උෂ්ණ බිබිලි ක්ෂණිකව සුව කරගත හැකි සරල පිළියම් 18 ක්

health tips

මුඛය ආශ්‍රිතව විවිධ රෝග තත්ත්වයන් ඇති වෙනවා. ඒ අතරින් උෂ්ණ බිබිලි හෙවත් පණු ගෙඩි කියන්නේ ලොකු කුඩා සියලුදෙනාටම මහත් පීඩාවක් ගෙනදෙන වේදනාකාරී බිබිලි විශේෂයෙක්. සිය ජීවිත කාලය තුළ වරක් හෝ සෑම අයෙක්ම මේ පීඩාකාරී තත්ත්වයට මුහුණදී ඇති. ඒ වගේම මේ තත්ත්වය නිතර නිතර යම් අයෙකුට ඇති වෙන්නත් පුළුවන්. මේ බිබිලිවල ප්‍රමාණය අනුව වර්ග කිරීමක් ද හඳුනා ගන්නට පුළුවන්. කොහොමවුණත් මේ බිබිලි කුඩා වුණාට එයින් ඇතිවන පීඩාව වගේම වේදනාව නම් සුළුපටු නැහැ. ඇතැම් අය මේ බිබිලි එතරම් ගණනකට ගන්නේ නැහැ. නමුත් මුඛය ආශ්‍රිතව ඇතිවන බිබිලි උෂ්ණ බිබිලි ලෙස සලකා ගණන් නොගෙන සිටීම එතරම් හොඳ දෙයක් නොවෙයි. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වන්නේ මේ උෂ්ණ බිබිලි හට ගැනීම සහ ඒවා සුවකර ගන්නට අපිට අනුගමනය කළ හැකි දේ මොනවද කියන කාරණා පිළිබඳවයි.

මේ උෂ්ණ බිබිලි ඇතිවීමේ තත්ත්වය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව හඳුන්වනු ලබන්නේ ඇප්තස් අල්සර්ස් (aphthous ulcers ) ලෙසයි. ඉහත සඳහන් කළ ආකාරයට මේ උෂ්ණ බිබිලි කුඩා ප්‍රමාණයෙන් වගේම විශාල ප්‍රමාණයෙන් සංකීර්ණ බිබිලි ලෙසත් හට ගන්නට පුළුවන්. මේ බිබිලි, විදුරුමස පත්ල, දිව, තොල, කම්මුල සිනිඳු තල්ල ආදී ස්ථානවල හට ගන්නට පුළුවන්. 

පණු ගෙඩි හට ගැනීමට බලපාන හේතු 

  • මිරිස් අධික ආහාර ගැනීම 
  • අධික උණුසුම් ආහාර නිතර ගැනීම 
  • ක්ෂණික ආහාර නිරන්තරයෙන් ආහාරයට ගැනීම 
  • ආම්ලික ආහාර වැඩි වශයෙන් ගැනීම 
  • ඉස්සො, දැල්ලො, බල මාළු, තක්කාලි, අච්චාරු ආදි ආහාර ගැනීම නිසා ඇතිවන අසාත්මිකතා 
  • මුඛයේ ඇතිවන තුවාල 
  • කම්මුල හැපීම 
  • නිදි වැරීම 
  • මානසික ආතතිය 
  • ආහාර මාර්ගයේ ආසාදන තත්ත්වයන් 
  • භාවිතා කරන ඇතැම් ඖෂධ 
  • ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල වන බැක්ටීරියා සහ වෛරස් ආසාදන 
  • විටමින් B12 ඌණතාවය 
  • යකඩ ඌණතාවය 
  • ගැබිණි සමයේදී හෝර්මෝන වෙනස්වීම 

මේ හේතු අතුරින් එකක් හෝ කිහිපයක බලපෑම නිසා මුඛයේ උෂ්ණ බිබිලි හට ගන්නට පුළුවන්. මිලිමීටර් 3-10 තරම් ප්‍රමාණයට පමණක් විශාල වන කුඩා ප්‍රමාණයේ උෂ්ණ බිබිලි ඕනෑම අයෙකුගේ මුඛයේ වරින් වර ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ප්‍රතිකාර කිරීමකින් තොරව දින 14 කින් පමණ ඒවා සුව වී යන්නටත් පුළුවන්. නමුත් අනෙක් වර්ගය මිලිමීටර් 10 වඩා විශාල විය හැකි ගැඹුරට තුවාලය ඇතිවන වේදනාව අධිකව දැනෙන බිබිලි වර්ගයක්. මේ තත්ත්වයේදී බොහෝවිට ප්‍රතිකාර ලබා ගන්නට සිදු වෙනවා.

උෂ්ණ බිබිලි සඳහා නිවසේදී කළ හැකි සරල පිළියම් 

  • උණුසුම් ජලයට ලුණු  දමා මුඛය සේදීම. මෙමගින් ඉතා පහසුවෙන් සුවය ලබාගන්නට ඔබට පුළුවන්.
  • තලතෙල්වලින් මුඛය සේදීම 
  • උදුපියලිය තැම්බූ ජලයෙන් මුඛය සේදීම
  • පිල් මුල්, පුවක් මුල්,  සමන් පිච්ච් කොළ, සම ප්‍රමාණවලින් ගෙන තම්බා මුඛය සේදීම  
  • අරළු, බුළු, නෙල්ලි, සියඹලා පොතු හා රණවරා ඇට සමව ගෙන හොඳින් තම්බා දිනකට 4 වරක් මුඛය සේදීම 
  • නිවුඩු හාල් බතෙන් ගත් කැඳ ලුණු හා ගිතෙල් මිශ්‍රකර පානය කිරීම 
  • උෂ්ණ බිබිලිවල මී පැණි ආලේප කිරීම. බොහෝවිට වේදනාව අඩුවුණත් තුවාලය සුව නොවී පැවතීම ඔබට පීඩාවක්. ඒ නිසා තුවාලය ඉතා ඉක්මනින් සුවකර ගන්නට මී පැණි දවසට දෙතුන් වතාවක් තුවාලයේ ආලේප කළ යුතුයි.
  • කහ පේස්ට් එකක් ලෙස සකස් කර එය උෂ්ණ බිබිලිවල ආලේප කර විනාඩි 20 කින් සෝදා හැරීම. කහ කියන්නේ විශබීජනාශක ගුණයෙන් යුක්ත වටිනා ඔසුවක්. ඒ නිසා කහ ආලේපයෙන් මේ උෂ්ණ බිබිලිවලින් පහසුවෙන්ම සහනයක් සලසා ගන්නට පුළුවන්.
  • කරාබු නැටි තෙල් උෂ්ණ බිබිලිවල ආලේප කිරීම.කරාබු නැටි සතුව Eugenol කියන සංඝටකය අන්තර්ගත වන අතර එය උෂ්ණ බිබිලි නිසා ඇතිවන වේදනාවන් සමනය කරන්නට උපකාරී වෙනවා.
  • පිරිසිදු රෙදි කැබැල්ලක් අයිස් කැටයක් ඔතා එය උෂ්ණ බිබිලි මත විනාඩි කිහිපයක් තබා ගැනීම .එය වේදනාව දැවිල්ල හෝ ඉදිමුණු ස්වභාවය අඩුකර ගන්නටත් බෙහෙවින් වැදගත්.
  • උෂ්ණ බිබිලිවල කෝමාරිකා යුෂ ආලේප කිරීම. 
  • රසකිද, අළු කෙසෙල්, උක් දඩු කලං 4 බැගින් ගෙන වතුර පත 4 ක් සහ තැඹිලි වතුර 4 ක්  දමා එකට සිඳවා උදේ සවස පත භාගය බැගින් පානය කිරීම. 
  • කොත්තමල්ලි මිටක් ගෙන කොටා ඇල් වතුර වීදුරුවකට රාත්‍රියේ දමා උදෑසන සීනි දමා හිස්බඩ පානය කිරීම.  
  • තල ගහේමල් තල තෙලින් අඹරා උෂ්ණ බිබිලිවල ආලේප කරන්න.
  • කතුරුමුරුංගා කොළ එළගිතෙලින් තම්බා ආහාරයට ගැනීම. 
  • කොහිල අල හා කොළ ,දියබත්, හුලං කීරිය අල, නෙළුම් අල,  තණ හාල් කැඳ, කිතුල් පිටි කැඳ,සව්, බාර්ලි, කැකිරි නිවිති ආදී සිසිල් ආහාර ගැනීම වගේම උෂ්ණ ආහාරවලින් වැළකීම. 
  • මෘදු කෙඳි සහිත බුරුසුවකින් දත් මැදීම
  • යම් විටෙක උෂ්ණ බිබිලි ක්‍රමයෙන් විශාල වීම,අධික ලෙස වේදනා ගෙනදීම, උණ ඇතිවීම, උශ්ණ බිබිලි සති 3 ට වඩා පැවතීම, දියර වර්ග ගිලීමට අපහසුවීම යන තත්ත්වයක් ඇතිවිටෙක නොපමාව වෛද්‍යවරයෙකු හමුවිය යුතුයි.