ඇදුම කියන රෝගය පිළිබඳව ඔබ ඕනෑ තරම් අසා ඇති. ඇතැම්විට ඔබ හෝ ඔබේ සමීපතමයෙක් ඇදුම් රෝගය නිසා පීඩා විදිනවා ඇති. ඇතැම් අයෙක් ඇදුම රෝගයේ මූලික අවධිය ගත කරමින් ඇති. මේ සැමදෙනාටම ඉතා වැදගත් වන දැනුවත් විය රෝගයක් වන නිසා අද අපි කතා කරන්නේ මේ ඇදුම රෝගය පිළිබඳව. සැබැවින්ම මේ රෝගය අද සමාජයේ ඉතා සුලබයි.ඒ වගේම එහි තියෙන බරපතලකම ඉතා ඉහළයි. ශ්‍රී ලංකාවේ මිලියනයක් පමණ ඇදුම රෝගීන් සිටිනවා.ඒ අතුරින් ළමුන්ගෙන් 25% ක් ද වැඩිහිටියන්ගෙන් 10% ක් ද ඇදුම රෝගයෙන් පෙළෙන බවයි සඳහන් වෙන්නේ.වැළදුණු පසුව නිට්ටාවටම සුව කරන්නට නොහැකි වුණත් නිසි වෛද්‍ය උපදෙස් පිළිපැදීමෙන් මේ රෝගය යම් මට්ටමකට පාලනය කර ගන්නට පුළුවන්. ඇතැම්විට නොසලකා හැරීමෙන් මරණය පවා සිදුවෙන්නට හැකි මාරාන්තික රෝගයක් තමයි ඒ ඇදුම රෝගය.
ස්වාසනාලය ඇතුළත ඉදිමීම සහ නිපදවෙන සෙම නිසා ස්වසන මාර්ගය අවහිර වීම නිසා ඇතිවන මේ තත්ත්වය ඕනෑම වයසේ අයෙකුට වැළදෙන්නට පුළුවන් තත්ත්වයක්. මේ තත්ත්වය ඇතිවෙන්නේ ස්වසන මාර්ගය ආසාදනයට ලක්වීමෙන්. විශේෂයෙන්ම අප හුස්ම ගන්නා විට වායු ගෝලයේ පවතින දුම් දූවිලි විස ආදී සියල්ලම ස්වාසනාලය ඔස්සේ පෙනහළු තුළ තියෙන කුඩා වායු කුටි තුළට ගමන් කර ඔක්සිජන් අවශෝෂණය කරගෙන කාබන්ඩයොක්සයිඩ් වායුව ප්‍රාශ්වාස වාතය මගින් පිට කරනවා. ඔක්සිජන් ඇතුළුව පෙනහළුවලට ඇතුළුවන අනෙකුත් විෂබීජ නිසා ස්වසනාලය ආසාත්මිකතාවන්ට ලක් වෙනවා.
මේ අසාත්මිකතාවය නිසා මේ ඉන්ද්‍රිය තුළ යම් රසායනික ක්‍රියාවලියක් සිදුවෙනවා. ඒ අනුව ස්වසන මාර්ගය ආසාදනය වී අධික ලෙස ශ්ලේෂමල නැත්නම් සෙම ශ්‍රාවය කරනු ලබනවා.මේ ශ්ලේශ්මල ශ්‍රාවයේදී ස්වසන මාර්ගය අවහිර වී අභ්‍යන්තර ස්වසන මාර්ගයේ සෛලමය ස්ථරය ඉදිමීමට ලක්වෙලා නිසි ලෙස පෙනහළුවලට වාතය ගමන් කරන්නට ඇති ඉඩකඩ අහුරා දමනවා.එවිට වාතය එහා මෙහා ගමන් කිරීමෙන් හුස්ම ගන්නට පහසු වෙනවා. මෙසේ ඇතිවන තත්ත්වය ඇදුම විදියට හඳුනා ගනු ලබනවා.
ඇදුම රෝගය වැළදීමට බලපාන හේතු

- ජානමය හේතු
- දේශගුණික වෙනස්වීම
- යම් අයෙක් සීතල දේශගුණයක සිට වියළි දේශගුණයකට යාමත්, වියළි දේශගුණයක සිට සීතල දේශගුණයක් ඇති ප්‍රදේශයකට යාමත් නිසා මේ ඇදුම රෝගය ඇතිවෙන්නට පුළුවන්.
- සීතල ආහාර ලබා ගැනීම
- රාත්‍රියේ ස්නානය
- නිතර නිතර ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිකාර නොගැනීම.
- පරිසර දූෂණය
- සුරතල් සතුන්ගේ, ටෙඩිබෙයාර් වගේ සෙල්ලම් බඩුවල ලොම් ශ්වසන පද්ධතියට ඇතුල් වීම
- දුවිලි දුම්
- දිගුකාලීන පීනස හා ගැස්ට්‍රයිටීස්
- ආහාර කල්තබා ගැනීමට යොදන රසකාරක හා වර්ණකාරක
ඇදුම රෝගයේ රෝග ලක්ෂණ

- රූං ශබ්දය සමඟ ඇතිවන හුස්ම ගැනීමේ අපහසුතාවය.
- නමුත් මේ ලක්ෂණය මතුවීමේදී රෝගය බොහෝ දුර ගිහින් තිබෙන්නට හැකියි. ඒ නිසා නොනවතින කැස්ස ආදී තත්ත්වයන්වලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.ඔබට නිශ්චිතවම වැළදී ඇත්තේ ඇදුම රෝගය ද යන්න එයින් නීර්ණය කරගන්නට පුළුවන්.
- සෙම සහිත කැස්ස හෝ වියළි කැස්ස
- කිවිසුම් යාම
- උගුරේ සෙම පැටලීම
- කතා කිරීමේ අපහසුතාවයක් දැනීම
- තොල් සහ නියපොතු අව පැහැයක් ගැනීම
- වෙහෙස වී වැඩ කිරීම අපහසුවීම
- පපුවේ තද ගතිය
- හෘද ස්පන්දනය වේගවත් වීම
- ඇදුම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා
- සෑම දරුවෙකුටම මව්කිරි ලබාදීමෙන් කුඩා කාලයේදී ඇතිවිය හැකි ඇදුම රෝගය වලක්වා ගන්නට පුළුවන්.
- දුම්පානය කරන්නන් අසල සිටීමෙන් වැළකීම.
- තමන් පරිහරණය කරන ඇද ඇතිරිලි, ඇදුම් පැලදුම්, දූවිලි ඉවත් කර නිතර පිරිසිදුව තබා ගැනීම
- උදෑසන අවදීවීම සහ නිදි වැරීමෙන් වැළකී සිටීම.
- උදෑසන සීතල ආහාර ගැනීමෙන් වැළකීම.
- රාත්‍රී කාලයේදී ස්නානය නොකිරීම.
- සෙම අධික අයෙක් නම් දියේ ගිලී නෑමෙන් වැළකීම.
- දුම් පානයෙන් වැළකීම
ඇදුම රෝගය සඳහා ප්‍රතිකාර

- සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට හෙම්බිරිස්සා ආසාදනයකින් ඇතිවන ඇදුම රෝගය බොහෝදුරට දරුවා වැඩෙද්දි සුව වෙනවා. නමුත් ජානමය හේතු මත වැළදෙන ඇදුම රෝගය නිදන්ගත රෝගී තත්ත්වයක් බවට පත් වෙන්නට ඇති ඉඩකඩ වැඩියි. නිදන්ගත හෝ නිදන්ගත නොවන කුමන අවස්ථාවකදී වුණත් වෛද්‍ය නිර්දේශ සහිතවයි ඖෂධ ලබාගත යුත්තේ.
- ඖෂධ ලබා ගැනීමේදී රෝගය මර්දනය වෙලා සති 2 කින්, මාසයකින් මාස 6 කින් නැවත මතු වෙන්නට පුළුවන්. ඒ නිසා වෛද්‍යවරයාගේ අනුමැතියෙන් තොරව ඖෂධ භාවිතය නතර කළ යුතු නැහැ.
- අතුරු ආබාධ අඩු වඩාත් සාර්ථකම ප්‍රතිකාරය ඖෂධ අභ්‍යන්තරයට ලබාගැනීමට වඩා උරණ බෙහෙත (inhaler ) භාවිතයයි. ඒ එහෙත් ඉන්හේලරය ඔස්සේ ආශ්වාස කිරීමේදී බෙහෙත් ඍජුවම ස්වසන පද්ධතියේ ස්ථරයට පමණක් ගමන් කිරීම නිසා සිරුරේ රුධිර සංසරණ පද්ධතියට ඇතුළු නොවී ක්ෂණිකව ක්‍රියාත්මක වී ප්‍රතික්‍රියා දක්වනවා. මේ බෙහෙත් ආශ්වාස කර කට සෝදා ගැනීමෙන් ශරීර අභ්‍යන්තරයට උරා ගැනීම අවම වී ආබාධ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු වෙනවා. ඒ නිසා වඩාත් ආරක්ෂිතම ක්‍රමය වන්නේ මේ ඉන්හේලර භාවිතය බවයි වෛද්‍ය මතය.
- ඒ වගේම ඇදුම් රෝගීන්ට සුදුසුම ව්‍යායාමය වෙන්නේ පිහිනීම. ඒ වගේම ඇදුම රෝගීන් ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, රට කජු වැනි ආහාරවලින් ඉවත්වීම සුදුසුයි. මේ ආහාර ඇදුම රෝගය උත්සන්න කිරීමට සමත් වන නිසාවෙන්.
- ඇදුම රෝගයට නිසි ලෙස ප්‍රතිකාර ලබාගනිමින් කටයුතු නොකිරීම නිසා ශරීරය කෙට්ටුවීම, දරුවන්ගේ වර්ධනය බාලවීම වගේම උත්සන්නවීමෙන් මරණය පවා ඇතිවෙන්නට පුලුවන්. ඒ නිසා මුලීක රෝග ලක්ෂණ මතුවීමේදීම වෛද්‍ය උපදෙස් පැතීමයි ඉතා සුදුසු වන්නේ.