ඇපෙන්ඩිසයිටිස් නැත්නම් උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය කියන්නේ බොහෝදෙනෙක් මුහුණදී තියෙන පීඩාකාරී රෝගී තත්ත්වයක්. මේ රෝගය ලෝකයේ ජීවත් වන මිනිසුන් වන අපිට වගේම තවත් වඳුරු විශේෂයකට පමණක් සීමාවුණ රෝගයක් ලෙසට හඳුන්වන්නට පුළුවන්. මොකද මේ විශේෂ අවයවය වොම්බැට් කියන වඳුරු විශේෂයට සහ මිනිසාට පමණක් පිහිටා ඇති නිසා. මේ රෝගී තත්ත්වය ඈත අතීතයේ පටන් හඳුනා නොගත් රෝගයක් ලෙස පැවති බව සඳහන් වෙනවා. කොහොමනමුත් මේ රෝගය මුල් කාලීනව හඳුනා ගන්නට අපොහොසත්වුණොත් මරණයට පත් කරන්නට තරම් භයානක විය හැකි රෝගයක්. විශේෂයෙන්ම ප්‍රතිකාර නොලැබීම නිසා උණ්ඩුක පුච්ඡය පැසවීමට ලක්වෙන්න පුළුවන්.මෙසේ සැරව එකතුවීමෙන් පසු පිපිරී උදරය තුළ විෂබීජ පැතිරයාමෙන් පෙරිටොනයටින් යන තත්ත්වය මතු වන්නට පුළුවන්. එයින් උදරයේ ඇතිවන සැරව ගෙඩි යටි බඩ හා මුත්‍රාශය ආදී ස්ථාන ආසන්නයේ වැඩිපුර මතුවී වඩා බරපතල තත්ත්වයන් ඇති කරනවා. ඒ නිසාවෙන් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ උන්ඩකපුච්ඡ ප්‍රදාහය හඳුනා ගැනීමට උපකාරී වන රෝග ලක්ෂණ පිළිබඳවයි.

උණ්ඩුකපුච්ඡය කියන්නේ මිනිසාගේ කුඩා අන්ත්‍රය සහ මහා අන්ත්‍රය සම්බන්ධ වන ස්ථානය සමඟ එකතු වන සීකම් නමින් හඳුන්වන මහ බඩවැලේ කොටසට සම්බන්ධ පවතින සෙන්ටිමීටර 10 පමණ දිගින් යුක්ත නාලයක් වැනි අවයවයක්. මේ අවයවය මිනිසුන්ගෙන් 99% ගේම පිහිටා ඇත්තේ උදරයේ දකුණු පස පහළ කොටසේ.මේ උණ්ඩකපුච්ඡයෙන් සිදු වෙන්නේ සර්ව භක්ෂක හා මාංශ භක්ෂකයන්ගේ ආහාරවල පවතින දිරාපත් නොවන කොටස් තාවකාලිකව ගබඩා කර තැබීමයි. මිනිසා ඇතුළු වැඩි වශයෙන් ශාක ලබා ගන්නා සතුන්ට මෙය අත්‍යවශ්‍ය අවයවක් නොවන බව සඳහන් වන අතර මේ අවයවය ක්‍රමයෙන් මිනිසාගේ ශරීරයෙන් ක්ෂීණවීගෙන යන කොටසක් ලෙසත් සඳහන් කළ හැකියි.
මෙහි බිත්තිය තට්ටු 4 කින් යුක්ත වන අතර මේ උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේදී මේ බිත්තියේ තට්ටු හතර පුරාම නියුට්‍රොෆිල ලෙස හඳුන්වනු සුදු රුධිරාණු වර්ගය පැතිර යනවා. මෙසේ ඇතිවන අසාදිත තත්ත්වය සැරව එකතු වීමක් ලෙසත් අනතුරුව ගෙඩියක් ලෙස විශාල වීමක් දක්වාත් වර්ධනය වෙනවා. ඉතින් මේ කුඩා අවයවය ආශ්‍රිතව ඇතිවන සෞඛ්‍ය ගැටළු අතුරින් ඇපෙන්ඩිසයිටිස් එක් රෝගී තත්ත්වයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
මේ ඇපෙන්ඩිසයිටිස් තත්ත්වය ඇති වෙන්නට බලපාන හේතු සාධක නිශ්චිතව හඳුනාගෙන නැතත් සාමාන්‍ය පිළිගැනීම වන්නේ විවිධ ආහාර කොටස් එකතුවීම නිසා එහි ඇති ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය වැඩිවීමෙන් ප්‍රදාහයට ලක්වීමයි. විශේෂයෙන්ම ආහාරවල තන්තු සහිත බව අඩුවන විට මේ තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි මට්ටමක පවතින බව හඳුනා ගෙන තියෙනවා. ඒ හැරුණාම ඇතැම් පවුල්වල ආවේණික ලක්ෂණයක් ලෙසත් මේ රෝගය මතුවන අවස්ථා පවතිනවා. ඒ හැරුණාම කලාතුරකින් බඩවැල කෙළවර ඇතිවන පිළිකා තත්ත්වය නිසා මතුවන ඉදිමුම ද ඇපෙන්ඩිසයිටිස් ලෙස මතු වෙන්නට පුළුවන්.
මේ උණ්ඩුකපුච්ඡ ප්‍රදාහය බහුලව දකින්නට ලැබෙන්නේ කුඩා දරුවන්ගේ සහ නව යොවුන් වියේ සිටින පිරිමි ළමුන් අතරයි. සාමාන්‍යයෙන් වසරකට ලෝකය පුරා වයස් අවුරුදු 10-30 ත් අතර පුද්ගලයන් මිලියන 16 ක් පමණ පිරිසකට වැළදෙන බවයි සඳහන් වන්නේ.එයිනුත් පෙරදිග රටවලට වඩා බටහිර රටවල මේ තත්ත්වය බහුලවම දකින්නට ලැබෙනවා. නමුත් මේ තත්ත්වය ඕනෑම වයසක පසුවන අයෙකුට ඇතිවෙන්නට හැකියාව පවතිනවා.
ඇපෙන්ඩිසයිටිස්වල රෝග ලක්ෂණ

- බඩේ මැද හෝ දකුණු පසට වන්නට ඇතිවන තදබල වේදනාවමේ වේදනාව ඇවිදින විට හා සෙලවෙන විට වැඩිවෙන අතර මේ වේදනාව ක්‍රමයෙන් අඩුවීමක් සිදු නොවන අතර වැඩිවීම පමණක් අත්විදින්නට සිදුවෙනවා. එබැවින් නොකඩවා පැය දෙකක් මෙවැනි උදර වේදනාවක් ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු හමුවට යා යුතුයි.
- බඩ බුරුලෙන් යාම හෝ මලබද්ධය
- යටිබඩේ වේදනාව
- වමනය
- උණ
- මුත්‍රා අඩස්සිය
ඇතැම්විටෙක කාන්තාවන්ට පැලෝපීය නාලයේ හෝ ඩිම්බකෝෂවල ඇතිවෙන ඉදිමීමකදී ඇපෙන්ඩිසයිටිස් රෝගයේ රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ මතු වෙන්නට පුළුවන්.
ප්‍රතිකාර මේ උණ්ඩුක පුච්ඡ ප්‍රදාහයේදී ස්කෑන් පරීක්ෂාවන් බහුලව සිදු කරනු ලබනවා. ඇතැම් අවස්ථාවලදී මේ රෝගයට ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එය තීරණය කරනු ලබන්නේ පළපුරුදු ශල්‍ය වෛද්‍යවරයෙක් විසින් පමණයි.
බොහෝවිට මේ සඳහා ශල්‍ය කර්මයක් සිදු කෙරෙන අතර ශල්‍ය කර්මයේදී උණ්ඩුක පුච්ඡය ඉවත් කරනු ලබනවා. මේ සඳහා පවතින ඉක්මන් සහ නියත ප්‍රතිකර්මය වන අතර දින 3 ක් ඇතුළත ශල්‍ය කර්මය සිදු කරනු ලබනවා. එය බඩවැල්වල දැවටී ඉවත් කරන්නට අපහසු වුණොත් සති 6 ට පසුව ඇතිවන දෙවන අවස්ථාව ලෙස රෝගය වඩාත් තදබල ලෙස පැතිරෙන්නට ඇති ඉඩකඩ වැඩියි. කෙසේවුවත් මේ ශල්‍ය කර්මය සංකීර්ණ ශල්‍ය කර්මයක් නොවන නිසා බිය වියයුතු නැහැ.
මේ ඇපෙන්ඩිසයිටිස් තත්ත්වයකදී කිසිවිටෙකත් සීතල හෝ අයිස් කැට ආදියෙන් තැවීමෙන් වැළකිය යුතුයි. එසේ වේදනාව සහිත ප්‍රදේශය සිසිල් කිරීමකදී ඇපෙන්ඩිසයිටිස් රෝග ලක්ෂණ යටපත් වන්නට පුළුවන්. එබැවින් මේ වේදනාවේදී මද රස්නය සහිත රෙදි කැබැල්ලකින් වේදනාකාරී ප්‍රදේශය තැවීම වගේම දියර වර්ග පමණක් පානයට ලබාදීමත් වැදගත්. නමුත් බඩ බුරුල්වීම සඳහා යම් ඖෂධ ලබාදීම සුදුසු නොවන අතර වේදනාව නොකඩවා පවතින්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.