විදුරුමස් දියවීම සදහටම නතර කරන සත්කාර 2 ක්

health tips

මුහුණට මුහුණ හමුවෙන පුද්ගලයන්ට අපි මුලින්ම දායාද කරන්නේ සිනහව. ඉතින් බය නැතුව ලස්සනට හිනා වෙන්නට නම් අපේ මුඛ සෞඛ්‍ය වගේම දන්ත සෞඛ්‍යයත් යහපත් මට්ටමේ තිබෙන්නට ඕන. නීරෝගි දත් දෙපළක් අපිට අවශ්‍ය වෙන්නේ සිනහසෙන්නට විතරක් නෙවෙයි . ඒ නිසා නීරෝගී දත් දෙපලක්  සඳහා අපි අපේ මුඛ සෞඛ්‍ය යහපත්ව තබා ගන්නට අවශ්‍යයි. මේ විදුරුමස් ආශ්‍රිත රෝග අපේ මුඛ සෞඛ්‍ය යහපත්ව තබා ගන්නට බාධා කරනවා. විදුරුමස් දියවීම අද බොහෝදෙනෙක් අතර දකින්නට හැකි සුලබ තත්ත්වයක්. ඉතින් ඒ නිසාවෙන් අපි විදුරුමස් දියවීමක් වළක්වා ගන්නා ආකාරය ගැන දැනුවත්ව සිටිය යුතු වෙනවා.

සාමාන්‍යයෙන් විදුරුමස් රෝග කියන්නේ දතේ විදුරුමසේ ඇතිවන ආසාදන තත්ත්වයක්. මේ සඳහා හේතු වෙන්නේ දත් විදුරුමස් අතර මැලියම් රැඳීමෙන් එකතු වෙන බැක්ටීරියා සහ විෂබීජ විදුරුමස් ආශ්‍රිත පටක ආසාදනයකට ලක් කිරීමක්. මේ තත්ත්වය  එතරම් ගණන් නොගන්නා අය අප අතරේ ඕනෑ තරම් ඉන්නවා. නමුත් විදුරුමස් රෝග ඇති විට ඒවා ගණන් නොගෙන ප්‍රතිකාර ලබා නොගැනීමෙන් වෙනත් අතුරු ආබාධයන් පවා ඇති  වෙනවා. විදුරුමස් රෝග ඇතිවිට ඉතා පහසුවෙන් විෂබීජ වර්ධනය වීම නිසා මුඛ පිළිකා, ඉරුවාරදය, ඇස් පෙනීම දුර්වල වීම  ආදී රෝගාබාධ ඇති වෙන්නට හැකියාව පවතිනවා.

විදුරුමස් දියවීම සඳහා වැඩි අවදානම් සහිත සාධක 

  • දිනපතා දත් නොමැදීම 
  • දුම්පානය 
  • දියවැඩියාව 
  • ජානමය බලපෑම 
  • ඇතැම් ඖෂධ වර්ග 
  • කාන්තාවන්ගේ හෝර්මෝනවල ඇතිවන බලපෑම් 
  • ශරීරයේ ප්‍රතිශක්තිය හීන කරන රෝගී තත්ත්වයන් 

විදුරුමස් දියවීමක් හඳුනා ගත හැකි ලක්ෂණ 

  • දත් හා විදුරුමස වෙන් කරන දාරය රතු  පැහැ ගැන්වී තිබීම 
  • විදුරුමස් ඉදිමීම 
  • මුඛයෙන් දුගඳක් හැමීම (මුඛය සෝදා දැම්මත් ඒ දුගඳ ඉවත් වන්නේ නැහැ.)
  • දත් මුල්වල වේදනාව 
  • ආහාර සැපීමේදී දත්වල ඇතිවන වේදනාව 
  • දත් බුරුල්වීම 
  • දත් දෙකක් අතර විදුරුමස කොටසේ උල් ගතිය නැතිව යාම 
  • විදුරුමස් කසන සුළු ගතියක් ඇතිවීම 
  • විදුරුමසෙන් ලේ ගැලීම 

සාමාන්‍යයෙන් නීරෝගී අයෙකුගේ විදුරුමසක ව්යුහය දත් හා විදුරුමස් අතර  ඇසට නොපෙනෙන  ඉතාම කුඩා හිඩසක් ආකාරයෙන් පවතිනවා.  අප ගන්නා ආහාර මේ කුඩා ඉඩ තුළට  ගමන් නොකළොත්  දත හා විදුරුමස අතර මැලියම් බැඳී  ආසාදනයට ලක් වුණු විට විදුරුමස අතර ඇති ඒ කුඩා ඉඩ විශාල වී වර්ධනය වෙනවා.එවිට මේ කොටස තුළ අප ගන්නා ආහාර වගේම විෂබීජ රැඳීම සිදු වෙනවා. මෙවැනි තත්ත්වයදී සාමාන්‍ය දත් ඇදීමකදී මේ කොටසේ  රැඳී ඇති මැලියම් ඉවත් වන්නේ නැහැ. ඒ වගේම විදුරුමස ඉදිමී ඇති විටෙක  බුරුසුව යන්තමින් වැදුණත්  ලේ ගැලීම සිදු වෙනවා. මේ ලේ ගැලීම නිසා බියවී ඇතැම් අය ඒ ස්ථානය හොඳින් පිරිසිදු නොකරන නිසා ඒ මැලියම් තවදුරටත් වර්ධනය වෙනවා.කාලයක් ඒ මැලියම් රැඳී ඇති ඇති විට ඒ මත කැල්සියම් තැන්පත් වෙනවා.ඉන්පසු ඒවා ඝන වීම ක්‍රමයෙන් ඒවා ආසාදනය වෙලා  දීර්ඝකාලීන ආසාදන තත්ත්වයන් පවා  ඇතිවෙනවා.

  • විදුරුමස් පටක දිය වී විනාශ වී යාම 
  • දත් සවි වී ඇති අස්ථි දියවෙමින් පහළට ගමන් කිරීම නිසා දතේ මුල ක්‍රමයෙන් නිරාවරණය වීමට පටන් ගැනීම 
  • දත මුල වටා සුදු පැහැති ඝන ද්‍රව්‍යයක් බැඳීම 

මේ තත්ත්වයේදී සීතල හෝ උණුසුම් දේවල් ආහාරයට  ගන්නා විට  දත් හිරිවැටීමකට ලක් වෙනවා. ඒ අනුව දතේ දිග ටිකෙන් ටික වැඩිවෙන ආකාරයක් දකින්නට පුළුවන්.

මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ දත සෙලවී වැටීයාම. ඒ නිසා මේ තත්ත්වය හඳුනා ගත් වහාම ඒ සඳහා පිළියම් සිදු කළ යුතුයි.

විදුරුමස් දියවීම සඳහා නිවෙස් පිළියම් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  •  සාමාන්‍ය ප්‍රමාණයේ අරළු ගෙඩි ග්‍රෑම් 200 ක් 
  • කරුංකා ගෙඩි ග්‍රෑම් 100ක් පමණ 

සාදා ගන්නා ආකාරය අරළු ගෙඩි හොඳින් සෝදා කබලේ බැද ගන්න.මෙය ගෙඩි පිටින් හෝ  තලාගෙන  රන්වන් පැහැයක් ගන්නා තුරු  බැද ගන්න.ඉන්පසු ඒවා  කොටා පෙනේරයකින් හලා කුඩු ලබා ගන්න.

කරුංකා ගෙඩි ද හොඳින්ම කබලේ දමා බැදගෙන කුඩුකර හලා ගන්න.

මුලින්ම අරළු කුඩුවලින් භාගයක් ඉවත් කර වෙනම බෝතලයක අසුරා ගන්න. ඉතිරි කුඩු වර්ග දෙක එකට දමා නැවත පෙනේරයකින් හලා ගන්න. ඉන්පසු හොඳින් මේ කුඩු වර්ග දෙක කලවම් කර වෙනම බෝතලයක අසුරා ගන්න.

භාවිතා කරන ආකාරය රාත්‍රී  නින්දට යාමට පෙර සුපුරුදු පරිදි දත් මැද පිරිසිදු කර අරළු පමණක් ඇති බෝතලයෙන් කුඩු ස්වල්පයක් අතට ගෙන ඇඟිල්ලෙන් ඒවා විදුරුමස් මත ආලේප කරන්න. මෙහි ඇති තද කහට ගතිය  හොඳින් විදුරුමස් තුළට වදින ලෙස හොඳින් ඇඟිල්ලෙන් මදින්න. නිදා ගැනීමට පෙර කට සේදීම අවශ්‍ය නැහැ. ඔබට එය නින්දට බාධාවක් නම් පමණක් කට සෝදා දමන්න.මෙය මාසයක් පමණ දිනපතා සිදුකරන්න.

ඉන්පසු දින 3-4 ක් සතියකට අවුරුද්දක් පමණ කාලයක්. මෙය භාවිතා කරන්න. ඉන්පසුව ඔබට අවශ්‍ය නම් මේ ප්‍රතිකාරය ඉන්පසු නවතා දමන්න.

කරුංකා සහ අර්ළු කුඩු දත් මැදීම සඳහා භාවිතා කරන්න. එවිට මුඛය හොඳින් පිරිසිදු කරන දත් මුල් දියවීම අතර කරනු ලබනවා.

අංක 2 පේර පොතු හා කරාබු නැටි 5 ක් පමණ තම්බා ගත් ජලයෙන් දිනපතාම මුඛය සෝදා දමන්න.ඉතින් විදුරුමස් රෝග කියන්නේ ඉතාම පීඩාකාරී වේදනාකාරී රෝගයක්. ඒ නිසා දිනපතා දවසට දෙවරක් දත් මැදීම, නරක් වු දත් ගලවා ඉවත් කර ගැනීම, අවම වසරකට දෙතුන් වතාවක් දන්ත වෛද්‍යවරයෙකු හමුවී දත් පරීක්ෂා කරවා ගැනීම ආදී යහපත් සෞඛ්‍ය පුරුදු ඔබ අනුගමනය කළොත් මුඛය ආශ්‍රිත මේ ආසාදන තත්ත්වයන්ගෙන් ආරක්ෂා වෙන්නට පුළුවන්. ඒ වගේම විදුරුමස් දියවී ඇති ඔබට නිවසේ දී මේ ප්‍රතිකර්ම පහසුවෙන්ම සිදු කර ගන්නටත් පුළුවන්.