළිනුත් ෆොලේට් නොඅඩුව ලබා ගන්නට පුළුවන්.
යකඩ
යකඩ අඩංගු ආහාර වශයෙන් බෝංචි, ධාන්‍ය වර්ග, පරිප්පු,තෝර කොල, තම්පලා, නිවිති, ගොටුකොළ ඇතුළු තද කොළ පැහැති එළවළු සහ පලා වර්ග ආදියත් දක්වන්න පුළුවන්. ඒ වගේම මස් වර්ගවලත් යකඩ බහුලවම අඩංගු වෙනවා.
විටමින් c
විටමින් c ආහාරවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීමට උදව් වෙනවා. විශේෂයෙන්ම පැඟිරි කුලයට අයත් පළතුරු වර්ගවල, මාළුමිරිස්, තක්කාලි, බ්‍රොකෝලි, මිරිස් වර්ග, කොමඩු ආදී පලතුරුවලත් විටමින් සී වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. පිසීමේදී වැඩි වේලාවක් පිසීම නිසා විටමින් c විනාශ වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා විටමින් සී බහුල ආහාර හැකිතාක් සලාද වශයෙන් හෝ අමුවෙන් ආහාරයට එකතු කර ගන්නට වගබලා ගන්න.
විටමින් b12
කිරි, බිත්තර, මස් ආදියේ විටමින් b 12 වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ වගේම කිරි ආහාර සීරියල් වර්ග සහ සෝයා නිෂ්පාදනවලත් මේ පෝෂක සංඝටක බහුලවම අන්තර්ගත වෙනවා.
- ආහාර ගත් විගස තේ, කෝපි, දුම්පානය, බුලත් විට කෑම ආදියෙන් වැළකී සිටීමත් රක්තහීනතාවය දුරුකර ගන්නට උපකාරී වෙනවා.
- ප්‍රධාන ආහාර වේලකට පසුව කොළ පාට පලතුරු වර්ග ආහාරයට ගැනීම විටමින් c අඩංගු දෙහි, දොඩම් යුෂ පානය කිරීම, පලා වර්ග පිසීමේදී අධික ලෙස සේදීම සහ පිසීම නොකළ යුතුයි. ඒ වගේම එළවළු සහ පලා වර්ග දිගු කාලයක් අසුරා තැබීමත් හිතකර නැහැ.
- සෑම විටම ස්වභාවික නැවුම් එළවළු පලතුරු ලබාගන්න.
- මොනරකුඩිම්බිය , හාතවාරිය සහ හීන් බෝවිටියා කැඳ පානයට ගන්න.
රක්තහීනතාවය කියලා කියන්නේ කුඩා දරුවන්ටත් තරුණ වයසේ දරුවන්ටත්, කාන්තා පාර්ශවයටත් කිරිදෙන මවුවරුන්ටත්, ගර්භනී මව්වරුන්ට වැඩි වශයෙන් ඇතිවිය හැකි රෝග තත්ත්වයක්.නමුත් එය පහසුවෙන් වළක්වා ගන්නට හැකියාව තියෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.