සුව නොවන අක්මාවේ තෙල් පවා දියකර හරින කැබැල්ල දලු මාලුව

health tips

දේශීය ආහාර වර්ග පිළිබඳව ජනතාව තුළ වර්තමානය වෙද්දී වැඩි අවධානයක්  යොමු වෙමින් යනවා. වස විස එකතු කරපු ආහාරපාන ගන්නවාට වඩා අවට වටපිටාවෙන් සපුරා ගන්නට හැකියාව තියෙන සුවිශේෂී දේශීය ආහාර වර්ග අපට නිරෝගීව ජීවත් වෙන්නට අවස්ථාව උදා කරලා දෙනවා. ඉතින් ඒ අතුරින් කැබැල්ල දළු කියන්නේ ගුණදායක රසවත් ව්‍යංජනයක්. ගුණදායි මැල්ලුමක්. ඒ විතරක් නෙවෙයි රෝග බොහොමයක් සුවපත් කරන්නට හැකියාව තියෙන වටිනා ඔසුවක්. ඉතින් ඒ නිසාවෙන්ම අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ මේ කැබැල්ල ශාකය සතුව ඖෂධීය වටිනාකම පිළිබඳවයි. 

කැබැල්ල ශාකයේ උද්භිද විද්‍යාත්මක නාමය  Aporusa lanceolate (Tul) Thus. මේ ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක්.පඳුරු වශයෙන් වර්ධනය වෙන මේ ශාකය අඩි 10ක් පමණ උසට වර්ධනය වෙනවා. රෝග බොහොමයක් සුවපත් කරගන්නට හැකි ගුණ රැසක් මේ කැබැල්ල ශාකය සතු වෙනවා. සි

මේ කැබැල්ල ශාකයේ ස්වභාවය ගැන කතා කළොත් මෙය සිහින් අතු රාශියක්  සහිත පොත්ත දුඹුරු පැහැයෙන් යුක්තයි. පත්‍ර අණ්ඩාකාර සිට ඕවලාකාර දක්වා හැඩයන්ගෙන් පිහිටනවා. මේවායේ පත්‍ර වියළී යාමේදී ලා කහ හෝ කොළ කහ පැහැයක් ගන්නවා. මල් එක 1 – 4 දක්වා පොකුරු වශයෙන් පිහිටා තියෙනවා. මෙහි ඵලය රතු දුඹුරු පැහැ අතර  එහි තනි තනිව බීජ පිහිටා තියෙනවා. ඵලය මේරීමත් සමඟ ඵලාවරණය පුපුරා බීජ පිටතට විවෘත වෙනවා. 

සෝඩියම්, මැග්නීසියම්, මැන්ගනීස්, පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, යකඩ, කාබෝහයිඩ්‍රේට සහ ප්‍රෝටීන් ආදී පෝෂක බොහොමයක් අන්තර්ගත වෙන කැබැල්ල වස විසෙන් තොර ගුණදායක ආහාරයක්. මේ කැබැල්ල දලුවල එළු මාංශවල තියෙන පෝෂදායී බව අන්තර්ගත වෙනවලු. 

 මේ කැබැල්ල දලු අපිට විවිධ ආකාරයට ආහාරයට එකතු කරගන්න පුළුවන්. සලාදයට, ඇඹුලට, මැල්ලුමට, බැදුමටත්  මේ කැබැල්ල දළු පිසගන්න හැකියාව තියෙනවා. ඒ වගේම කැබැල්ල ශාකයේ ගෙඩි පලතුරක් විදිහටත් ආහාරයට එකතු කරගන්න පුළුවන්. ඒවා පැණි රසයෙන් සහ ඇඹුල් රසයෙන් යුක්ත ආහාරයට ගන්නට ප්‍රිය උපදවන සුළු ආහාරයක් . 

මේ කැබැල්ල ශාකයේ ආහාරයට ගන්නේ තෙල් පැහැ වැටුණු කැබැල්ල දළු. ඒවා නටන වතුරේ දමා හේබා ගිය පසු ගෙන දිය සිදුණු පසු අඹරා හෝ සිහින්ව ලියා ආහාරයට එකතු කරගන්න පුළුවන්. රසය වගේම තමයි ගුණය අතිනුත් මේ කැබැල්ල දළු පොහොසත්. ඒ නිසාම  රෝග රැසකින්ම සුවපත් භාවයක් සලසා ගන්නට මේ කැබැල්ල දළුවලින් හැකියාව ලැබෙනවා. 

කැබැල්ල දළු ආහාරයට ගත්තොත් මේ වාසි අපිට ලබාගන්න පුළුවන්.

  • මුත්‍රා කාරක ගුණයෙන් සමන්විත නිසා මුත්‍රා රෝගවලින් සහනය සලසනවා.
  • රුධිරය පිරිසිදු කරනවා.
  • රුධිරයේ මේදය අධික වී  නහරවල තෙල් බැඳීම නිසා ඇතිවන  අපහසුතා සඳහා ගුණදායකයි.
  • අක්මාවේ fatty liver රෝගීන්ට ඉතාමත් හිතකරයි.
  • අජීර්ණ  නසාලනවා.
  • පණු රෝග නසාලනවා.
  • දියවැඩියාව පාලනයට උදව් වෙනවා .
  • අම්ලපිත්ත රෝගීන්ට ගුණදායකයි.
  • ආමාශයේ හටගන්නා තුවාල සුවපත් කරනවා.
  • අධික ලෙස දහදිය දැමීම පාලනය කරනවා.
  • කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනා සමනය කරනවා. 
  • වකුගඩු රෝගයෙන් පීඩා විඳින පුද්ගලයන්ට සහ වකුගඩු රෝගයට ගොදුරු වීමට ආසන්න රෝගීන්ටත්  ඉතාම ගුණදායකයි. 
  • ඇස් රෝග සඳහා ගුණදායකයි.

 ඇස් රතු වීම, ඇසේ සුද ඇතිවීම,  කඳුළු ඒම, ඇස්වල දැවිල්ල, පෙනීමේ අඩු බව හෝ  ඇසට  යමක් ඇනුණු  විට ඒවා ඉවත් කරන්නටත්  ඇසේ ඇතිවන තැල්ම, නගන ආදී ඇස් සම්බන්ධ රෝග අවස්ථා රාශියකටත්  මේ කැබැල්ල භාවිතයට ගැනෙනවා’. 

ඇස්වල ඇතිවන රත සඳහා කැබැල්ල දළු උණු අළුවෙන් තම්බා කුරුම්බා ලෙලි යුෂෙන් අඹරා ඇස වටේ ආලේප කරනු ලබනවා. 

  • කැපුම් තුවාලවල ලේ නැවැත්වීමට උදව් වෙනවා.මේ සඳහා කැබැල්ල දළු  කොටා  තුවාලය මත තබන්න. 
  • නියඟලා විෂ නැති කරන්නට භාවිතයට ගැනෙනවා.
  • අතීසාරයට ගුණදායකයි. 

කැබැල්ල දළු ව්‍යන්ජනය සකසා ගන්නා ආකාරය 

 අවශ්‍ය  ද්‍රව්‍ය 

  • උණු දියේ දමා සෝදාගත්  කැබැල්ල දළු 
  • මිටිකිරි
  •  උම්බලකඩ ස්වල්පයක්
  •  රතුළුණු ගෙඩි 12ක් 
  • අමු මිරිස් කරල් හතරක් 
  • කරපිංචා
  •  රම්පෙ 
  •  උලුහාල් 
  • කහ කුඩු 
  • මිරිස් කුඩු 
  • තුන පහ කුඩු 
  • රස අනුව ලුණු

 සෝදා පිරිසිදු කරගත් කැබැල්ල දළු කපාගෙන උණු දියේ දමා ගන්න. එයට උම්බලකඩ, අමු මිරිස්, රම්පෙ, කරපිංචා, තුනපහ, මිරිස් කුඩු ආදිය  අවශ්‍ය ප්‍රමාණයට එකතු කර මිටිකිරි දමා හොඳින් කලවම් කර ලිප තබන්න. හොඳින් තැම්බුණ පසුව ලුණු රස බලා භුක්ති විඳින්න .

කැබැල්ල දලු මාලුව සාදාගන්නා ආකාරය

 අවශ්‍ය දේවල්

  •  කැබැල්ල දළු දෙමිටක්
  •  මිරිස්
  •  තුනපහ 
  • කහ 
  • රතු ළූණු 
  •  අමුමිරිස් 
  • ලුණු 
  • කරපිංචා 
  • උම්බලකඩ 
  • ගොරකා
  •  සුදු ළූණු 
  •  මිටි කිරි කෝප්ප භාගයක්

 කැබැල්ල දළු වතුර දමා ලුණු ගොරකා කැබැල්ලක් එකතු කර තම්බා ගන්න. පසුව ලිපෙන් ඉවත් කර නිවුණු පසුව වතුර මිරිකා කහ මිරිස් තුනපහ කරපිංචා ආදි සියල්ලම දමා මිටිකිරි දමා ලිපේ තියාගන්න. තැම්බුණු  පසු තෙල් ස්වල්පයක් ලිප තබා රත් වුණු විට රතු ලූනු ගෙඩියක් කපා එයට එකතු කර කැබැල්ල දළු ව්‍යංජනය එකතු කර ලිපෙන් ඉවත් කරගන්න.