මේ පත්‍ර යුෂ අමු ඉගුරු සමග මිශ්‍ර කර වාත අමාරුවට ගාන්න මැඩහඟු සතු ගුණ 16ක්

health tips

ආයුර්වේදය තුල රෝග රැසකට ඖෂධයක් ලෙස භාවිතා කරන මැඩහඟු  යනු පඳුරුමය ශාක මත පැතිර වැඩෙන බහුවාර්ෂික ශාකයකි. එනම් Apocynaceae නම් උද්භිද කුලයට අයත් මැඩහඟු ශාකය  කිරි සහිත කුඩා ශාකයක් වන අතර ශාකයේ කඳ මත සුදු පැහැති බූවා පවතී.
එමෙන්ම මෙහි පත්‍ර සම්මුඛව පිහිටන සරල පත්‍ර හෘදයාකාර  හෝ අණ්ඩාකාර වූ හැඩයෙන් යුක්ත වේ.

මල් කොළ පැහැයට හුරු සුදු පැහැති මල් වන අතර ඵලය කිරි සහිත වරාවකි. එනම් ඵලය  යුගල් ලෙස ද දැක ගත හැකිය. මෙහි ඵල ආවරණය තුළ කටු වැනි ව්‍යුහ ඇති අතර ඵලයෙහි අඩංගු බීජ  දුඹුරු හෝ සුදු පැහැති බීජ වේ.

මීට අමතරව මෙම උද්භිද කුලයටම අයත් oxystelma esculentum නම් උද්භිද නාමයෙන්  හඳුන්වන වෙනත් දේශීය ශාකයක් ද හඳුනාගෙන තිබේ.  “හීං මැඩහඟු”  යනුවෙන්  හඳුන්වන්නේ එම මැඩහඟු ශාකයයි.
වැඩි වශයෙන් ප්‍රචලිත නොවුනත් ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට මැඩහඟු ශාකයේ පංචාංගයම ඖෂධ ලෙස යොදා ගනු ලැබේ.

  • මැඩහඟු ශාකයේ ඖෂධීය ගුණ.
  • කුසගිනි වැඩි කිරීම සඳහා
  • සර්ප විෂ නැසීම සඳහා
  • මුත්‍රා අඩස්සිය සමනය කිරීම සඳහා
  • වණ සමනය කිරීම සඳහා
  • කැස්ස සමනය කිරීම සඳහා
  • කෘමි රෝගයන් සදහා
  • අර්ශස් රෝගය සඳහා
  • චර්ම රෝග සමනය කිරීම සඳහා
  • ප්‍රතිශ්‍යාව සඳහා
  • ඇදුම සමනය කිරීම සඳහා
  • වමනය සමනය කිරීම සඳහා
  • මුත්‍ර ගල් ඉවත් කිරීම සඳහා
  • පණු රෝග සමනය කිරීම සඳහා
  • ශරීරගත ඉදිමුම් සමනය කිරීම සඳහා
  • අක්ෂි රෝග සමනය කිරීම සඳහා

මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා මැඩහඟු යනු ගුණදායක ඖෂධයකි.

මුත්‍ර රෝග සුව කිරීම සඳහා මුත්‍ර ගල්, මුත්‍රා අඩස්සිය සමනය කර ගැනීම සඳහා මැඩහඟු ,ගල්කූර,අරත්ත අල ,පාවට්ටා , පොල්පලා ,නෙරෙංචි ,කුරුදු පොතු ,රන්වන් කටුකරඬු ,වැලුක්,රසකිඳ ,සුවඳ හොට ,තොටිල මුරුව,කෙසෙල් අල කුඹුක් පොතු ආදිය කෂාය කර පානය කිරීම ගුණදායකය.එමෙන්ම මැඩහඟු මුල් අඹරා මැටි බඳුනක ඇතුළත ආලේප කර එයට දීකිරි හෝ මෝරු වත් කර තබා පානය කිරීම මේ සඳහා ගුණදායකය.

වාත වේදනා සුවයට හේතු වේ.වාත වේදනා ඇතිවූ විට එම වේදනා සුව කිරීමට  මැඩහඟු ශාකය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් මැඩහඟු පත්‍ර ස්වරසය අමු ඉඟුරු මිශ්‍ර කර යෙදීමෙන් එම වාත වේදනා සුව කර ගත හැකිය.

අර්ශස් රෝගයට,කුසගිනි වැඩීමට ,භගන්දර,  අක්මා රෝග සමනය කිරීම සඳහා මෙම රෝග සමනය කිරීම සඳහා මැඩහඟු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.  එනම් ඒ සඳහා මැඩහඟු ,ඇඹුල් ඇඹිලිය, රත්නිටුල් සහ වල් කිඩාරම් යනාදී ඖෂධවල  චූර්ණය භාවිතා කිරීම ගුණදායකය.

වමනයට පැරණි වෙද පොත් වල වමනය සඳහා මැඩහඟු ,මදුරුතලා කොළ එක්ව යොදාගෙන වමන කර්ම කරන බවට තොරතුරු හමුවේ.

වන  සුව කර ගත හැකිය.පීඩා ගෙන දෙන තුවාල සුව කර ගැනීමට මැඩහඟු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා පත්‍ර ප්‍රලේපය තුවාල මත ආලේප කිරීම මගින් වන සුව කර ගත හැකිය.

ආර්තවය ක්‍රමවත් කර ගත හැකිය.කාන්තාවන්ගේ ආර්තවය අක්‍රමවත් වූ විට එය ක්‍රමවත් කර ගැනීම සඳහා මැඩහඟු මුලේ පොතු චූර්ණය මදටිය ඇටයක ප්‍රමාණ දෙකක් ගෙන එළකිරි සමඟ ආහාරයට ගැනීමෙන් ආර්තවය ක්‍රමවත් කර ගත හැකිය.

උණ ,රුධිරගත මේදය ඉවත් කරන ඖෂධයක් වේ.උණ , රුධිරගත මේදය ඉවත් කිරීම සඳහා  මැඩහඟු ශාකය යොදා ප්‍රතිකාර කළ හැකිය. එනම් මැඩහඟු කොළ, මදුරුතලා කොළ යුෂ ගෙන අඹරා සකසන වෙල්ලෙයි ,වෙන්ගායම්, ගුලි උණ  රුධිරයේ මේදය අධික වීම ආදී රෝග සඳහා යෝග්‍ය වේ.

සර්ප විෂ නැසීම සඳහා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ සර්ප විෂ ඉවත් කිරීමට මැඩහඟු මුල්, මුරුංගා කොළ ,අත්තන පොතු සමව ගෙන කොටා ධූම දීම යෝග්‍ය වේ.

කුඩා දරුවන්ට ඇතිවන කෘමි රෝග සඳහා ඖෂධයක් වේ.කෘමි රෝග හේතුවෙන් පීඩා විඳින කුඩා දරුවන්ට එම රෝගය ඉක්මනින් සුව කර ගැනීම සඳහා මැඩහඟු කොළ කෂාය සකස් කර ලබාදීම යෝග්‍ය බව පැරණි වෙද පොත් වල සදහන් වේ.

  • එමෙන්ම මැඩහඟු ශාකය 
  • අර්ශස් තෛලය
  • අගුර්වාදී  තෛලය
  • සුකුමාර රසායනය
  • බුද්ධරාජ බස්නය

යන ආදී ඖෂධ වර්ග මැඩහඟු ශාකයේ ඖෂධීය කොටස් යොදා ගෙන ප්‍රතිකාර කළ හැකිය.