අපේ රටේ බහුලව දකින්නට ලැබෙන නමුත් වැඩිදෙනෙක් අඩුවෙන් භාවිතා කරන තවත් පලතුරක් තමයි කටු අනෝදා කියන්නේ. එහෙම නැත්නම් කටු ආතා කියන නමිනුත් හඳුන්වන මේ කටු අනෝදා ඇඹුල් මිශ්‍ර පැණි රසයකින් යුක්ත රෝග බොහොමයකට හිතකර පලතුරක්. ඒ වගේම ඖෂධයක්. ආයුර්වේදයට අනුව කටු අනෝදා ශාකයේ ගෙඩි, මල්, කොළ, පොතු සහ ඇට ආදී පංචාංගයම ඖෂධ ලෙස භාවිතයට ගනු ලබනවා.
කටු අනෝදා ග්‍රෑම් 100 ක පහත සඳහන් පෝෂක අන්තර්ගත වෙනවා.මෙහි කැලරි 66 ක් වගේ අඩු ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසා කැලරි අඩු ආහාර ගන්නට උනන්දු වෙන අයට ඉතා වැදගත් පලතුරක්. ඒ වගේම කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 16.8 ක් ද ප්‍රෝටීන් ග්‍රෑම් 1 ක ප්‍රමාණයක් ද මෙහි අන්තර්ගත වෙනවා.විටමින් B කාණ්ඩයට අදාල තයමීන්,රයිබොෆ්ලේවින් ෆෝලේට් ආදී විටමින් වර්ග ඇතුළුව විටමින් C මෙහි බහුලවම අඩංගු වෙනවා. ඒ හැරුණාම මැග්නීසියම් යකඩ වගේ ඛනිජත් අනතර්ගතවන අතර මෙහි පොටෑසියම් බහුලවම අන්තර්ගත වෙනවා.
අපේ රටේ කටු අනෝදා ගෙඩිය ඉදුණු පසු පලතුරක් ලෙස ආහාරයට ගන්නවා විනා ඒ ශාකයේ අනෙකුත් කොටස් වල ඇති ගුණය ගැන දැනුවත් නැහැ. ඒ වගේම ඒවා භාවිතයට ගන්නෙත් නැහැ. නමුත් බටහිර රටවල කටු අනෝදා කොළ තේ පානය ඉතාම ජනප්‍රියයි. ඔවුන් බොහෝදෙනෙක් තේ හෝ කෝපි වෙනුවට මේ කටු අනෝදා කොළ තේ පානය කරනු ලබනවා. කටු අනෝදා ගෙඩියේ වගේම අනෙකුත් කොටස්වලත් අපිව නීරෝගී කළ හැකි විවිධ ලෙඩරෝගවලට එරෙහිව යන විශේෂ ගුණාංග බොහොමයක්ම අන්තර්ගත වෙනවා. ඒ වගේම කටු අනෝදා බීජ පාචනය සහ උණ වළක්වන ප්‍රතිකාරකයක් ලෙසටත් වැදගත් වෙනවා. ඒ වගේම කටු අනෝදා මල් මිටක් වතුර පත හතර එකට සිදුවා පානය කිරීමෙන් කැස්ස සහ පීනස් රෝගත් සුවකර ගන්නට පුළුවන්.
කටු අනෝදා ආහාරයට එකතු කර ගැනීමෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ

පිළිකා නැසීමේ හැකියාව කටු අනෝදා ගෙඩිවල වගේම කොළවලත් ශරීරයේ මුක්ත ඛණ්ඩ විනාශ කර නව සෛල වර්ධනයට උපකාරී වන ප්‍රති ඔක්සිකාරක ගුණ පවතිනවා. ඒ නිසා එය පිළිකාවලින් අපේ දේහයට ආරක්ෂාව සලසනු ලබනවා.
- ප්‍රතිශක්තිකරණය ඉහළ දැමීමේ හැකියාව
- දරු ප්‍රසූතියෙන් පසු මවගේ කිරිවල ගුණාත්මක බව වැඩි කිරීම
- මුත්‍රා අඩිස්සිය, මුත්‍රා දැවිල්ල හා මුත්‍රා ගල් ආදී තත්ත්වයන් සඳහා සුවය ගෙනදීමේ හැකියාව
- අර්ශස් රෝගීන්ට ගුණදායක වීම.
- අක්මාව නීරෝගී කිරීම
- අමිල පිත්ත රෝගයට සුදුසු වීම .
- මලබද්ධය සුව කිරීම.
- පණු රෝග නැසීම.
කටු අනෝදා කොළ පානයෙන් දේහයට ලැබෙන ප්‍රතිලාභ
- ශරීරයේ උෂ්ණ ගතිය දුරු කර ශරීරය සිසිල් කිරීම.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම.
රුධිරයේ සීනි මට්ටම හොඳින් පාලනය කරන්නට කටු අනෝදා කොළවලට හැකියාව තිබුණත් දියවැඩියා රෝගය සුව කරන්නට එය ඔසුවක් නෙවෙයි.ඒ වගේම දෛනිකව අධික සීනි ප්‍රමාණයක් පරිභෝජනය කරන්නෙකුට මේ කටු අනෝදා දළු පානය දියවැඩියා රෝගයෙන් වැළකී සිටින්නත් ඉහළ සම්භාවිතාවයක් පවතිනවා.

නින්ද නොයාමේ රෝගයට ගුණදෙනවා.Insomnia කියන නින්ද නොයාමේ රෝගය වගේම නින්ද නොයාමේ අපහසුතා පවා දුරුකර ගන්නට මේ කටු අනෝදා කොළ පානය වැදගත් වෙනවා.රාත්‍රී නින්දට පැය දෙකකට පමණ පෙර කටු අනෝදා දළු තේ පානය කිරීමෙන් ඒ අපහසුතා මගහරවා ගන්නට හැකියාව ලැබෙනවා.නමුත් Insomnia රෝගය සඳහා මෙය ප්‍රතිකාරයක් ලෙස නොගෙන වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි. ඒ අතරේ වෛද්‍යවරයාගේ අනුදැනුම ඇතිව මේ පානය ලබා ගත්තාට වරදක් නැහැ.
- මානසික ආතතිය දුරු කරනවා.
- ස්නායු උත්තේජනය කරනවා.
අනෝදා කොළවල ඇති රසායන ස්නායු උත්තේජනයට උපකාරී වනවා.නමුත් පමණට වඩා පරිභෝජනයෙන් ස්නායු සඳහා අහිතකර වන්නට පුළුවන්.
- අධි රුධිර පීඩනය අඩු කරනවා.
- හදවත් රෝග්වලින් ආරක්ෂා කරනවා.
- රොමැටොයිඩ් ආතරයිටීස් සඳහා ගුණදායකයි.
- ශාරීරික විඩාව දුරු කරනවා.
කටු අනෝදා පානය හොඳින් පැසුණු කටු අනෝදා ගෙඩියක් ගෙන කැබලිවලට කපා වියළා ගන්න.හොඳින් වියළුනු පසුව කුඩු කර සුළං නොවදින සේ අසුරා අවශ්‍ය විට කෝපි වෙනුවට පානයට ගන්න. මෙය විශේෂයෙන්ම දිනකට දෙවරක් පානයෙන් මුත්‍රාශයේ හා ආමාශයේ රෝග සහ අර්ශස් පණු රෝග සඳහා විශේෂ ගුණයක් ලබා ගන්නට පුළුවන්.
කටු අනෝදා කොළ පානයක් සකසා ගැනීම

මේ සඳහා මේරූ කටු අනෝදා කොළ වගේම කටු අනෝදා දල්ලත් භාවිතා කරන්නට හැකියාව තියෙනවා. නමුත් ලා කොළ පැහැ කටු අනෝදා දල්ල ඉමිහිරි රසයක් ගන්නා නිසා එය පානය රසවත් කරගන්නට උපකාරී වෙනවා.
රසවත් කටු අනෝදා පානයක් නිවසේදීම සාදා ගැනීමට අනෝදා ලා දළු කිහිපයක් භාවිතා කරන්නට පුළුවන්.
- සෝදාගත් අනෝදා දළු 10 ක් පමණ උතුරන වතුර කෝප්පයකට දමා විනාඩි 5 ක් පමණ වසා තබන්න. එය හොඳින් තැම්බුණු පසුව ලා තැඹිලි පැහැයක් ගන්නවා.
- පසුව මෙයට ස්වභාවික මී පැණි ස්වල්පයක් සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර පානය කරන්න.
මේ පානයෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීම සඳහා සතියකට වරක් හෝ මෙය පානය කළ යුතු වෙනවා.
සැලකිය යුතුයි.වකුගඩු රෝගීන්ගේ පොටෑසියම් මට්ටම යම් යම් අවස්ථාවල ඉහළ යන නිසාවෙන් පොටෑසියම් බහුල මෙවැනි ආහාර එවැනි අයට නුසුදුසු නිසා ඒ පිළිබඳව ඒ රෝගීන් සැලකිලිමත් වීම අනිවාර්යයයි. විශේෂයෙන් කටු අනෝදා ආහාරයට ගැනීම වකුගඩු රෝගවලින් පෙළෙන ඔබ සීමා කළ යුතු වෙනවා.
කටු අනෝදා පිළිකාවලින් ආරක්ෂා වීමට සුදුසු වුණත් පිළිකාවලින් පෙළෙන අයෙකුට නියමිත වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අතරේ නිර්දේශ කරන ආහාර පාන හැර වෙනත් දේ ලබා ගැනීම නුසුදුසු හෙයින් කටු අනෝදා හෝ කටු අනෝදා දළු පානය ලබා ගැනීම පෙරත් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අනිවාර්ය වෙනවා.
අධි රුධිර පීඩනය ඇති අය, අධික නිද්‍රාලෝලීන්, ගැබිනි මාතාවන් කටු අනෝදා වැඩි වශයෙන් ආහාරයට නොගැනීමට වග බලා ගන්න. ඒ හැරුණාම සාමාන්‍ය නීරෝගී පුද්ගලයෙකු වුණත් අධිකව මෙය ආහාරයට ගැනීම විවිධ ගැටළු ඇති කරන්නට හේතුවක් වන්නට පුළුවන්. විශේෂයෙන්ම අනෝදා බැක්ටීරියා නාශකයක් නිසාවෙන් නිතර ආහාරයට ගැනීමෙන් අපේ දේහයට හිතකර බැක්ටීරියා වර්ගත් විනාශ වී යන්නට හැකියාව පවතිනවා. එබැවින් ඒ කාරණා පිළිබඳව සැලකිලිමත් වන්න.