පොඩි දෙයකටත් යකෙක් වගේ තරහා යන කාංසා රෝග තත්වය පාලනය කරන මනෝවිද්‍යා උපක්‍ර 5 ක්

health tips

සුලු මානසික රෝග යනු නේවාසික ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය නොවන සරල මානසිකව ඇතිවන ආබාධ තත්වයන් ලෙස හඳුන්වන්න පුළුවන්. සුලු මානසික ආබාධ ඇති අයට සාමාන්‍ය පරිදි එදිනෙදා කටයුතු සිදුකරමින් ජීවිතය ගෙන යා හැකියි. ඔවුන්ගේ සිහිකල්පනාව විසංඥ වී නොමැත. නමුත් ඔවුන්ගේ හැසිරීමේ, පෞරුෂත්වයේ සහා ඔවුන් දරන යම් යම් ආකල්ප වල ඇති අස්වාභාවික බව කැපී පෙනේ. එය මෙම රෝග වල දක්නට ලැබෙන මූලිකම  ලක්ෂණයකි. ලොව සෑම පුද්ගලයාම යම් මානසික ආබාධයකින් පෙලෙන බව මතයක් තිබේ. සුළු මානසික රෝග අතරේ බහුල වශයෙන් හඳුනාගත හැකි ආබාධ තත්වයක් වන්නේ කාංසාව හෙවත් Anxiety තත්වයයි.කාංසාව යනු  අහේතුක බිය හෝ නොසන්සුන්කමයි.

කාංසා රෝගීන් ඉක්මනින් නොසන්සුන්බවට සහ කනස්සලු බවට පත් වේ. ඔවුහු නව අත්දැකීම් හෝ අභියෝග හමුවේ වඩාත් භීතියට පත් වේ. ඒවාට මුහුණ දීමට වඩා පලායාමට තැත්කරති. කාංසාව වැඩිවශයෙන් හටගන්නේ අසුබවාදි සෘණාත්මක ආකල්ප ඇති පුද්ගලයින් තුලයි. කාංසා රෝගයේ කායික ලක්ෂණ වන්නේ ශීඝ්‍ර හෘද ස්පන්දනය, තෙහෙට්‍ටුව, ආතතිය, නින්ද නොයාම, අධික ලෙස දහදිය දැමීම, හිසරදය වැනි අසාමාන්‍ය වැඩි ස්වභාවයක් ලෙස දැකිය හැකි ලක්ෂණයි. කාංසාවෙන් පෙළෙන පුද්ගලයින් තුල අධික ලැජ්ජාව, සවේදි බව, අනාරක්ෂිත හැඟීම් වලින් යුතු බව, තනිකම සහ ප්‍රතික්ෂේප වීම් වලට ඇති අනිසි භිතිය වැනි ලක්ෂණ ද හඳුනාගත හැකියි.

අසුබවාදි සිතුවිලි , නිතර කල්පනාවේ යෙදීම අනවශ්‍ය ලෙස දේවල් ගැන ගැඹුරින් සිතීම, විවේඡනාත්මක බව වැනි චිත්තාවේගි හැසිරිම් ද ඔවුන් තුල ඇති වේ. ලොව පුරා මිලියන ගණනින් මෙවැනි කාංසා රෝගීන් සිටින බව හඳුනාගෙන ඇත. 

පෙර සඳහන් කල පරිදි අසුබවාදි සිතුවිලි මනසේ තැන්පත් කරගැන සිටීම නිසා බොහෝ විට රාත්‍රි නින්දේදි ඔවුන් එක්වරම කලබලයකින් අවදිවීම සිදුවේ. මෙය කාංසා ආබාධ/ කම්පන (anxiety attacks) තත්වයයි.  අනවශ්‍ය බිය නිසා රාත්‍රියේ මෙවැනි තත්ව වලට මුහුණ දීමට සිදුවීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යය තත්වය තවදුරටත් පිරිහී යාම සිදුවේ. මෙම පීඩාකාරී කාංසා තත්වය පාලනය කරගත හැකි ක්‍රමවේදය ගැන අවබෝධයක් ලබාතිබීම ඉන් මිදීමට ඉතා වැදගත් ය.කාංසාව දුරුකරගැනීම සඳහා ඉවහල් වන සරල උපක්‍රම නැතිනම් උපදෙස් කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ.

සෘණාත්මක සිතුවිලි ඇතිවන විට ඒවා මැඩගැනීමට උත්සාහ කරන්න.අසුබවාදි සිතුවිලි මනසේ මතුවෙන්නට පටන්ගත් විට ඒවා නූල් බෝලයක් මෙන් එකපිට එක එතෙනවා මෙන් මනසේ පැටලිලි ස්වභාවයක් ඇති කරයි.  ඔබ තුල ඇතිවන එවන් සිතුවිලි නතර කරගැනිමට උත්සාහ කල යුත්තේ ද ඔබමයි.  පළමුව අතීතය ගැන තැවීම නතර කරගත යුතුයි. ඒ ගැන නැවත නැවත සිතීම ගින්නට පිදුරු දැමීමක් වැනියි. අනාගතය ගැන බිය වීම ද නතර කල යුතුයි. ‘මෙහෙම දෙයක් වෙයිද’ කියා මනසින් අවුල් බවට පත් නොවී එසේ වද නොවුණා නම් ඔබේ ජීවිතය කොතරම් සැහැල්ලු වන්නට තිබුණා දැයි මනසින් මවාගන්න.

තවත් ක්‍රමයක් තමයි. ඔබේ මනසේ ඇති දේ ලියාතැබීම. ඔබට ඇති වන සිතුවිලි සහ ඔබ ඒවා කෙරෙහි කටයුතු කිරීමට සිතන ආකාරය ගැන ලියාතබන්න. මෙසේ ලිවීම හරහා ඔබ සිතන දේවල් කොතරම් දුරට තර්කානුකූල දැයි ඔබටම වැටහීමක් ලබාදෙනු ඇත. ඔබ් අසිතන බොහෝ දෙවල් වල එතරම් වද විමට හෝ බිය වීමට තරම් දෙයක් නැති බව විවිධ මානයන් තුලින් ඔබේ මනසට වැටහීමක් ඉන් ලැබෙනු ඇත. ඔබේ ඉලක්ක අරමුණු ගැන ද එසේ ලියා තබන්න. ඔබ ඒවා ඉ‍ටුකරගන්නේ කොහොම ද කියාත් ලියා තබන්න

භාවනා කිරීම සහ ශ්වසන අභ්‍යාස සිදුකිරීම කාංසාව දුරු කරගැනීම සඳහා තිබෙන ප්‍රතිඵලදායි ක්‍රමවේදයන් දෙකකි. දිනපතා භාවනා කිරීම සහ ශ්වසන අභ්‍යාස සිදුකිරීමෙන් ආතතීන් දුරුවී ගොස් ඔබේ මානසික මෙන්ම කායික නීරෝගි බව ගුණාත්මක ලෙස වැඩිදියුණු වේවි.රාත්‍රී නින්දට පෙර මෙම අභ්‍යාස වල නිරත වීම ඔබට වඩාත් යහපත් වනු ඇත. එමඟින් මනසත් සිරුරත් සන්සුන් කරවමින් නැවුම් සැහැල්ලු බවක් ඔබට දැනෙන්නට පටන් ගනිවි.

තෘප්තිමත් බව ඇතිකරවන මොලයේ ශ්‍රාවයන් උත්තේජනය කිරීම ඔබ ව්‍යායාම් වල යෙදෙන විට ඔබේ සිරුර මඟින් එන්ඩෝර්‍ෆින්ස් සහ සෙරොටොනින් හෝර්මෝන ශ්‍රාවය කරනු ලබයි. ඒව ප්‍රීතිය සහ යහපත් මනෝභාවයන් ඇතිකරමින් සිරුරේ යහපැවැත්ම ඇතිකරවන හෝර්මෝන වර්ග වේ. ඒවා මඟින් සිරුර උණුසුම් කරවමින් මාංශ පේශීන් වල ඇති පීඩාකාරී ආතතීන් සමනය කරවයි.

ස්වභාවික සත්කාර ඖෂධීය තේ පාන (herbal tea) මඟින් සිරුරට වගේම මනසට වඩාත් නැවුම් සහ සැහැල්ලු බවක් ලබාගත හැකියි. උදාහරණයක් ලෙස කැමොමයිල් තේ, ලැවෙන්ඩර් තේ වැනි පාන මඟින් ආතතිය සහ දැවිලි වේදනා සමනය කරමින් සුවදායි නින්දක් ලබාගත හැකි වේවි. ලුණුවිල,නෙල්ලි වැනි ඖෂධ ,ගො‍ටුකොළ වැනි පලා වර්ග ද ඉතා ගුණදායකය.

කැෆේන් භාවිතයෙන් වළකින්න කැෆේන් රසායනයන් මඟින් කාංසා තත්වයන් උත්සන්න වන බවත් එවැනි රෝගීන් තුල කම්පන තත්වයන් (panic attacks) මතුකරලන බවත් තහවුරු වී ඇත. නොසන්සුන් -කලබලකාරී බව, අක්‍රමවත් හෘද ස්පන්දනය සහ උද්වේගකාරී හැසිරීම් උත්තේජනය කරන රසායනයක් ලෙස කැෆේන් හැඳින්විය හැකියි. උදාහරණයක් ලෙස කැෆේන් අඩංගු කෝපි සහ වෙනත් පාන වර්ග හැකිතාක් අවම කිරීම කාංසා රෝගීන් හට වඩාත් හිතකර ප්‍රතිඵල ලබාදෙනු ඇත.