අපිට ජීවිත් වෙන්නට ආහාර අවශ්‍යයි. නමුත් කුසගින්න ගැන විතරක් හිතලා ක්ශණිකව උයා පිහා ගන්නට හැකි ආහාර ගන්නවාට වඩා අපේ ආහාර වේල් පිළිබඳව අපි සිතා බලන්නට ඕන. මොකද අද වයස් බේදයක් නැතිවම නොයෙකුත් ලෙඩ රෝග අපේ පසුපස හබා එන නිසා. ඉතින් වස විස නැති ගුණයෙන් ඉහළ ආහාර පාන අපේ ආහාරවේලට එකතු කර ගන්නා එක අපේ නීරෝගී බවට අතිශයින්ම වැදගත්. ඉතින් ඒ ඒ වස විස නැති අවට වටපිටාවෙන් සොයා ගන්නට හැකි ගුණදායක පලා වර්ග අතරේ කෙකටිය කියන්නෙ හරි අපූරු රසවත් ආහාරයක්. ඒ වගේම තමයි එහි පෝෂණ ගුණයත් ඉතාම ඉහළයි. මේ කෙකටිය ශ්‍රී ලංකාවට ආවේණික වුණු දුර්ලභ ශාකයක්. ඒ නිසාම මෙහි වටිනාකම ඉතාම ඉහළයි. ඉතින් අපි අද කතා කරමු කෙකටිය ශාකය අපේ දේහයේ නීරෝගී පැවැත්මට බලපෑම් කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.
ජලජ ශාකයක් වන කෙකටිය Aponogetonaceae යන උද්භිද කුලයට අයත් වෙනවා. ගංගා, ඇල ඉවුරු ආදී ජලාශ්‍රිත පරිසරවල වැවෙන මේ ශාකය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සුවිශේෂී ශාකයක් .මෙහි පත්‍ර බොහොමයක් ජලයේ ගිලී පවතිනවා. සුවදින් යුත් මෙහි මල් සුදු රෝස හෝ ලා දම් පැහැයෙන් සමන්විතයි. කෙකටිය ශාකයේ දඩු ආහාරය පිණිස භාවිතා කරන අතර මල් සහ අල විසර්ප ආදියට ප්‍රතිකාර සඳහා භාවිතා වෙනවා. ඒ හැරුණාම කෙකටිය අල වගේම දඩුත් ව්‍යංජනයක් ලෙස ආහාරයට ගන්නවා. ඒ වගේම අල තම්බා පොල් සමඟ ආහාරයට ගන්නා අතරේ මේවායේ මල් සහ නටුව කිරට වගේම තෙලටත් ඉතා රසවත්ව පිළියෙළ කරගන්නට පුළුවන්. කිරි වැඩීමට සහ දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ට ලබා දෙන්නේ කෙකටිය අල ව්‍යංජනය හෝ මල් කැඳ වශයෙන්.
කෙකටිය ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

- දියවැඩියා රෝගයට ගුණදායක වෙනවා.
- ලිංගික බෙලහීනතාවය දුරු කරනවා.
- වණ සහ ඉදිමුම් නැති කරනවා.
- මව්වරුන්ගේ කිරි වඩවනවා.
- ඇස් රෝග නසනවා.
- බඩේ දැවිල්ල, ඇඟපතේ දැවිල්ල, මල මාර්ගයේ සහ මුත්‍රා දැවිලි ආදී තත්ත්වයන් දුරු කරනවා.
- ලේ අර්ශස් රෝගීන්ට ගුණදායක වෙනවා.
- රක්ත අතීසාරයට ගුණදායක වෙනවා.
- ශරීරයේ උෂ්ණාධික බව දුරු කරනවා.
- වණවල ඉදිමුම් සුව කරනවා.
- කහ උණ සඳහා ප්‍රතිකාර පිණිස භාවිතා කරනවා.
- පිපාසය දුරු කරනවා.
- අමිල පිත්ත රෝගීන්ට ගුණදායකයි.
- දරුවන් ප්‍රසූත කළ කාන්තාවන්ගේ රුධිර වහනය වළක්වනවා.
- වමනය සුව කරනවා.
- දේහයේ විෂ නැති කරනවා.
- චර්ම රෝග සඳහා ගුණදෙනවා.
- හදවත නීරෝගී කරනවා.
- ශරීරයේ දුර්වලතා මගහැර ශරීර ශක්තිය වර්ධනය කරනවා.
- ආහාර රුචිය වර්ධනය කරනවා.
කෙකටිය සතු ඖෂධීය භාවිතයන්

- දියවැඩියාව සඳහා කෙකටිය අල, මාදං ඇට, රණවරා මුල්, කොතල, කෙමිය මුල්, උළුහාල් එක සමානව ගෙන පිරිසිදු කර කොට කෂාය කර පානය කිරීම සුදුසුයි.
- අතීසාරය සඳහා කෙකටිය අල තම්බන ලද ජලය පානය හෝ එය කෂාය කර බොන්නට දෙනු ලබනවා.
- ඇස් රෝග සඳහා වැල්මී සමඟ අඹරා පුරවලියන් යොදනු ලබනවා.
- වමනය සඳහා කෙකටිය අල තම්බා ගත් ජලය මී පැණි සහ වී පොරි සමඟ කලවම් කර පානයට ලබාදීමෙන් වමනය සුවකර ගන්නට පුළුවන්.
- පිපාසය සඳහා කෙකටිය මල් හෝ අල තම්බන ලද ජලය පානය කිරීම සුදුසුයි.
- අමිල පිත්ත රෝගය සඳහා සම්පූර්ණ කෙකටිය ශාකයම තම්බා පානයට ලබාදීම සුදුසුයි.
කිරි මව්වරුන්ට කිරි වැඩීම සඳහා කෙකටිය අල මල් කැඳ සකසා ගන්නා ආකාරය
- කෙකටිය අල සහ මල්
- ගාගත් පොල්
- රතු ළූණු බික් 4-5 ක් සහ සුදු ළූණු බික් 1 ක්
- කරපිංචා ඉති 4 ක්
- හීනටි සහල් ග්‍රෑම් 150 ක්
- ලුණු
සාදා ගන්නා ආකාරය කෙකටිය අල මල් සහ කරපිංචා හොඳින් සෝදා පිරිසිදු කරගෙන බ්ලෙන්ඩර් කර යුෂ ලබා ගන්න .හීනටි සහල් සෝදා එයට ලියාගත් ළූණු ආදිය එකතු කර තම්බා ගන්න. සහල් බෙරි වනතුරු තම්බා ගෙන එයට පොල් කිරි එකතු කර පිසගෙන මද වේලාවකින් කෙකටිය අල මල් යුෂ එකතුකර විනාඩි කිහිපයක් පිස ගෙන ලිපෙන් ඉවත් කරන්න. මදක් නිවුණු පසු කිතුල් හකුරු සමඟ පානය කරන්න.
කෙකටිය ව්‍යංජනයක් පිළියෙල කරගන්නා ආකාරය

- කෙකටිය
- කරපිංචා
- ලියාගත් රතු ළූණු
- ලියාගත් සුදු ළූණු
- ලියාගත් කොච්චි
- කූනිස්සන්
- කෑලි මිරිස් කුඩු
- තුනපහ
- ගොරකා
- ලුණු
- කහ
සාදා ගන්නා ආකාරය සෝදාගත් කෙකටිය දළුවල මල් ටික පිසීමට පෙර ඉවත් කර ගන්න .කෙකටිය දඩු ටික තරමක් දිගටි ආකාරයට කපා ගන්න. පසුව මැටි බදුනක් ලිප තබා එයට තෙල් දමා තෙල් රත් වුණු පසු රතුළූනු , කොච්චි, කරපිංචා සහ සුදු ළූණු එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න. කපාගත් කෙකටියවලට කෑලි මිරිස් තුනපහ, කහ, ලුණු, ගොරකා සෝදාගත් කූනිස්සන් ආදිය එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. ඒ කෙකටිය මිශ්‍රණය බැදගත් ළූණු ආදිය සමඟ එකතු කර තම්බා ගන්න.
ඉතින් සොයා ගන්නට දුර්ලභ ශාකයක් වුණත් අපේ ආහාරවේලට නිතර එකතු කරගත යුතුම ආහාරයක් මේ කෙකටිය. මේ කෙකටිය ශාකයේ සෑම කොටසක්ම පාහේ ආහාරය පිණිසත් ඖෂධ පිණිසත් භාවිතයට ගන්නා හෙයින් මේ කෙකටිය ශාකය අනාගත පරපුර වෙනුවෙන් රැක ගත යුතුම ශාකයක්.