හිටපු ගමන් නාසයෙන් ලේ ගැලීම සිදුවීමට හේතු 14 ක්

health tips

රෝගී වීම මිනිසුන් වුණු අපිටත් සියලුම සත්වයන්ටත්  පොදු ධර්මතාවයක්. ඉතින් අපේ ශරීරයේ ඇතැම් ලෙඩ රෝග  විවිධ රෝග ලක්ෂණ මගින් පෙන්නුම් කරනවා. ඒ වගේ අවස්ථාවලදී එවැනි ලක්ෂණ බොහෝ දෙනා නොසලකා හැරියත් ඒ නොසලකා හැරීමම ජීවිතයට විශාල තර්ජනයක් වන අවස්ථා පවතිනවා. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ ඇතිවන පුංචි වෙනස්කමක් ගැන වුණත් අපි ටිකක් සැලකිලිමත් වෙන්නට ඕන. නාසයෙන් රුධිරය ගැලීම කියන්නෙත් බොහෝදෙනෙක් එතරම් සැලකිල්ලට භාජනය කරන්නේ නැති එක්තරා රෝගී තත්ත්වයක්.

 අධිකව බිය විය යුත්තක් නො වුණත් ඇතැම් විට පිළිකා හෝ  වෙනත් නිදන්ගත රෝග හේතු කරගෙනත් මේ විදිහට නාසයෙන් ලේ ගැලීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ ගැන අවබෝධයෙන් ඉන්න එක හරිම වැදගත්.

නාසයෙන් රුධිරය ගැලීම ආයුර්වේදයේ ඌර්ධවගත රත්පිත ලෙස හඳුන්වනවා . මෙය බිංදුවක් වශයෙන්, ධාරාවක් වශයෙන් නාසය සූරන විටදී හෝ  කිවිසුම් යාමකදී විසීරීයාමක් ආදී වශයෙන් රුධිරය පිටවෙන්නට පුළුවන්. නාසයෙන් රුධිරය මේ ආකාරයට පිටවීමට හේතු සාධක කිහිපයක්ම බලපානු ලබනවා. එබැවින් මේ තත්ත්වය ඇතිවන්නේ කුමන හේතුවක ප්‍රතිඵලයක් ලෙස ද යන්න පිළිබඳව හඳුනා ගැනීම අතිශයින්ම වැදගත්.

නාසයෙන් රුධිරය ගැලීම  nose bleeding  epistaxis මෙන්ම  Hemorrhage ලෙස හඳුන්වනවා .  නාසයෙන් ලේ ගැලීම ප්‍රධාන ආකාර දෙකකින් හඳුනා  ගන්න පුළුවන්.Anterior Nosebleed  සහ  Posterior Nosebleed වශයෙන් එය ආකාර දෙකකින් යුක්තයි.

  1. Anterior Nosebleed 

මේ තත්ත්වයේදී  නාසයේ කෙළවර ඒ කොටසට රුධිරය සපයන ඉතා සියුම් රුධිර වාහිනීවලට හානියක් සිදුවීම නිසා රුධිර ගැලීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම නාසයට යමක් වැදීම හෝ සුළු අනතුරක් නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයට බලපාන හේතු කිහිපයක්ම පවතිනවා.

  • නාසය තදින් සීරීම
  • නාසය තුළට ඇඟිල්ලක්, කෝටුවක් වැනි යමක් වැදීම 
  • නාසය තුළ ශ්ලේෂ්මල පටලය හානි වීම
  • නාසය තුළ ඇති තුවාල
  • වෛරස් ආසාදන නිසා ඇතිවන උණ සෙම්ප්‍රතිශ්‍යාව
  • නාසයේ දැවිල්ල සහ නාසය කැසීම
  • නාස් පුඩු වෙන්කරන බිත්තිය අසමමිතික වීම හෝ පිට පැනීම
  • විවිධ ආසාත්මිකතා
  1. Posterior Nosebleed 

මෙහිදී  රුධිරය ගැලීම  ආරම්භ වෙන්නේ නාසයේ අභ්‍යන්තර ධමනිවලින්. මේ තත්ත්වය පෙර සඳහන් කළ තත්ත්වයට වඩා බරපතල තත්ත්වයක් විදිහටයි සලකන්නේ. මේ සඳහා විවිධ හේතු බලපානවා.

  • අධි රුධිර පීඩනය
  • නාසයට සම්බන්ධ ශල්‍ය කර්ම
  • කැල්සියම් ඌනතාවය
  • ලියුකේමියාව
  • හිමෝෆීලියාව

 වෙනත් හේතු

  • කල්ගතවූ පීනස
  • ආසාත්මිකතා
  • විසබීජ ආසාදන 
  • aspirin ආදී රුධිර කැටි ගැසීම වළක්වන ඖෂධ භාවිතය  
  • අක්මා රෝග
  • හෘද  අකර්මණ්‍යතාවයන් 
  • විටමින් ඌණතාවය
  • සර්ප විෂ ශරීරගත වීම
  • පිළිකා
  • උස් බිම්වල වාසය 
  • සිගරැට් දුම 
  • නාසයේ මස්දළු ඇතිවීම 
  • ඇතැම් ඖෂධ වර්ග ( topical corticosteroids )

රෝග ලක්ෂණ 

  • නාසයෙන් පිටතට රුධිරය ගලා ඒම 

මේ  පිටවන රුධිරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්.

  • ලේ වමනය ඇතිවීම
  • ශරීරය සුදුමැලි වීම
  • හෘද ස්පන්දනය වෙනස් වීම
  • හුස්ම ගැනීම අපහසු වීම
  • රුධිර පීඩනය වැඩිවීම 
  • ක්ලාන්තය  

මෙවැනි රෝගියෙක් පිලිපැදිය යුතු කරුණු

  • අවේලාවේ ස්නානයෙන් වැළකීම.
  • ශීතාධික ආහාර ගැනීම, සීතල ජලය පානය, සීත ප්‍රදේශවල ගමන් බිමන් යාමෙන් වැළකීම .
  • දුම් දූවිලිවලින් ආරක්ෂා වීම.
  • සුවඳ විලවුන් ආදී ආලේපන නාසයේ ගැල්වීමෙන් වැළකීම 
  • නාසය තදින් සීරීමෙන් වැළකීම 
  • අව්වේ ගමන්යාමෙන් වැළකීම 
  • කඳු නැගීම හෝ උස් කඳු නැගීම් හෝ එහි වාසය කිරීමෙන් වැළකීම.
  • උස් ගොඩනැගිලිවල වැඩි වෙලා රැඳී සිටීමෙන් වැළකීම.
  • නිදි වැරීමෙන් මිදීම. 
  • බල මාලු, ඉස්සො, විනාකිරි, සාඩින්, ජාඩි වර්ග, කකුළුවන්, දෙල්, අච්චාරු, කොත්තු ආදී ආහාර හිතකර නොවෙයි. 

සාමාන්‍යයෙන් සුළු රුධිර වහනයක් රුධිර කැටි ගැසී මගින් සුව වුණත් තරමක් දුරට ඇති රුධිර වහනයන් ඇඟිලි දෙකකින් නාස් පුඩුව තද කිරීම මගින්  පාලනය කරගන්න  පුළුවන්. එක දිගට නාස්පුඩු විනාඩි පහක් තදකරගෙන සිටීම එසේ නොවන විට ඊටත් වඩා විනාඩි පහළොවක පමණ කාලයක් තද කරගෙන සිටීම වැදගත් වෙනවා. 

රුධිර ගැලීමකදී කළ යුත්තේ මොනවාද

  • රෝගියා බියට පත් නොකළ යුතුයි. 
  • රෝගියා හාන්සි කිරීමෙන් වළකින්න. රෝගියා හාන්සි කිරීමෙන් හදවත සමඟ සම මට්ටමේ පැවතීම නිසා රුධිර පීඩනය අඩු වෙන්නට පුළුවන්. ඒ වගේම වැතිරී සිටීමෙන් රුධිරය ගිලීමෙන් බඩේ කැක්කුම් ඇති වෙන්නට පුළුවන්.ඒ නිසා පුටුවක වාඩිවීමයි වඩා සුදුසු වන්නේ.
  • රෝගියා මදක් ඉදිරියට නැමෙන සේ තබා ගැනීමෙන් රුධිරය උගුරේ එක්රැස්වීමෙන් ඇතිවන ස්වසන පද්ධතිය අවහිරවීම් හා ඔක්කාර ගතිය මගහැර ගන්නට පුළුවන්.
  • නහය ප්‍රදේශයේ ඉහළ කෙළවර තදින් අල්ලා ගෙන කටින් හුස්ම ගත යුතුයි.
  • නාසයේ අස්ථිය සහ කාටිලේජය වෙන්වෙන ස්ථානය ඇගිලි දෙකක් මගින් එකදිගට ඒකාකාරී පීඩනයක් යොදමින් විනාඩි  5-190 ක කාලයක් තදකරගෙන සිටීමෙන් රුධිරය නතර කරගත හැකියි.
  • නාසය හා නළල ප්‍රදේශය අයිස් කැට මගින් සිසිල් කරන්න.

නාසයෙන් ලේ යනවාට අත් බෙහෙත්

  • ගොටු දඬු, අසමෝදගම්, රතු ලූනු, වලළඟසාල් සමව ගෙන තම්බා ඒ වතුරට සීනි දමා උදේ සවස පානයට ගන්න.
  • දෙළුම් මල් තලා එහි යුෂ බිංදු කිහිපයක් නහයට දමන්න.
  • නීල්‍යාදී තෛලය හිසේ ගල්වන්න.

කෙසේවුවත් නාසයෙන් රුධිරය ගැලීමක් සිදුවුණු අයෙක් අවම වශයෙන් සතියක් හෝ දෙකක විවේකීව ගත කළ යුතු වෙනවා. ඒ වගේම ඉහත සඳහන් ප්‍රතමාධාර ලබාදෙන අතරේ වෛද්‍යවරයෙකු කරා රෝගීයාව රැගෙනයාම සිදු කළ යුතු බවත් මතකයේ තබා ගන්න.