ඇස් යට ඇතිවන අඳුරු පැහැය  ඉවත් කිරීම සඳහා භාවිතා කළ හැකි ස්වභාවික ප්‍රතිකාර

health tips

ඇස් යට කළු වීම බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙන ගැටළුවකි. මුහුණ පැහැපත්ව තබා ගන්නා සේම ඇස් යට කළු වීමට ප්‍රතිකාර කිරීමටත් අමතක නොකල යුතුය. ඇස් කියන්නේ ඉතා සියුම් සංවේදී ස්ථානයක් බැවින් ඇස් යට සමට හානීයක් නොවන පරිදි ප්‍ර‍තිකාර කිරීම ඉතා වැදගත් ය. ඇස් යට කළු වීම යනු බොහෝ දෙනෙකුට විවිධ හේතූන් බලපෑමෙන් ඇති වූ ගැටලුවකි.  ඇස් යට කළු වීම යනු බරපතළ සමේ රෝගයක් නොවුන ද  ඉතාමත් විඩාබර මෙන් ම වයසින් වැඩි පෙනුමක් ලබා දෙයි. 

ඇස් යට කළු වීමට හේතු 

සමේ වියළි බව

දිගු වේලාවක් හැඬීම

තුනී සම හරහා පෙන්වන ශිරා හා කේශ නාලීකා

ඇස් වටා වියළීම සහ හානී වු සෛල ඒකරාශී වීම

විවිධ අසාත්මිකතා

ප්‍රමාණවත් නින්දක් නොලැබීම

නිතර හිරු රශ්මියට නිරාවරණය වීම

අධික ලෙස පරිගණක භාවිතය

පෝෂණ ඌණතා

හෝර්මෝන අසමතුලිතතා

නිදි වැරීම සහ මානසික ආතතිය

අධික දුම්පානය සහ මත්පැන් පානය

ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට

පීනස හා වෙනත් සෙම් රෝග නිසා ඇස් කැසීම.

අධික තෙහෙට්ටුව

වයසට යාම

විවිධ ආසාදන

විජලනය

ජාන ගැටළු 

මෙවැනි හේතු ඇස් යට කළු වීමට බහුලව බලපායි. 

විවිධ වූ රෝග හා ආසාත්මිකතාවයන් සදහා නොයෙක් ඖෂධීය ප්‍රතිකාර පවතී. ඒ අනුව ඇස් යට කළු වීම වළක්වා ගැනීමට කළ හැකි ප්‍රතිකාර කිහිපයක් පවතී. 

ආමන්ඩ් ඔයිල්

ආමන්ඩ් ඔයිල් කියන්නේ ඔබේ ඇස් වටා ඇති අඳුරු බව ඉවත් කිරීම සඳහා යොදා ගත හැකි ඉතා හොඳ තෙල් වර්ගයකි. දිනපතා ආමන්ඩ් ඔයිල් භාවිත කිරීමෙන් ඇස් යට අඳුරු බව නැති කර ගත හැකිය. එමෙන් ම ආමන්ඩ් තෙල් සමඟ විටමින් E තෙල් මිශ්‍ර කර ආලේප කළ හැකිය.

රාත්‍රී නින්දට පෙර ආමන්ඩ් තෙල් ස්වල්පයක් ගෙන ඇස් වටා අලේප කර මෘදුව සම්බාහනය කරන්න. රාත්‍රිය පුරාම එය තිබෙන්නට හැර පසුදා උදෑසන සීතල වතුරෙන් සෝදා හරින්න. අඳුරු ගතිය නැතිවන තුරු දිනපතා මෙය සිදු කරන්න. 

පිපිඤ්ඤා

පිපිඤ්ඤා කියන්නේ ‍සම පැහැපත් කිරීමටත් බහුලව යොදාගන්නා ඉතා පෝෂ්‍යදායී එළවළුවකි. මෙයින් දෑස්වල ඇති විඩාබර පෙනුම නැති කරයි. එමෙන්ම මෙයින් ඇස් වටා සම සිනිඳු කර නැවුම් පෙනුමක් ලබා දෙයි.

පිපිඤ්ඤා ගෙඩියක් ගෙන තරමක් සිහින් පෙති කපා ඒවා මිනිත්තු 30ක් ශීතකරණයේ දමා සිසිල් කර ගන්න. ඉන්පසු එම පෙති මිනිත්තු 10ක් පමණ ඇස් මත තබාගෙන හිඳ ඉවත් කර ජලයෙන් සෝදා හරින්න. දවසට දෙපාරක් සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් මෙය සිදු කරන්න.

පිපිඤ්ඤා යුෂ හා දෙහි යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන මිශ්‍ර කර එය ඇස් වටා තවරා මිනිත්තු 15 පමණ තබා ජලයෙන් සෝදා හරින්න. සතියක් පමණ මෙසේ කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. 

අර්තාපල්

අර්තාපල් යනු ස්වභාවික බ්ලීචින් අඩංගු ඇස් යට අවපැහැ ගැන්වීම සුව කරන ඖෂධයකි. 

අර්තාපල් ගෙඩියක් ගෙන සිහින්ව කපා මිරිකා යුෂ ලබා ගන්න. අයි පෑඩ් කපු පුලුන් එම යුෂවලින් පොඟවා ඇස්මත තබන්න. මෙලෙස විනාඩි 10 හෝ 15 පමණ හිඳ එවා ඉවත් කර සීතල වතුරෙන් ඇස් සෝදන්න. සති කිහිපයක් දිනකට වරක් හෝ දෙවරක් මෙය කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය. අර්තාපල් යුෂ වෙනුවට මේ සඳහා අල පෙති ද භාවිත කළ හැකිය. 

රෝස වතුර

රෝස වතුර කියන්නේ සමට ඉතා හොඳ සත්කාරයකි. මෙමඟින් ඇස්වල ඇති වයසින් වැඩි පෙනුම නැති කර තරුණ පෙනුමක් ලබා දෙයි. මෙය ස්කින් ටෝනර් එකක් විදියටත් ක්‍රියා කරයි.

අයි පෑඩ් හෝ කපු පුළුන් ගෙන රෝස වතුරේ මිනිත්තු කිහිපයක් හොඳින් පොඟවා ගන්න. පසුව ඇස් මත තබා මිනිත්තු 15ක් පමණ සිටින්න. ඉන්පසු ඉවත් කරන්න. දිනකට දෙවරක් මෙය සිදු කරන්න. 

තක්කාලි

තක්කාලි කියන්නෙත් ස්වභාවික බ්ලීචින් අඩංගු සම පැහැපත් කරන දෙයකි.

තක්කාලි යුෂ තේ හැන්දක් හා දෙහි යුෂ තේ හැදි භාගයක් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සෝදන්න. සතියකට දෙවතාවක් පමණ මෙය සිදු කරන්න. මේ සඳහා තක්කාලි යුෂ පමණක් ද භාවිතා කළ හැකිය. 

දෙහි

දෙහිවල ඇති විටමින් C ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කිරීමට උපකාරී වේ.

කපු පුළුන් හෝ අයි පෑඩ් ආධාරයෙන් දෙහි යුෂ ඇස්වල ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න. සති කිහිපයක් දිනපතා මෙසේ කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

දෙහි යුෂ මේස හැන්දකට තක්කාලි මදය මේස හැන්දක්, කඩල පිටි ඉතාම ස්වල්පයක් හා කහ කුඩු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කර ඇස් වටා ආලේප කර මිනිත්තු 10ක් 15ක් පමණ තබා සෝදා හරින්න. සතියකට දෙවතාවක් හෝ තෙවතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය. දෙහි යුෂ හේතුවෙන් යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් භාවිතය නවත්වන්න. 

පොල් තෙල්

පොල් තෙල් භාවිත කර ඇස් වටා සම්බාහනය කිරීමත් ඇස්වල අඳුරු පැහැය නැති කරගන්න පුළුවන් හොඳ සත්කාරයක්. එයින් ඔබේ ඇස් හොඳින් මොයිස්චරයිස් වීමද සිදුවේ.

පොල්තෙල් ස්වල්පයක් ගෙන ඔබේ ඇස් වටා ආලේප කර මෘදු ලෙස සම්බාහනය කරන්න. ඉන් පසු පැය කිහිපයකට පසු සෝදා හරින්න. 

සීතල වෙළුම්

ඇස් වටා සීතල වෙළුම් තැබීමෙන් රුධිර නහර සංකෝචනය කර ඇස් වටා ඇති අවපැහැවීම් නැති කරයි.

පිරිසිදු රෙදි කැබැල්ලක් සීතල වතුරෙන් හෝ කිරිවලින් පොඟවා ගන්න. ඉන්පසු ඒවා දෑස් මත තබා මිනිත්තු කිහිපයක් හිඳ ඉවත් කරන්න.

එමෙන් ම අයිස් කියුබ් දෙකක් පිරිසුදු රෙදි කඩක ඔතා ඇස් යට මිනිත්තු කිහිපයක් තබාගෙන සිටීමට ද හැකිය. 

කහ

ගොඩක් රූපලාවණ්‍ය කටයුතු සඳහා යොදා ගන්නා කහවලටත් ඇස් වටා ඇති අඳුරු පැහැය ඉවත් කිරීමේ හැකියාව තිබේ.

අන්නාසි යුෂ ස්වල්පයක් සමඟ කහ ස්වල්පයක් මිශ්‍ර කර අඳුරු පැහැ ප්‍රදේශයේ ආලේප කර මිනිත්තු 10ක් පමණ තබා ඉවත් කරගන්න. 

ටී බෑග් (Tea bag)

පාවිච්චි කළ තේ බෑග් දෙකක් පැය එකහමාරක් පමණ ශීතකරණයේ තබා සිසිල් කර ගන්න. ඉන්පසු ඒවා දෑස්මත තබා මිනිත්තු 10 ක් 15ක් පමණ සිට ඒවා ඉවත් කර මුහුණ සෝදා ගන්න. මෙය දිනපතාම සිදු කළ හැක.

මෙම සත්කාරය එක දිඟටම කරනවා නම් ඇස් යට කළු වීම විතරක් නොව ඇස් නිරෝගීව තබා ගැනීමටත් හැකිය. එමෙන්ම මෙමගින් ඇස් වටා ඇති රැලි වැටීම් ආදියත් නැති කරයි. 

මී පැණි

මී පැණි මේස හැන්දකට ලෙමන් යුෂ තේ හැන්දක් මිශ්‍ර කරන්න. මේ මිශ්‍රණය ඇස් වටේ යොදා විනාඩි 15කින් පමණ සොදන්න. 

කුංකුම 

කුංකුම රේණු 3 – 4 ක් අරගෙන කිරි කෝප්පයක පැය දෙකක් පමණ දමා තියන්න. පසුව ඇස් වටේ ආලේප කරලා විනාඩි 10 කින් සෝදන්න 

යෝගට්

යෝගට් තේ හැඳි දෙකකට ලෙමන් යුෂ තේ හැන්දක් එකතු කරලා mix කරගන්න.ඊටපස්සේ ඇස් වටේ paste එක apply කරලා විනාඩි 20කින් සෝදන්න. එය සෝදන්න.මේ Treatment එක සතියකට දෙපාරක් විතර කරන්න. 

බිත්තර සුදු මදය

ඇස් වටා බිත්තර සුදුමදය ආලේපකර විනාඩි 15ක් තබා සිසිල් වතුරෙන් සෝදා හරින්න. 

මෙම සත්කාරවලට අමතරව under eye pad එකක් භාවිත කළ හැකිය. නමුත් under eye pad එකක් මිල දී ගැනීමේදී 

•විටමින් K

•විටමින් C

•විටමින් E

•කිරි සාරය

•කොලැජන්

අඩංගු නිෂ්පාදන මගින් ඇස් වටා කළු වීම මෙන් ම රැළි වැටීමත් නැති කරයි. 

මෙම ප්‍රතිකාරවලට අමතරව මෙම ඇස් වටා කළු වීම වලක්වා ගැනීමට අනුගමනය කළ හැකි  කරුණු රැසකි. 

  • ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න.
  • නිතර ඇස් පිරිමැදීමෙන් හා පොඩි කිරීමෙන් වළකින්න.
  • නින්දට යාමට පෙර මේකප් ඉවත් කරන්න.
  • හිරු එළියට නිරාවරණය වීමෙන් වළකින්න.
  • දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න.
  • විටමින් A, C, E බහුල සමබල ආහාරයක් ගන්න. 

මේ දේවල් නිසි ලෙස භාවිතයෙන් අනිවාර්යයෙන්ම ඇස් වටා ඇති අඳුරු පැහැය නැති කර සුන්දර දෑසකට උරුමකම් කිව හැකිය. එමෙන් ම අව්වට නිරාවරණය වන සෑම අවස්ථාවකදී අව් කණ්ඩාඩි භාවිතය සුදුසු ය. මෙමගින් ඇස් හිරු කිරණට නිරාවරණය වීමෙන් සිදුවන බලපෑම අවම කර ගැනීමේ හැකියාව තිබේ. එහිදි වඩාත් ප්‍රමිතියක් සහිත ස්ථානයකින් අව් කණ්නාඩියක් මිළදී ගැනීමට කටයුතු කළ යුතුය. 

ඇස් අවට සම ඉතාමත් සංවේදී බැවින් සුළු අත්වැරැද්දකින් හෝ දෙනෙත්වලට අහිතකර ආකාරයෙන් බලපෑ හැකිය. එනිසා වඩාත් පරීක්ෂාකාරීව මෙම ප්‍රතිකර්ම කිරීමට කටයුතු කළ යුතුය.