ගර්භාෂ රෝග නසන අශෝක

health tips

නීරෝගි ජීවිතයක් උදෙසා අපිට භාවිතා කළ හැකි ඔසු පැළ කොතෙකුත් මේ මිහිපිට තිබුණත් ඒවායේ ඇති වටිනාකම දන්නේ සුළු පිරිසක් පමණයි. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ඉතාමත් අලංකාර මල් හට ගන්නා ඉතා දීර්ඝ ඉතිහාසයක් හිමි අපූරු ශාකයක් පිළිබඳවයි. මීටර් 6-9 තරම් උසට වැඩෙන මේ ශාකය අශෝකයි. විශාල ප්‍රදේශයක පැතිරී වැඩෙන අශෝක ගස ඖෂධීය වශයෙන් ගත් විට අතිශයින්ම වටිනාකමක් උසුලන ශාකයක්. ඉතින් කාන්තා රෝග බොහොමයකටම ගුණදෙන අශෝක ශාකය පිළිබඳවයි අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ.

දියරත්මල්,දියරතඹලා යන නමින් හඳුන්වන අශෝක ශාකය ආයුර්වේදය තුළ බහුලවම භාවිතා කෙරෙනවා. දේශගුණික රටාව අනුව ගසේ ප්‍රමාණය හා පත්‍රවල පැහැය වෙනස් වන නමුත් සෑම වසරකම  පෙබරවාරි අප්‍රේල්  මාස වන සිට අශෝක ගස් මලින් බර වෙනවා. මේ ශාකයේ මල් පොකුරු වශයෙන් හට ගන්නා අතර මල් දීප්තිමත් තැඹිලි පැහැයක් ගනු ලබනවා.පසුව දීප්තිමත් රත් පැහැයක් ගන්නා අශෝක මල් පිපුණු අශෝක ගස ඉතා අලංකාර නෙත් පැහැර ගන්නා ගසක් නිසාවෙන් බොහෝ උයන් අලංකාරය පිණිස මේ ශාකය භාවිතා කරනු ලබනවා. අලංකාරය හැරුණාම මේ අශෝක ශාකය නීරෝගීව ජීවත් වෙන්නට අපිට බෙහෙවින් උපකාරී වෙනවා. 

විශේෂයෙන්ම අශෝක මුල්වල පොතු බහුලවම ඖෂධ පිණිස යොදාගත්තත් එයට අමතරව මල් වගේම බීජත් ඖෂධ වශයෙන් භාවිතයට ගනු ලබනවා. නමුත් අශෝක පොතු ඖෂධීය වශයෙන් බහුලව භාවිතා වීම මත විනාශ වීමේ තර්ජනයට මේ ශාකය මුහුණ දී තියෙනවා.විශේෂයෙන්ම කාන්තා රෝගවලදී අශෝක ශාකය බහුලවම උදව් වන නිසා කාන්තාවන්ගේ ශෝකය තුරන් කරන හෙයින් අශෝක ලෙස හඳුන්වන බවත් පැවසෙනවා. එදා වගේම අදත් අශෝක ශාකය  ප්‍රකටව ඇත්තේ කාන්තා රෝග සුවකර ගැනීම සඳහා ඉහළ දායකත්වයක් ලබාදෙන ශාකයක් ලෙසටයි.කාන්තාවන්ට පමණක් නොවෙයි පුරුෂ බාල මහලු සියලුදෙනාගේ ලෙඩ රෝග බොහොමයකට ගුණදෙන අපූරු ඔසුවක් තමයි මේ අශෝක. කසාය වශයෙන් චූර්ණයක් වශයෙන් තම්බා ගැනීමෙන් වගේම කොළ කැඳ ලෙස සකසා පානය කිරීම මගින් ලෙඩ රෝග බොහොමයක් වළක්වා ගන්නට අපිට පුළුවන්.

අශෝක කොළවලින් කැඳ සාදා ගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  • අශෝක ගසේ ලපටි කොළ
  • අවශ්‍ය පමණට ගා ගත් පොල්
  • රතු ළූණු බික් 4
  • කරපිංචා ඉත්තක්
  • සුදු ළූණු බික් 3
  • ලුණු
  • සහල්

සාදා ගන්නා ආකාරය සෝදාගත් කරපිංචා කුඩා කොටස්වලට කපා අශෝක ගසේ ලපටි පත්‍ර සමඟ හොඳින් අඹරා වතුර එකතු කර යුෂ ලබා ගන්න. පොල් කිරි මිරිකා පසෙකින් තබා ගන්න.සෝදාගත් සහල්වලට ලියාගත් රතු ළූණු සහ සුදු ළූණු එකතු කර තම්බා ගන්න.සහල් හොඳින් තැම්බුණු පසු එයට පොල් කිරි එකතු කර කිරි පැසෙන්නට තබා පසුව කොළ යුෂ එකතු කරන්න.අවශ්‍ය පමණට ලුණු එකතු කර විනාඩි කිහිපයක් ලිප තබා ගෙන නිවුණු පසු කිතුල් හකුරු සමඟ පානය කරන්න.

අශෝක ගසේ ඖෂධීය ගුණ

  • සමේ රෝග දුරලයි
  • දාහය පිපාසය දුරලයි
  • පණු රෝග දුරලයි
  • රුධිරය පිරිසිදු කරයි
  • සෙම සහ පිත සමනය කරයි
  • ලේ දොස් දුරලයි
  • මුත්‍රා වඩවයි
  • මුත්‍රා  ගල් සුව කරයි
  • දිලීර ආසාදන සුව කරයි
  • අර්ශස් ආදී උදරයේ තුවාල සුවපත් කරයි
  • වේදනා නැසීමේ ගුණයෙන් යුක්තයි
  • විෂ නසයි
  • ගර්භාෂයේ ගෙඩි සුව කරයි
  • ගර්භාෂයේ ලිහිල් බව ඇති කරයි
  • ඔසප් වේදනාවන් සමනය කරයි
  • ශරීරයේ දැවිලි ගතිය සමනය කරයි
  • කාන්තාවන්ගේ සුදයාමේ රෝගය සුව කරයි
  • දියවැඩියාවට ගුණදායකයි
  • මුත්‍රා දැවිල්ල සමනය කරයි

අශෝක ශාකයේ ඖෂධීය භාවිතයන්

  • දියවැඩියාව සඳහා-ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට අශෝක මල් හොඳින් වියළා තම්බා පානය කිරීම ගුණදායකයි.
  • මුත්‍රා ගල් හා මුත්‍රා පිටවීමේ අපහසුතා සඳහා-අශෝක බීජ අඹරා පානය කිරීම මේ අපහසුතා සමනය කර ගන්නට උපකාරී වෙනවා.
  • මුත්‍රා  දැවිල්ල සඳහා-අශෝක බීජ කබලේ බැද අඹරා අක්කපාන දඩු තැම්බූ වතුරට දියකර සීනි දමා පානය කිරීමෙන් මුත්‍රා දැවිල්ල ඉතා පහසුවෙන් සුවකර ගන්නට පුළුවන්.
  • යෝනිය ආශ්‍රිත දැවිල්ල සඳහා-අශෝක කොළ තම්බා සින්නක්කාරම් දමා එයින් සේදීමෙන් සහනයක් ලබා දෙනවා.
  • ගර්භාෂයේ අධිකව රුධිරය පිටවීම, ඔසප් වේදනාව සහ සුදයාම සඳහා-අශෝක පොතු කලං 12 කසායට වතුර පත 7 ක්, කිරි පත 1 ක් දමා 1 ට සිඳ දිනකට දෙවේලක් පානය කිරීම සුදුසුයි.
  • ඔසප් වේදනාව සඳහා-අශෝක පොතු තම්බා යවකාර ලුණු දමා සූදුරු කුඩු සමඟ දින 3 ට පෙර පානය කිරීම සුදුසුයි.
  • ගර්භාෂය ආශ්‍රිත රෝග සඳහා-අශෝක ගසේ පොතු කසාය කර පත 8, 1 ට සිදුවා පානය කිරීම සුදුසුයි.
  • චර්ම රෝග සඳහා-අශෝක ගසේ පොතු , මල්, කොළ පොතු අමු කහ දමා තම්බා සේදීම යහපත්.
  • සම පැහැපත් වීම සඳහා-අශෝක මල් වෙනිවැල් ගැට සුදු හදුන් සමඟ අඹරා ආලේප කිරීම සමේ පැහැපත් බවට සාර්ථක පිලියමක් ලෙස භාවිතා කළ හැකියි .

ඒ වගේම අශෝක මල් පවනේ වියළා චූර්ණ කර තබා වරකට කලං භාගය බැගින් වෙනිවැල්ගැට තැම්බූ වතුරෙන් උදේ සවස මසක් පානය කිරීමෙන් ශරීරයට දීප්තිමත් රන්වන් පැහැයක් ලබා දෙනවා.

අශෝක ශාකය සෞඛ්‍යමත් ජීවිතයකට බෙහෙවින් උදව් කරන ඔසුවක් වන නිසාවෙන් ඒ ශාකය රැක ගනිමින් නීරෝගී ජීවිතයක් උදෙසා භාවිතා කිරීම ඔබේ යුතුකමක්.