ආහාර අරුචිය වළකන ආයුර්වේද පිළියම් 15 ක්

health tips

අපේ ශරීරය පවත්වා ගෙන යන්නට ආහාර අත්‍යවශ්‍යයි. ආහාරවලින් ලැබෙන පෝෂ්‍ය පදාර්ථ නොලැබුණු විට ශරීරය විවිධ ලෙඩරෝගවලට ගොදුරු වෙනවා. ඒ නිසාම අපේ ශරීරයේ පැවැත්ම සඳහා ගුණාත්මක ආහාරවේලක් ලබා ගැනීම පිළිබඳව අපි හැමෝම සැලකිලිමත් වෙනවා. නමුත් අපි ගත කරන සංකීර්ණ ජීවන රටාවත් සමග නිසි වෙලාවට ආහාර ලබා ගන්නට අවස්ථාවක් නොලැබෙන්නට පුළුවන්. ඇතැම් අය ආහාර ගන්නේ කුසගින්න දැනෙන වේලාවට පමණයි.ඇතැම්විට රාජකාරි කටයුතු නිසා කුසගින්න දරා සිටින අවස්ථා ද නැතුවාම නොවෙයි.තවත් සමහරුන්ට ආහාර ගන්නට නිසි වේලාවක් නැහැ. ඉතින් මේ චර්යාවන් නිසා අපිට ආහාර ගන්නට ඇති ඕනකම රුචිය නැතිවෙන්නට පුළුවන්. එය ලෙඩ රෝග බොහොමයක් ඇති වෙන්නටත් හේතු වෙනවා.

ආහාර අරුචිය ඇති වන්නේ අප ගනු ලබන ආහාර හොඳින් ජීර්ණය නොවීම හේතුකරගෙනයි.මුඛය හරහා ශරීරය තුළට ගමන් කරන ආහාර ආමාශයට ගමන් කළ විට නැවත ඉහළට පැමිණීමක් සිදු වෙන්නේ නැහැ.නමුත් ඇතැම්විට යම් රෝගී තත්ත්වයක් නිසා විශේෂයෙන්ම තරබාරු අයට ආහාර උගුරට පැමිණීමක් සිදු වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවන්වලදී ආහාර අරුචිය ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට බඩගින්න නොමැතිවීම හෙවත් අග්නි මාන්දම නිසා හෝ කුසගින්න අධිකව තිබුණත් කෑමට ප්‍රියතාවයක් නොතිබීමත් යන විවිධ ආකාරයට මේ ආහාර අරුචිය ඇති වෙන්නට පුළුවන්.උණ හා වමනය ඇති කරවන විවිධ රෝග නිසා ඇතිවන ආහාර අරුචිය එතරම් තැකීමකට ලක් නොකළත් දිගුකාලීනව පවතින ආහාර රුචිය නොසලකා හැරිය යුතු නැහැ. එවැනි තත්ත්වයන් විවිධ නිදන්ගත රෝගයන් නිසාවෙන් ඇතිවෙන්නට ඇති හැකියාව ඉහළයි. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී පමා නොකර වෛද්‍යවරයෙකු හමුවීමයි නුවණට හුරු . 

ආහාර අරුචිය ඇති වෙන්නට බලපාන හේතු 

  • තෙල් අධික බර ආහාර නිතර නිතර ලබා ගැනීම තෙල් අධික ආහාරයක් ගත් විට වෙනදා ගන්නා ආහාර ප්‍රමාණයට වඩා ආහාර ගත යුතුයි. 
  • ආහාර ගැනීමෙන් පසුව බොහෝ වේලාවක් එකම ස්ථානයේ වාඩි වී සිටීම
  • ලබා ගන්නා ඇතැම් ඖෂධ වර්ග 
  • ක්ෂය රෝගය, අමිල පිත්ත රෝගය, ආහාර මාර්ගය ආශ්‍රිතව ඇතිවන පිළිකා තත්ත්වයන්, වකුගඩු අකර්මණ්‍ය වීම් ආදී රෝග තත්ත්වයන්  
  • සෙම වැඩිවීම නිසා බඩගිනි අඩුවීම 
  • කුඩා දරුවන්ගේ ආහාර නිසි ලෙස සකස් කර නොතිබීම 

විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර ඇසට ප්‍රියමනාප ලෙස හා ශබ්ද ඇසෙන ලෙස සැකසීම ආදිය මගින් දරුවන්ගේ රුචිය කැමැත්ත වැඩි කරනු ලබනවා.

  • පණු රෝග 
  • මල බද්ධය 
  • ඒකාකාරී ආහාර ලැබීම 
  • ආහාර ජීර්ණය නිසි පරිදි සිදු නොවීම 
  • ක්ෂණික ආහාරවලට හුරුව සිටීම 
  • ගර්භනී බව  
  • ඔසප් දිනයන්වලදී ඇති අර්බුදකාරී බව 
  • මානසික හේතු 
  • විභාග කටයුතු, අධික ශෝකය, භීතිය අධික ක්‍රෝධය ආදී අවස්ථාවල ආහාර කෙරෙහි ඇති රුචිය ඉවත්ව යනවා.
  • උදරයේ යම් අසාත්මිකතා 

ආහාර අරුචිය හඳුනා ගත හැකි ලක්ෂණ 

  • බඩ පුරවා දැමීම 
  • ඔක්කාරය හා උගුරට එන ස්වභාවය 
  • බඩගින්න නොදැනීම 
  • කරකැවිල්ල 
  • අසහනකාරි ස්වභාවය 

ආහාර අරුචිය නැති කරගන්නට කළ හැකි දේ 

  • ආහාර ගැනීමට පැය භාගයකට පෙර සහිද ලුනු සමඟ ඉඟුරු කැබැල්ලක් සපා යුෂ පානය කිරීම 
  • කෑමට විනාඩි 30 ට පෙර තැම්බුම් හොදි ටිකක් පානය කිරීම
  • ගොරකා, සියඹලා, ඉඟුරු, සුදු ළූනු හා ගම්මිරිස් ස්වල්පයක් දමා හොඳින් අඹරා සූදුරු,උළුහාල් සහ කුරුඳු පොතු ද එකතු කර එයට ප්‍රමාණවත් ලෙස ජලය සහ ලුණු එකතු කර තම්බා අඩු කෝප්පයක් පමණ පානය කිරීම ආහාර ජීර්ණය පහසු කරමින් ආහාර රුචිය වර්ධනය කරනු ලබනවා.
  • ඉඟුරු කොත්තමල්ලි, කලාදුරු අල, බෙලි මුල් තම්බා කසාය සකස් කර ලබාදීම
  • සියඹලා, කරපිංචා, ගම්මිරිස්, සුදු ළූණු, රතු ළූනු, ඉඟුරු සහ මෙනේරි දමා කොටා සාදාගත් කැඳ උදේ සවස දින තුනක් පානය කිරීම
  • කුඹුරු ඇට මද, සුදු ලූනු, අරළු, කොහොඹ පොතු කලං එකක් ගෙන වතුර කෝප්ප හතරක් දමා කෝප්ප භාගයකට හිඳ මේස හැන්ද බැගින් දිනකට තුන් වරක් පානය කිරීම   
  • ඉඟුරු යුෂ සහ මී පැණි පානය කිරීම හෝ අමු ඉඟුරු සහ දෙහි යුෂ පානය කිරීම 
  • සහිද ලුණු සීනි සමඟ කෑමට ලබාදීම 
  • සූදුරු මේස හැදි 1, කොත්තමල්ලි මේස හැදි 1 ගම්මිරිස් තේ හැදි 1 බැගින් ගෙන සියල්ල අඹරා වතුර ටිකක් එකතු කර ලිප තබා කකාරා කෝප්ප භාගයක් පමණ පානය කිරීම  
  • ආහාරවේලකින් පසුව අන්නාසි පෙත්තක්, කෙසෙල් ගෙඩියක් ගස්ලබු කෑල්ලක් ආහාරයට ගැනීම 
  • ආහාර පිළියෙල කිරීමේදී රසය සුවඳ වැඩි කිරීමට මෙන්ම ජීර්ණය පහසු කරවීමටත් කොත්තමල්ලි, සූදුරු මාදුරු උළුහාල්, ගම්මිරිස් ආදී කුළු බඩු ප්‍රමාණවත් ලෙස යෙදිය යුතුයි. ඒ වගේම කරපිංචා රම්පේ රතු ළූණු හා සුදු ළූණු ආදියත් ආහාර අරුචිය නැති කරන්නට උපකාරී වෙනවා.
  • කොළ වර්ග වගේම කැකිරි, පිපිඤ්ඤා,  වැටකොළු පතෝල වගේ දේවල් ආහාර රුචිය නැති කරන්නට උපකාරී වෙනවා.
  • උණු වතුර පානය කිරීම 
  • සීනි අධික ආහාරපාන හා පිටි මිශ්‍ර ආහාර ගැනීම අඩු කිරීම
  • සාමාන්‍ය කෑම අරුචියකට වඩා ශරීරයේ යම් අභ්‍යන්තර රෝගයක ලක්ෂණයක් ලෙසත් මේ ආහාර අරුචිය ඇති වෙන්නට හැකි නිසා වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීමයි වඩා සුදුසු.