දියවැඩියාව හැදෙන්නේ නැතිව ඉන්න මුතුන් මිත්තන් භාවිතා කර පානය

health tips

දියවැඩියා රෝගයට ඔසුවක් ලෙස සලකන මස්බැද්ද ශාකය අයත් වෙන්නේ ASCEPIADACEAE පවුලට. මේ ශාකය සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය කරගෙන තිබෙන ආකාරයට දියවැඩියාවට වගේම තරබාරුව අඩුකර ගන්නත් මේ මස්බැද්ද ශාකය ප්‍රත්‍යක්ෂ ඔසුවක්. මේ මස්බැද්ද වැල් ශාකයේ පත්‍රවල ඇති හැකියාව පිළිබඳව තොරතුරු පළමුවරට වාර්තා වී ඇත්තේ 1920 දී පමණ. ඒ අනුව මීට වසර ගණනාවක සිටම චීනය, ඉන්දියාව ආදී රටවලත් මස්බැද්ද ශාකය  ඖෂධයක් ලෙස භාවිතයට ගෙන තියෙනවා .ඉතින් අපි අද කතා කරමු  මේ මස්බැද්ද ශාකය භාවිතා කිරීමෙන් අපේ දේහයට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව.

 වැලක් වශයෙන් දකින්නට හැකි මේ ශාකයේ මුල අබියස පත්‍ර සිහින්ව දිගටි ලෙස දකින්නට ලැබුණත් වැල් ඉහළ ඇති මස්බැද්ද පත්‍ර සිහින් දිගැටි ඕවලාකාර ආකාරයකින් තමයි දකින්නට ලැබෙන්නේ.  මස්බැද්ද ශාකයේ පත්‍ර  ඉතා සිනිඳු ස්වභාවයකින් හඳුනා  ගන්නට පුළුවන්.මේ පත්‍රවල හැඩය ගත් වෙනත් වැල් වර්ග බොහොමයක් අප අවට පරිසරයේ  තිබෙන නිසා මස්බැද්ද ශාකය නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත්. මේ මස්බැද්ද ශාකයේ පත්‍ර   කිරි අගුණ වැලේ පත්‍ර හා සමාන වෙනවා. ඒ නිසා මේ ශාකය නිශ්චිතව හඳුනා ගන්නා එක තරමක් අසීරුයි. කොහොමවුණත් නිවැරදිව මස්බැද්ද ශාකය හඳුනා ගන්නට එක් ක්‍රමයක් පවතිනවා. මේ මස්බැද්ද ශාකයේ පත්‍රයක් කඩා පිසදා ගෙන දෙකට තුනට නවා හපා ගිලීමෙන් පසුව පොඩි වේලාවක්  වුණාට පස්සේ  සීනි ස්වල්පයක් කටට දා ගෙන රස බැලුවොත් සීනිවල ඇති පැණි රස ගතිය දැනෙන්නේ නැහැ. එය මේ ශාකය නිවැරදිව හඳුනා  ගන්නට අපිට භාවිතා කරන්නට පුළුවන්. 

මොකද මස්බැද්ද වැල් ශාකයේ ඇති ජිම්නෙමික් කියන අම්ලයට මිනිසාගේ දිවට ලුණු රස සහ පැණි රස දැනීම තාවකාලිකව පැය 10 ක් 12 ක් තරම්  කාලයක්  වැළක්වීමට හැකියාව ඇති නිසා. කොහොමනමුත් ජිම්නෙමික් අම්ලය කියන මේ ස්වාභාවික රසායනික සංයෝගයට දියවැඩියා රෝගීන්ගේ අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝර්මෝන නිපදවන අක්‍රීය වූ සෛල නැවත සක්‍රීය කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ නිසා රුධිරයේ සීනි මට්ටම දේහයට හිතකර මට්ටමට අඩුකරන්නට මේ ශාකයට හැකියාව තියෙනවා. 

මේ මස්බැද්ද ශාකය විවිධාකාරයට භාවිතා කරන්නට හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් උදෑසන මේ මස්බැද්ද ශාක පත්‍ර  දෙකක් පමණ ගෙන හපා කලා වතුර ටිකක් පානය කිරීමෙන් පවා රුධිරයේ සීනි මට්ටම අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා. 

මේ මස්බැද්ද ශාකය  පැල තවාන්වලින් ලබාගෙන ඔබේ ගෙවත්තේ  වවාගන්නට පුළුවන් වගේම මස්බැද්ද ශාකයේ කඳ කොටසක් මගින් මෙය පැලකර ගන්නත් හැකියාව තියෙනවා. කොහොමනමුත්  මස්බැද්ද වැල් ශාකය ඔසු වශයෙන් භාවිතයේදී වැඩිදියුණු කළ ක්‍රමවේද හරහා පෙති කරල්, සහ දියර වශයෙන් ප්‍රචලිත වෙලා තියෙනවා. ඒ හැරුණාම වර්තමානය වෙද්දි බොහෝ රටවල ජනතාවගේ නීරෝගී පැවැත්මට උපකාරී වන ආකාරයට මස්බැද්ද ශාකයේ  කොළවල සාරයෙන් මුඛ සේදුම් දියර, දන්තාලේප සහ චුයින්ගම් වර්ග  නිශ්පාදනය වී තිබෙනවා. මේ මුඛ සේදුම් දියර හා දන්තාලේප භාවිතයෙන් පසුව තරබාරු වැඩිහිටියන් සහ ළමුන් ද කේක් ටොෆී හෝ පිටි සහිත ආහාර ගැනීමෙන් වැළකී සිටිනවා. හෙළ වෙදකමේ දී මේ ශාකයේ කොටස් වගේම සම්පූර්ණ වැල් ශාකයම භාවිතයට ගන්න අවස්ථාත් පවතිනවා.

මස්බැද්ද ශාකයේ අපූරු ගුණ 

  • රුධිරගත සීනි මට්ටම පාලනය කරනවා.
  • තරබාරුව මට්ටු කරනවා.
  • මුත්‍රා  සමඟ සීනි පිටවීම සඳහා ගුණදායකයි.
  • දන්ත සෞඛ්‍ය රැක දෙනවා.
  • ඇදුම, ක්ෂය රෝගය ආදිය සඳහා ගුණදායකයි.
  • හෘදයේ දුර්වලතා සුවකරනවා.
  • පිළිස්සු අවස්ථාවලදී ප්‍රතිකාර සඳහා භාවිතා කෙරෙනවා.
  • නාග විෂ ඇතුළු සර්ප විෂ නැසීමට උපකාරී වෙනවා.
  • උදරාබාධ, අක්මා රෝග හා පිත්තාශයේ රෝගවලදී ප්‍රතිකාර සඳහා භාවිතා කෙරෙනවා.
  • මලබද්දය හා  ඇස් රෝග සඳහා පිළියම් ලෙස භාවිතයට ගැනෙනවා.

මස්බැද්ද ශාකයේ ඖෂධීය භාවිතයන් 

  • ඇදුම රෝගය සඳහා මේ සඳහා වියළාගත් මුලේ පොතු පිලිස්සූ දුම ආඝ්‍රාණය කිරීම සිදු කරනවා .
  • ගෙඩි ඉහිරවීමට මේ සඳහා මස්බැද්ද කොළ, පොතු, ගදපාන කොළ කහ ලුණු දමා කොටා මලවා බැදීම සහ ලුණුවරණ කොළ පොතු ලුණු දමා කොටා මලවා බැඳීම සුදුසුයි.

මස්බැද්ද  තේ පානය 

මේ සඳහා නීරෝගී මස්බැද්ද ශාක පත්‍ර  අවශ්‍ය වෙනවා.ඒ පත්‍ර හොඳින්ම සෝදා තද අව්වේ වියළා ගන්න. පසුව ඒ ශාක පත්‍ර  අතින් කුඩා කැබලි වන සේ පොඩිකර ගෙන වීදුරු බෝතලයක අසුරා තබා භාවිතයට ගන්න.

මේ මස්බැද්ද තේ එක සකස් කර ගැනීමට මස්බැද්ද පත්‍රවල කුඩු,  තේ කොළ සහ උණු වතුර අවශ්‍ය වෙනවා.

කෝප්පයකට මස්බැද්ද කුඩු තේ හැදි භාගයක් සහ තේ කොළ තේ හැදි භාගයක් එකතු කර එයට උණු ජලය දමා විනාඩි 5 ක් පමණ තැම්බෙන්නට තබන්න. පසුව පෙරා  පානය කරන්න.

සැලකිය යුතුයි.දියවැඩියා රෝගයට ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් ඒ පානය සතියකට දින 3 ක් පමණ භාවිතා කිරීම ගැටළුවක් නොවුණත් දිනපතා අධි මාත්‍රාවෙන් භාවිතයට ගැනීමෙන් වැළකිය යුතුයි.

දියවැඩියා රෝගය නොමැති පුද්ගලයන් මේ තේ පානය සතියකට වරක් පමණ සුළු ප්‍රමාණයකින් ගැනීම ගැටළුවක් නැතත් සීනි අඩු ප්‍රතිශතයක් ඇති පුද්ගලයන් මේ පානය භාවිතා නොකිරීම සුදුසුයි.

Leave a Reply

Your email address will not be published.