දේශීය ශාකයක් වන අට්ටික්කා හෙවත් දිඹුල ශාකයේ කවුරුත් නොදත්  ඖෂධීය ගුණ 

health tips

මීටර් 30 ක්  පමණ උසට අතු බෙදී වැඩෙන දේශීය ශාකයක් ලෙස අත්තික්කා ශාකය 

හඳුනාගත හැකිය. එනම් ගංගා, ඇළ, දොළ ජලාශ ආශ්‍රිත ප්‍රදේශවල හොඳින් වැඩෙන ඖෂධීය ගුණයෙන් අනූන අට්ටික්කා නොයෙක් ප්‍රදේශවල උදුම්බර, දිඹුල් යන ආදී නම් වලින් ද හඳුන්වනු ලබයි. 

එනම් Moraceae නම් උද්භිද කුලයට අයත් අට්ටික්කා ශාකයේ ළපටි අතුවල සහ රිකිලිවල සුදු පැහැති සියුම් බූවක් දැකගත හැකි අතර පත්‍ර ඒකාන්තරව පිහිටි සරල පත්‍ර වේ. එනම් එම පත්‍ර ඉලිප්සාකාර සිට උප අණ්ඩාකාර වේ. කඳ මත සහ අතු වල පොකුරු ලෙස ඵලවන් පුෂ්ප මංජරී හටගනී. එනම් එහි ඇතුළත බිත්තියෙහි වර්ග තුනකින් යුත් ඒක ලිංගික පුෂ්ප පිහිටා ඇති අතර එම පුෂ්ප මංජරියේ පහළින් පිහිටා ඇති කුඩා සිදුරෙන් පිවිසෙන කුඩා  කෝඳුරුවන් වැනි සතුන් මගින් පරාගණය වී අට්ටික්කා ගෙඩි හට ගනී. එනම් අට්ටික්කා ගෙඩි ඉදුණු පසු රතු පැහැයෙන් යුතුවේ. 

එනම් අට්ටික්කා ප්‍රභේද තුනක් හඳුනාගත හැකිය.  

උදුම්බර

නදී උදුම්බර

කාකෝ උදුම්බර 

ලෙස එම  ප්‍රභේද හඳුනා ගත හැකිය. එනම් අට්ටික්කා ශාකය ආයුර්වේදය තුල බොහෝ රෝග සමනය කිරීම සඳහා ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ. එනම් අත්තික්කා ශාකයේ ගෙඩි, මල් ,පොතු, මුල් ආදී සියලු කොටස් ඖෂධීය ගුණයෙන් අනූන වේ.

අට්ටික්කා ශාකයේ ඖෂධීය ගුණ භාවිතය 

රුධිරය පිරිසුදු කිරීම සඳහා

ශරීරගත අපිරිසිදු රුධිරය පිරිසුදු කරගැනීමට අට්ටික්කා මඟින් ඖෂධයක්  සකස් කර ගත හැකිය. එනම් ඒ සඳහා ළපටි අත්තික්කා ගෙඩි ගෙන මැටි මුට්ටියකට දමා එහි වතුර පත අටක් දමා පත අට එකට සිඳ  උදේ සවස පත භාගය බැගින් පානය කිරීම හෝ අත්තික්කා ළපටි කොළ මැල්ලුම් සකස් කර  ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

මුඛ රෝග සඳහා

පීඩා ගෙන දෙන මුඛ රෝග සඳහා එනම් 

මුඛ දුර්ගන්ධය, විදුරුමස් දියවීම ආදී  රෝග සඳහා අත්තික්කා කෂාය කර භාවිතා කිරීම යෝග්‍යවේ.

දියවැඩියාව ඇති වීම පාලනය කිරීම සඳහා

දියවැඩියාව හෙවත් රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා 

අත්තික්කා ඇට චූර්ණය මී පැණි සමඟ මිශ්‍ර කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එමෙන්ම ඈත අතීතයේ සිටම අත්තික්කා මුලක් කපා එයින් බැස එන ජලය පානය කිරීමද දියවැඩියාව ඇති වීම වළක්වා ගැනීමට උපකාරී වේ.

අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් සඳහා

අත්තික්කා ගෙඩිවල යුෂ පානය කිරීම මගින් අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් සමනය කරගත හැකිය. එනම් අත්තික්කා වල අඩංගු සිසිල් කාරක ගුණය ගැස්ට්‍රයිටිස්  නිසා ඇතිවන උදරගත දැවිල්ල සමනය කිරීම සිදු කරයි.  එමෙන්ම ඉන් ගැස්ට්‍රයිටිස් ඇති වීම වළක්වා ගත හැකිය. මේ සඳහා හොඳින් පැසුණු අට්ටික්කා ගෙඩි කිහිපයක් ගෙන බ්ලෙන්ඩර් කර අවශ්‍ය පමණට වතුර, ලුණු,සීනී මිශ්‍ර කර එම යුෂ පානය සකස් කර ගත හැකිය.

රක්ත ප්‍රදරය සඳහා

රක්ත ප්‍රදරය සුවකර ගැනීම සඳහා ඖෂධයක් ලෙස ඉදුණු අත්තික්කා ගෙඩි කොටා එහි යුෂ ගෙන එයට මී පැණි එකතු කොට පානය කිරීම හෝ  අත්තික්කා ගෙඩි කසායක් ලෙස සකස් කර පානය කිරීම ගුණදායකය. 

චර්ම රෝග සඳහා

සම මත ඇතිවන දද, කුෂ්ට, තුවාල සුව කර ගැනීම සඳහා අට්ටික්කා දළු අඹරා ආලේප කිරීම මෙන්ම අත්තික්කා කොළ තම්බා ගත් වතුරෙන් සෝදා හැරීම යෝග්‍ය වේ. 

මේ හැරුණු කොට

ඉදිමුම් සහ වේදනාවන්ට

ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝගයන්ට

පාචනයට

ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝගයන්ට

මුත්‍රා රෝගයන්ට 

ශුක්‍ර මෝචනයට

අතිසාරයට

අර්ශස් රෝගයට

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට අට්ටික්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එමෙන්ම අට්ටිකා ඈත් අතීතයේ සිටම විවිධ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට ද බහුලව භාවිතා කර තිබේ. ඒ අතර 

උදුම්බර පැණිය

උදුම්බර ගණ සාරය

උදුම්බර තෛලය 

යන ඖෂධ සුවිශේෂී වේ. 

මීට අමතරව අට්ටික්කා ළපටි ගෙඩි ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගත හැකිය. 

කෙතරම් ඖෂධීය ගුණයෙන් යුක්ත වුවද යම් රෝගයකට ඖෂධයක් ලෙස අට්ටික්කා ශාකය යොදා ගන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් සුදුසුවේ. 

05/09/2022-ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කරන අට්ටික්කා ශාකයේ ඖෂධීය ගුණ.