ශ්වසන රෝගවලට ගුණදායක අසමෝදගම් සතු ගුණ 8 ක්

health tips

Apiaceae උද්භිද කුලයට අයත් අසමෝදගම් ශාකය නොයෙක් රෝග සමනයට බහුලව භාවිතා කරයි. අජමෝදා,  මහ්නි දීපිකා ,අත්‍යුගන්ධා,  යනාදී නම්වලින් හඳුන්වන මෙම ඖෂධීය පැළෑටිය ඉන්දියාවේ දේශීය ශාකයක් වන අතර ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ශාකයක්වේ. ශීත දේශගුණයක් සහිත තෙත් කලාප වල බහුලව දැකගත හැකි මෙම ශාකය ප්‍රභේද දෙකකින් සමන්විතවේ.

  • හීන් අසමෝදගම් 
  • මහා අසමෝදගම් 

ලෙසය. සාමාන්‍යයෙන් මෙම ශාකය සෙන්ටි මීටර් 15-70 පමණ උසට වැඩෙන්නෙකි. එමෙන්ම  වාර්ෂිකව දැකගත හැකි පැළෑටියක් වන අසමෝදගම් ශාකයේ පත්‍ර ඒකාන්තරව ත්‍රී පක්ෂවත් හෝ ඒක ද්වී පක්ෂව පිහිටා තිබේ. මෙම පත්‍රවල නැටි මත සියුම් බූවක් දැකගත හැකි අතර පත්‍ර පොඩි කළ විට ඉන් සුගන්ධයක් වහනයවේ.

ඡත්‍රයක හැඩයෙන් යුතු පුෂ්ප මංජරියේ හටගන්නා  කුඩා මල් පොකුරු සුදු පැහැයෙන් යුක්තවේ. වසර පුරාවට මල් පිපෙනු දැකගත හැකි මෙම ශාකයේ ඵලය දුඹුරු පැහැතිය. එහි සුවඳින් යුතු කුඩා බීජ අඩංගුවේ.ආයුර්වේදයේ සඳහන් වන පරිදි අසමෝදගම් ශාකය කටුක රසයෙන් ද උෂ්ණ ගුණයෙන් ද යුක්ත ශාකයකි.

අසමෝදගම් ශාකයේ ඖෂධීය ගුණ ශරීර වේදනාවන් සමනය කරයි වාතය නසයි, ඉදිමුම් සුව කරයි, හෘදය උත්තේජනය කරයි, ශ්වසන රෝග එනම් සෙම,පීනස, ඇදුම සමනය කරයි.   ස්නායු ශක්තිමත් කරයි,පාචනය සමනය කරයි, අතීසාරය සමනය කරයි, ඇස් රෝග සුව කරයි, මුත්‍ර රෝග සමනය කරයි, වමනය සමනය කරයි, ආමාශයේ අම්ල ගතිය සමනය කරයි, කුසගිනි වඩවයි,කුෂ්ට තුවාල සුව කරයි,කෘමි දෂ්ටනය සමනය කරයි.මේ ආදී බොහෝ රෝගවලට ගුණ දෙන අසමෝදගම් සම්බෝලයක්, තැම්බුම් හොද්දක්, තේ පානයක් ලෙස සකස් කර ආහාරයට එකතු කරගත හැකිය.

ඖෂධීය අසමෝදගම් ශාකයේ භාවිතය  

  • කුඩා ළමුන්ගේ අජීර්ණ වලට අසමෝදගම් ඇට බැද උතුරන වතුරට දමා මඳ වේලාවක් තබා එම ජලයෙන් ස්වල්පයක් පානය කිරීම
  • ශරීරගත ඉදිමුමට අසමෝදගම් ඇට අඹරා එම ස්ථානවල ආලේප කිරීම 
  • ශරීරයේ දුගඳ නැති කිරීමට අසමෝදගම් ඇට ඇල්දියෙන් අඹරා ශරීරයේ ගැල්වීම. 
  • ස්වසන රෝගවලට ඇදුමට ,හතියට, ඇට පුළුස්සා දුම් ඇල්ලීම. මීට අමතරව වියළාගත් අසමෝදගම් ඇට කුඩු කර බෝතලයකට දමා සුළං නොවදින සේ වසා ගබඩා කර එයින් තේ හැඳි එක බැගින් දවසට දෙවතාවක් මීපැණි මිශ්‍රකර පානය කිරීම මගින්ද සහනය සලසා ගත හැකිය.
  • සෙම්ගෙඩි වලට අසමෝදගම් ඇට තම්බා උගුර සේදීම 
  • ශරීරගත වේදනාවට අසමෝදගම් තෙල් ගැල්වීම.
  • ඇදුමට ඇට (චූර්ණය කර) කුඩු කර  එහි දුම උරන්නට දීම.
  • වන හා කුෂ්ඨවලට අසමෝදගම් ඇට වාෂ්පීකරණය කොට ගත් තෙල් ස්වල්පයක් මද උණුසුම් ජලයට දමා මිශ්‍ර කර තුවාල, කුෂ්ඨ දිනපතා උදේ සවස සේදීම.
  • කෘමි දශ්ටනයට එනම් බඹර,දෙබර, ගෝනුසු විෂට විෂට අඹරාගත් අසමෝදගම් ඇට චූර්ණය හෝ අසමෝදගම් තෙල් එම ස්ථානවල ආලේප කිරීම.

ශරීරගත මේද දහනය පාලනය කිරීමට අසමෝදගම් තේ පානයක් සකස් කරගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය 

  • අසමෝදගම් ඇට ස්වල්පයක් 
  • මින්ට් කොළ කිහිපයක් 
  • දෙහි යුෂ ස්වල්පයක් 

අසමෝදගම් ඇට කිහිපයක් හා මින්ට් කොළ කිහිපයක් උණුසුම් ජලයට එකතු කර මද වේලාවක් වසා තබා පසුව එය හොඳින් පෙර ඊට දෙහි බින්දු කිහිපයක් එකතු කර පානය කරන්න. මෙමගින් ශරීරගත මේදය දහනය කර ගත හැකිය.

අසමෝදගම් ශාකය ආහාරයක් ලෙස නුසුදුසු වන අවස්ථා ගර්භණී සමයේ මෙන්ම කිරි දෙන මව්වරුන්ට  අසමෝදගම් ආහාරයට ගැනීම සුදුසු නොවේ. එනම් කිරි දෙන මවුවරුන්ගේ කිරි අවමවීම අසමෝදගම් ආහාරයට ගැනීමෙන් සිදුවේ.

එමෙන්ම අසමෝදගම් උෂ්ණ ගතියෙන් යුක්ත වන හෙයින් අම්ලපිත්ත හා ශරීර දැවිල්ල ඇති පුද්ගලයින්ට ද  ගුණදායක නොවේ. 

කෙසේ වෙතත් අසමෝදගම් යනු පෙර සඳහන් කළ රෝගයන් සදහා භාවිතා කළ හැකි වටිනා ඖෂධයකි.

නමුත් අදවන විට මෙම අසමෝදගම් ඖෂධීය ශාකය වඳ වී යෑමේ තර්ජනයට ලක්ව ඇති හෙයින් අනාගතය උදෙසා ඔබේ ගෙවත්තේ ද මෙම ශාකය වගා කිරීමට කටයුතු කරන්න.