ඖෂධීය ගුණ රාශියක් සහිත අප රටට ආවේණික කුඩා පැළෑටියක් වන මොණරකුඩුම්බිය ශාකය ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිතා කරනු ලැබේ. එනම් මෙම පැළෑටිය මොණරකුඩුම්බිය ලෙස හැඳින්වෙන්නේ පිපුණු මල් මොණරෙකුගේ හිස මත පිහිටි ශිඛාව මෙන් දිස්වෙන හෙයිනි. එයට අමතර ව මෙම ශාඛය විවිධ ප්‍රදේශවල මඟුල්කුඹුරුවන්න, කොබෙයි කොළ, දුටුසපුටු, වතුපලා ආදී විවිධ නම්වලින් ද හඳුන්වනු ලබයි.
මොණරකුඩුම්බිය සෙන්ටිමීටර 30ක් පමණ උසට වැඩෙන කුඩා වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳෙහි මඳ බූවක් දක්නට ලැබෙන අතර අණ්ඩාකාර හැඩැති සරල පත්‍ර ඒකාන්තර ව පිහිටා ඇත. පත්‍රයක් දිගින් සෙන්ටිමීටර 5ක් සහ පළලින් සෙන්ටිමීටර 2ක් දක්වා වර්ධනයක් පෙන්නුම් කරයි. පත්‍ර දාරයේ කොටසක් හෝ සම්පූර්ණ වශයෙන් කඩතොළු සහිත ය.
මෙහි පුෂ්ප මංජරිය ශීර්ෂක රැසකින් සෑදුණු සමනලයෙකුගේ හැඩය ගනී. මල නිල් හෝ සුදු පැහැති ය. ඵලය තද දුඹුරු හෝ කළු පැහැති ය. දේශීය ශාකයක් වන මොණරකුඩුම්බිය ශාඛය asteraceae උද්භිද කුලයට අයත්වේ.
උණ රෝග, පාණ්ඩු, වණ, මුත්‍ර හෝ පිත්තාශ ගල්, සෙංගමාලය ඇතුළු අක්මා රෝග, පණු රෝග ආදියට ප්‍රතිකාරයක් වන මොණරකුඩුම්බිය ඉදිමුම්, වේදනා නසන, රුධිරය පිරිසිදු කරන, ශරීරයේ ගල් දිය කර හරින ගුණ සහිත ය.
එමෙන් ම නූතන පර්‍යේෂණවලට අනුව මිනිසාගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට ඉවහල් වන ඖෂධීය ගුණ රාශියක් සහිත ශාඛයක් ලෙස මොණරකුඩුම්බිය ශාඛය හඳුනා ගෙන ඇත.

මෙවැනි ඖෂධීය ගුණ සහිත මොණරකුඩුම්බිය විවිධාකාර රෝගාබාධ සඳහා භාවිතයට ගත හැකිය. එනම්
- මොණරකුඩුම්බිය කැඳ හෝ ව්‍යංජන ලෙස සකසා ළදරු මාන්දමට ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ.
- සෙංගමාලයට මොණරකුඩුම්බිය කොළ කොටා ගෙන සෑදූ කැඳ පානය කිරීම ප්‍රතිඵලදායක ය.
- සමේ ඇති වන අළුහම් සඳහා මෙම යුෂ ආලේප කරයි.
- ඇට චූර්ණය කිරීමෙන් පණු රෝග සමනය වේ.
- ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට මොණරකුඩුම්බිය කැඳ ලෙස හෝ ව්‍යංජන හෝ මලවා සකස් කර ආහාරයට ගැනීම උචිත ය.
- වණ සඳහා කොළ ස්වරසය යොදන අතර උණ රෝගයට ස්වරස තෛලය හිසෙහි ගල්වයි.
- මැල්ලුමක් ලෙස ආහාරයට ගැනීමෙන් අතීසාර රෝග, අක්මාව ආශ්‍රිත රෝග, මූත්‍ර රෝග රැසකින් සුවය ලැබිය හැකි ය.
- මොණරකුඩුම්බිය කලං 12 කසාය බොහෝ විට උෂ්ණ කාලවල ඇති වන ආසාදන, රුධිර පිටවෙන අතීසාර අවස්ථා සඳහා සුදුසු ය.
- එසේම එමඟින් උණ, උදරාබාධ, බඩ පුරවා දැමීම, අජීර්ණ වැනි රෝග තත්ත්වයන් ද සමනය වේ.
- මොණරකුඩුම්බිය මුල් කසාය මිලිලීටර 10ක ප්‍රමාණයක් දිනකට දෙවරක් පානයෙන් ඉදිමුම්, ඇඟපත වේදනා ආදිය සමනය කරයි.
- ශරීරයේ ඇති වන දැවිල්ල, සමේ දුර්වර්ණ වීම්, පිත් දෝෂ ආදිය සමනය වීමට මොණරකුඩුම්බිය පොල්කිරි දමා පිසගත් ව්‍යංජනය ඉතා ගුණදායක ය.
- උගුර ආශ්‍රිත ව සහ මුඛය තුළ හටගන්නා සෙම් ගෙඩිවලට මොණරකුඩුම්බිය ළපටි දළු හොඳින් තම්බා එම ඖෂධීය දියරයෙන් කිහිප වතාවක් විටින් විට උගුර සහ කට සේදිය යුතු ය.

- සිරුරේ උෂ්ණ ආසාදන නිසා සැරව බිබිලි හටගත් විට මෙම ශාඛයේ මුල් කොටස ගෙන හොඳින් සෝදා පිරිසිදු කර කොටා ඒ ද්‍රාවණය සැරව බිබිලිවල ආලේප කිරීමෙන් සැරව බිබිලි වේදනා රහිත ව පිපිරී යාම මෙන් ම ඉක්මනින් සුව වීමත් සිදු වේ.
- එමෙන්ම මුත්‍රාශය ආශ්‍රිත වේදනා, මුත්‍රා දැවිල්ල ආදියට මෙම ශාඛයේ ඇට කසායක් ලෙස බීම යහපත් ය.
- කල් ගත වූ කැස්සට මුළු ශාඛය ම වියළා හොඳින් කුඩු කර නටන උණු වතුර භාගයකට එම කුඩු ස්වල්පයක් දමා වසා තබා මිනිත්තු විස්සක් පමණ ගිය පසු එය පෙරා පානය කරනු ලැබේ.
- මීට අමතර ව ඇස් රතු වීම, ඇහෙන් කබ හා කඳුළු ගැලීම, ඇස් දැවිල්ල වැනි අක්ෂි ආබාධ සඳහා මොණරකුඩුම්බිය මල් තම්බා ඒ දියරින් ඇස් සහ මුහුණ විටින් විට සේදීමෙන් ඉක්මන් සුවයක් ලැබේ.
- මොණරකුඩුම්බිය ශාඛයේ පත්‍ර ඉවත් කොට කඳ කොටස හොඳින් ගලේ අඹරා තලපයක් ලෙස සාදා ගෙන එම ප්‍රමාණය මෙන් කොටස් තුනකට තිප්පිලි කොටස් එකක් දමා තම්බා පානය කිරීම ඕනෑම අර්ශස් රෝගයකට ගුණදායක බෙහෙතකි.
- මොණරකුඩුම්බිය ඇට ස්වල්පයක් තල තෙලින් අඹරා සුදු කබරවල දිනපතා වරින් වර ආලේප කිරීමෙන් සුදු කබර රෝගය ක්‍රමයෙන් සුවපත් කර ගත හැකි ය.
- ඉකිලි, කිහිලි වැනි ස්ථානවල අහිතකර දද සහ පුස් වර්ගයක් ඇති වීමෙන් සිදු වන තදබල කැසීම් ආදිය සඳහා ප්‍රතිකර්මයක් ලෙස ද මොණරකුඩුම්බිය භාවිත කළ හැකි ය. මෙම ශාඛය ගෙන කළුදුරු ස්වල්පයක් සහ වියළි පොල් ස්වල්පයක් මුසු කොට ඒ වර්ග තුන ම හොඳින් අඹරා ඒ පුස් සහිත දදයේ ආලේප කොට පැය තුනක් පමණ ගිය පසු සේදීම මෙම ප්‍රතිකාරය දිනපතා දිනකට දෙවරක් පමණ කිරීම මගින් ඉක්මන් ප්‍රතිඵල ළඟා කර ගත හැකිය.
- මොණරකුඩුම්බිය කොළ තල තෙලින් අඹරා මඳක් රත් කර කල්කයක් මෙන් සාදා ගෙන මඳ රස්නය සහිත ව එය ශරීරයේ ඇති වන දද, කුෂ්ඨ, සැරව බිබිලි මත ආලේප කිරීමෙන් ඒවා සුවපත් කර ගත හැකි අතර මෙම ආලේපය සර්ප දෂ්ටනවල විෂ ඇද ගැනීමේ හැකියාවෙන් ද යුක්ත වේ.
- වියළි මොණරකුඩුම්බිය ශාඛය හොඳින් කුඩු කර බෝතලයකට දමා සුළං නොවැදෙන සේ තබා ගෙන වරකට ඒ කුඩු ග්‍රෑම් 60ක් වතුර කෝප්ප 7ක් සහ කිරි කෝප්පයකට මිශ්‍ර කර එය හොඳින් තම්බා පත එකක් ලෙස සිඳුවා ගන්න. එයින් පත එක උදේට පත භාගයයි හවසට පත භාගයයි බැගින් සති දෙකක් පමණ දිනපතා පානය කළ යුතු ය. මෙම ප්‍රතිකර්මය ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමටත්, දේහධාරී සිරුරක් ලබා ගැනීමටත්, සම පැහැපත් කර ගැනීමටත් මනා පිටිවහලක් වේ.
මේ ආකාරයට බොහෝ රෝගයන් සඳහා සුව දෙන, ශරීර ශක්තිය, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමටත් හේතු වන මහඟු ඖෂධීය ගුණ රාශියක් සහිත ශාඛයක් ලෙස මොණරකුඩුම්බිය හඳුනාගත හැකි ය.