සෙම් ගෙඩි මුත්‍ර ගල් දිය කර හරින මොනරකුඩුම්බිය

health tips

ශ්‍රී ලංකාවේ ඕනෑම පරිසර පද්ධතියක් තුළ ඉතා පහසුවෙන් වැඩෙන පැලෑටි විශේෂයක් ලෙස මොණරකුඩුම්බිය පැළෑටිය පෙන්වා දිය හැකිය. සම්පූර්ණ ශාකය ම පාහේ ඖෂධීය ගුණයෙන් අනූන වන නිසාවෙන් ශාකයේ සෑම කොටසක්ම අත් බෙහෙත් ලෙස භාවිතා කරනු ලබයි. 

මොනරකුඩුම්බිය ශාකයේ මල්වල පැහැය අනුව ප්‍රභේද දෙකක් හඳුනාගත හැකිය. එනම්, සුදු පැහති මල් හටගන්නා මොනරකුඩුම්බිය නිල් පැහැති මල් සහිත මොණරකුඩුම්බිය  ආදී වශයෙනි. 

මෙම පැළෑටි විශේෂයට මොනරකුඩුම්බිය ලෙස නම් ලැබී ඇත්තේ මෙහි පිපුණු මල් මොනරෙක් ගේ හිසෙහි පවතින ශිකාවේ ස්වරූපයක් ගන්නා නිසාවෙනි. Asteraceae නම් උද්භිද කුලයට මොනරකුඩුම්බිය පැලෑටිය අයත් වේ.ඖෂධයක් ලෙස ප්‍රචලිත මොනරකුඩුම්බිය ශාකයේ ඖෂධීය භාවිතයන් රැසක් පවතී. 

ළදරුවන්ට ඇතිවන මාන්දම් රෝගය සුව කරයි. විශේෂයෙන් ළදරුවන්ට ඇතිවන මාන්දම නැමැති රෝගය සුව කිරීමේදී මොනරකුඩුම්බිය ඖෂධය යොදා ගනියි. මෙහිදී මොනරකුඩුම්බිය ශාක යොදාගෙන සකස් කරනු ලබන කැඳ හෝ ව්‍යාංජනයක් ආහාරයට ලබාදීම වඩාත් යෝග්‍ය වේ. 

මුත්‍රා රෝග දුරු කරයි. මුත්‍රාශය ආශ්‍රිත කොට ගෙන ඇතිවන මුත්‍රා  දැවිල්ල, මුත්‍රා අඩස්සිය හා මුත්‍රා ගල් වැනි රෝග වලට ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස මොනරකුඩුම්බිය පෙන්වාදිය හැකිය. විශේෂ මොනරකුඩුම්බිය ඇට තම්බා කසායක් ලෙස පානය කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි අතර මුත්‍රා ගල් පවතින පුද්ගලයින්ගේ සැත්කමකින් තොරව එම ගල් දිය කරලීමේ හැකියාව ද මොනරකුඩුම්බිය සතුව පවතී. මීට අමතරව මොනරකුඩුම්බිය තම්බා පානය කිරීමෙන් ඉතා පහසුවෙන් මුත්‍රා පිටවීම සිදු වේ. 

සෙංගමාලය රෝගය සුව කරයි. මොණරකුඩුම්බිය කොල හොඳින් කොටා යුෂ වෙන්කරගෙන එම යුෂ වලින් පිසින කැද පානය කිරීම මගින් සෙංගමාල රෝගය සුවකර ගත හැකිය. මෙම කැඳ පානය කිරීමෙන් අක්මා රෝග, ආමාශගත රෝග සහ මුත්‍රා ආසාදන පවා සුවකර ගත හැකිය. මොනරකුඩුම්බිය කැද වලට අමතරව මැල්ලුමක් ආකාරයට සකසා ආහාරයට ගැනීමෙන් ද ඉහත රෝග සුවපත් කරගත හැකිය. 

ලේ අතීසාරය සුව කරයි. රුධිරය පිටවන අතීසාර රෝගයට සුවයක් සලසා ගැනීම සඳහා මොනරකුඩුම්බිය ශාකය යොදාගෙන සකස් කරනු ලබන කසාය පානය කිරීම වඩාත් සුදුසු වේ. මෙම කසාය සකස් කර ගනු ලබන්නේ මොනරකුඩුම්බිය කළං 12 ක් ගෙන තම්බා එම යුෂ වලිනි. මෙම කසාය පානය කිරීමෙන් බඩේ කැක්කුම, බඩ පුරවා දැමීම සහ උණ තත්ත්වයන් ද සුවපත් කරගත හැකි ය. 

ඉදිමුම් වේදනා සමනය කරයි. ශරීරයේ ඇතිවන ඉදිමුම් හා වේදනාවන් සමනය කර ගැනීම සඳහා මොනරකුඩුම්බිය භාවිත කළ හැකි ය. ඒ කෙසේද යත් මොනරකුඩුම්බිය මූල්‍ භාවිතයෙන් සකස් කරනු ලබන කසාය මිලි ලීටර් දහයක් දිනකට දෙවරක් බැගින් පානය කිරීමෙන් මෙසේ ශරීරයේ ඇතිවන ඉදිමුම් හා වේදනාවන් සුවපත් කරගත හැකිය. 

ශරීර දාහය දුරු කරයි. පරිසරයේ අධික උණුසුම හා ශරීරයේ උෂ්ණාධික බව නිසාවෙන් ඇතිවන ශරීර දාහය දුරු කිරීම සඳහා මොනරකුඩුම්බිය භාවිතයට ගත හැකිය. මේ සඳහා මොනරකුඩුම්බි ශාකය පොල් කිරි දමා වෑංජනයක් ආකාරයට පිස ආහාරයට ගත යුතුය. මෙමඟින් ශරීර අභ්‍යන්තරයේ ඇතිවන දැවිල්ල මෙන්ම සම මතුපිට ඇතිවන දැවිල්ල හා දුර්වර්ණ බව ද දුරුවී ශරීරයට සිසිලසක් ලබා ගත හැකිය. 

උගුරේ ආසාදන හා සෙම් ගෙඩි සුව කරයි. අධික වේදනාවක් ගෙන දෙන උගුරේ ආසාදන හා සෙම් ගෙඩි ඇතිවූ විට මොනරකුඩුම්බිය ශාකය භාවිතාකොට ඒවා සුව කරගත හැකිය. ඒ කෙසේද යත් මොණරකුඩුම්බිය දළු හොඳින් තම්බා එම දියරයෙන් උදේ සවස මුඛය හා උගුර සේදීම සිදු කළ යුතුය. එමගින් උගුරේ ආසාදන තත්ත්වයන් වියැකී ගොස් සෙම් ගෙඩි ද සුවපත් වේ. 

උෂ්ණ බිබිලි හා සැරව බිබිලි සුව කරයි. උෂ්ණාධික කාලයේ දී හෝ ශරීරයේ ඇති වන්නා වූ යම් යම් ආසාත්මිකතා හේතුවෙන් හටගනු ලබන උෂ්ණ බිබිලි හා සැරව බිබිලි සුවපත් කර ගැනීම සඳහා මොනරකුඩුම්බිය මුල් හොඳින් සෝදා කොටාගෙන එම යුෂ උෂ්ණ බිබිලි වල හා සැරව බිබිලි වල ආලේප කළ යුතුය. එමගින් ඒවායේ පවතින විසබීජ ඉවත් වී ඉක්මන් සුවයක් ලබා ගත හැකිය. 

කල් ගතවූ කැස්ස සුව කරයි. කාලාන්තරයක් තිස්සේ නොනවතින කැස්ස පවතින පුද්ගලයින්ට මොනරකුඩුම්බිය ශාකය තේ මෙන් සකසා පානය කිරීම යෝග්‍ය වේ. මේ සඳහා හොඳින් පිරිසුදු කර ගත් පිරිසිදු කරගත් මොනරකුඩුම්බිය සම්පූර්ණ ශාකය සිහින් කැබලි වලට කපා හොඳින් වියළා ගත යුතුය. එසේ වියළාගත් කැබලි සිහින්ව කුඩුකර අවශ්‍ය පමණට උණුවතුරට දමා විනාඩි විස්සක් පමණ තිබෙන්නට හැර පෙරා පානය කළ යුතුය. මෙසේ පානය කිරීමෙන් කල්ගතවූ කැස්ස ඉතා ඉක්මනින් සුව කරගත හැකිය. 

ඇස් ආශ්‍රිතව ඇතිවන රෝග සුව කරයි. විශේෂයෙන් මෙහිදී ඇස් වල ඇතිවන දැවිල්ල, ඇස් කැසීම, ඇස් රතුවීම මෙන්ම ඇස්වලින් කඳුළු හා කබ ගැලීම වැනි ඇස් ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සඳහා මොනරකුඩුම්බිය ප්‍රත්‍යක්ෂ ඔසුවකි. මේ සඳහා මොනරකුඩුම්බිය මුල් තම්බා ගත් ජලයෙන් ඇස් සහ මුහුණ නිතර නිතර සේදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. 

සුදු කබර සුව කරයි. මේ සඳහා මොනරකුඩුම්බිය ඇට තල තෙල් වලින් අඹරා සුදු කබර පවතින ස්ථානවල දිනපතා ආලේප කළ යුතුය. එමගින් ක්‍රම ක්‍රමයෙන් මෙම රෝගය සුවපත් වී ශරීරයේ පැහැය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. 

කිහිලි හා ඉකිලි වල ඇතිවන කැසීම් තත්ත්වයන් සුව කරයි. කිහිලි සහ ඉකිලි වල යම් යම් හේතු සාධක නිසාවෙන් කැසීම් තත්වයන් ඇති වේ. මේ තත්ත්වය අහිතකර ක්ෂුද්‍ර ජීවී වර්ධනයක් නිසා ඇතිවිය හැකි අතර එම ස්ථානවල පුස් වැනි තත්ත්වයක් දැකගත හැකිය. මේ සඳහා මොණරකුඩුම්බිය පැළෑටි, වියලි පොල් හා කළුදුරු මිශ්‍රකර හොඳින් අඹරා එම ආලේපනය පුස් සහිත ස්ථානයේ ආලේප කළ යුතුය. පැය තුනක් පමණ තිබෙන්නට හැරීමෙන් අනතුරුව පිරිසුදු ජලයෙන් සෝදා හැරීම මගින් මෙම තත්ත්වය සුව වී යනු ඇත. මෙම ප්‍රතිකාරය දිනකට දෙවරක් පමණ සිදු කළ යුතුය. 

කුෂ්ඨ රෝග සුව කරයි. ශරීරයේ ඇතිවන කුෂ්ඨ වලට ඉක්මන් සුවයක් ලබා ගැනීම සඳහා මොනරකුඩුම්බිය භාවිතා කළ හැකිය. මේ සඳහා මොණරකුඩුම්බිය කොළ තලතෙල් සමග අඹරා සාදාගන්නා ආලේපනය මදක් රත් කර ගත යුතුය. එය රස්නය සහිතවම කුෂ්ටය පවතින ස්ථානයේ ආලේප කිරීමෙන් සුවයක් ලබාගත හැකිය. 

ශරීර ශක්තිය වඩවයි. ශරීරයේ ශක්තිය ඇති කිරීමටත්  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටත් මොනරකුඩුම්බිය ශාකයට ඇත්තේ සුවිශේෂී හැකියාවකි. මොණරකුඩුම්බිය කොළ වලින් සකස් කරගනු ලබන කසාය කිරි සමග මිශ්‍ර කර පානය කිරීමෙන් මෙසේ ශරීර ශක්තිය වර්ධනය වනු ඇත. එමෙන්ම ශරීරය පැහැපත් කර ගැනීම සඳහා ද මෙම ඔසුව වඩාත් යෝග්‍ය වේ. 

ඉහත දක්වා ඇති කරුණුවලට අනුව පැහැදිලි වන්නේ සෑම ගෙවත්තකම පාහේ වගා කිරීමකින් තොරව වැඩෙන මොනරකුඩුම්බිය ශාකය ඖෂධීය වශයෙන් ප්‍රයෝජන රැසක් අත්පත් කර දෙන වටිනා ඔසු පැළෑටියක් බවයි.