සමේ නීරෝගී බව සහ තරුණ පෙනුම රැකගැනීමට නම් ඔබේ සම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වෙනවා.අපේ සිරුරේ ඇති විශාලම අවයවය තමයි සම. විශේෂයෙන්ම මුහුණේ සමට නිසි ලෙස හා මෘදු ලෙස සත්කාර කිරීම ඉතා වැදගත් දෙයක් වෙනවා.ඊට හේතුව තමයි සිරුරේ අනෙකුත් ප්‍රදේශ වලට සමට වඩා මුහුණේ සම අවට ඇති දූෂිත වාතාශ්‍රයට,කුණු දුහුවිලි වලට, බැක්ටීරියා දිලීර වලට, හිරු කිරණට , ඒවගේම අධික දහඩියට නිරාවරණය වීම.මෙවැනි සාධක සමට හානිකර බලපෑම් මතුකළ හැකියි.
සමට අවශ්‍ය ආරක්ෂාව වගේම සමේ තරුණ ප්‍රභාව හොඳින් ආරක්ෂා කරන ස්වභාවික සත්කාර ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම. මේ ස්වභාවික සීරම් සත්කාර මඟින් සමට හොඳ පෝෂණයක් ලබාදී සම රැළි වැටීම, වියළීම වැනි ගැටලු පාලනය කර සමට හොඳ රැකවරණයක් සලසයි. සෑම උදෑසනකම හා සවසකම මුහුණ සෝදා පිරිසිදු කරගත් පසු මෙම සත්කාරයෙන් ස්වල්පයක් මුහුණේ ගල්වන්න.සමට උරාගැනීමට පහසු තරම් සුළු ප්‍රමාණයක් (බිංදු 4-5ක්) සමේ ගල්වන්න. සමට ඇඟිලි තුඬු වලින් මෘදුව තට්‍ටු කරමින් සමට ඒවා උරාගන්න තුරු සියුම්ව පිරිමදින්න.ඉන් පසුව, ඔබ වෙනදා භාවිත කරන වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදන ඇත්නම් ,ඒවා සුපුරුදු පරිදි භාවිත කරන්න. ඔබේ සමේ ස්වභාවය අනුව මෙම සීරම් සත්කාර ක්‍රම තෝරාගන්න.

වියළි සමකට-පොල් තෙල් තේ හැඳි 1ක් මී පැණි තේ හැඳි 1ක් කෝමාරිකා යුෂ තේ හැඳි 1ක් බඳුනකට දමා මිශ්‍ර කරන්න. මින් බිංදු කිහිපයක් ගෙන මුහුණේ ගල්වන්න. ඉතිරිය ශීතකරණයේ තබා දින කිහිපයක් පමණ භාවිතයට ගත හැකියි.
පොල් තෙල් මඟින් සමට හොඳ තෙතමනයක් ලබාදෙයි. හිරු කිරණින් සම හොඳින් ආරක්ෂා කළ හැකි ගුණ පොල් තෙල් වල ඇත. සමේ පිග්මන්ටේෂන් වැනි කැලැල් තත්වයන් වර්ධනය වීම පාලනය කරයි. ඇස් වටා අඳුරුවීම් දුරුකරයි. සමේ ඉරි තැලීම් දුරුකරයි. සමට ස්වභාවික දීප්තියක් ලබාදෙයි.ක්ෂුද්‍රජීවිනාශක ගුණය නිසා ආසාදන සුවපත් කරයි.කෝමාරිකා වල ප්‍රතිප්‍රදාහක හා සම සිසිලන ගුණ බහුල නිසා හිරු කිරණින් සමට ඇති වූ පිලිස්සුම් සමනය කරයි. කුරුලෑ, බිබිලි ඇති සමේ ගැටලු සුවපත් කරයි.අඳුරු කැලැල් අඩුකරයි. මී පැණි ද සමට තෙතමනය සලසන ඖෂධීය ගුණ බහුල අමුද්‍රව්‍යකි. සම පෝෂණය කර සමේ ප්‍රභාමත් බව වඩවයි.
තෙල් සහිත සමකට-තක්කාලි යුෂ වලින් තේ හැඳි 1ක් සහ මී පැණි තේ හැඳි 1ක් බඳුනක මිශ්‍ර කරන්න. වරකට බිංදු 4-5ක් පමණ ගෙන මුහුණේ සහ බෙල්ලේ ගල්වන්න.ඉතිරිය ශීතකරණයේ තබා භාවිතයට ගන්න.
තක්කාලි වල ඇති ලයිකෝපීන් සංඝටක සම ස්වභාවිකව පැහැපත් කිරීමට දායක වේ.කහට ගතිය ඇති නිසා සමේ සිදුරු හොඳින් පිරිසිදු වීමට සලස්වයි. ඒවා විවෘත වී ඇති ස්වභාවය අඩුකරයි.මී පැණි මඟින් සමේ අතිරික්තව නිපදවෙන තෙල් ගතිය පාලනය කරයි.සමේ රතු ගතිය අඩුකරයි.කුරුලෑ හා බිබිලි මතුවීම් අවම කරයි.

සංවේදී සමකට-සීනි තේ හැඳි 1ක් ,(අමු) එළකිරි තේ හැඳි 3ක් බඳුනකට දමා මිශ්‍ර කරන්න. මින් බිංදු 4-5ක් ගෙන පිරිසිදු කරගත් මුහුණේ ගල්වන්න.ඉතිරි කොටස ශීතකරණයේ තබා පසුව භාවිතයට ගන්න.
එළකිරි සම පෝෂණය කර හොඳින් තෙතමනය සලසයි. සමට ඉතා මෘදුය. සමේ සුමුදු සුසුදු බව ද වර්ධනය කරයි.සම ප්‍රාණවත් කරයි. සමේ සිදුරු තුළ ඇති කුණ් දුහුවිලි තෙල් වැනි අපද්‍රව්‍ය ගැඹුරින් පිරිසිදු කරයි.සමේ තරුණ බව වඩවයි.
*සමේ නීරෝගි බව මෙන්ම ආරක්ෂාව සඳහා බාහිර සත්කාර ක්‍රම පමණක් ප්‍රමාණවත් නැහැ. දිනපතා හොඳ සමබල පෝෂණයක් සිරුරට ලැබෙන ආහාර පාන ගැනීම, දිනකට වතුර ලීටර් 1.5-2ක් පමණ පානය කිරීම, නැවුම් වාතාශ්‍රය ලැබීම, නිතිපතා ව්‍යායාම කිරීම ද ඉතා වැදගත් වේ. ධනාත්මක ආකල්ප ගොඩනගා ගැනීම , ශ්වසන අභ්‍යාස, යෝගා හා භාවනා වැනි ක්‍රම සමේ අභ්‍යන්තරයෙන්ම එන ස්වභාවික දීප්තිය හා ආකර්ෂණීය බව වැඩිවීමට දායක වේ.