කොතරම් ගුණදායක පලතුරු අවට වටපිටාවේ තිබුණත් ඒවා අපිට අගයක් නැහැ. සොබාදහමෙන් දායාද කර දීපු මේ වගේ පලතුරු අතරින් නිරන්තරයෙන්ම අවතක්සේරුවට ලක්වෙන වැඩි දෙනෙක් ආහාරයට ගන්නට රුචිකත්වයක් දක්වන්නේ නැති පලතුරක් තමයි බිලිං. තරමක තද ඇඹුල් රසයක් අන්තර්ගත වෙන නිසාම පලතුරක් විදියට ආහාරයට ගන්නට බොහෝ අය කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ වගේම මේවා තරමක් උෂ්ණ ගතියකින් යුක්තයි. ඒ නිසා කොතරම් ඵලදාව හටගත්තත් ඒවායින් නිසි ලෙස ප්‍රයෝජනයට ගන්නට අපි උනන්දු වෙන්නේ නැහැ. නමුත් බලන්නකො බිලිංවල මේ තරම් ගුණයක් තියෙන බව ඔයා දැනගෙන හිටියද කියලා.
මේ බිලිං පලතුරේ නිජභූමිය විදියට සදහන් වෙන්නේ පිලිපීනය. ලෝකය පුරාම ප්‍රසිද්ධියක් උසුලන්නේ නැති පලතුරක් වුණාට ගුණය අතින් ගත්තහම රෝග බොහොමයකටම ගුණදායක වන ආහාරයක් විදිහටම සලකන්න පුළුවන්. විටමින් බී , විටමින් සී, යකඩ, පොස්පරස් වගේම ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මේ පලතුර විවිධ වූ ඉවුම් පිහුම් කටයුතු සඳහා භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි 94% ක්ම අන්තර්ගත වෙන්නේ පෝෂණීය ජලය. ප්‍රතිශක්ති, ප්‍රතිජීවක, ප්‍රති ආසාත්මික සහ ප්‍රතිඔක්සිකාරක ගුණවලින් ද ඉතාම පොහොසත්.
පලතුරක් විදිහට ආහාරයට ගන්නට වගේම බිලිං ගෙඩි භාවිතා කරලා විවිධ ව්යන්ජන වියන්ජන, චට්නි වර්ග, අච්චාරු වර්ග, රසකැවිලි වගේම බීම වර්ගත් සකසා ගන්න පුළුවන්. මේවායේ අඩංගු වෙන ඇඹුල් ස්වභාවය අඩු කරගන්නට හුණු මිශ්‍ර කරන ලද ජලයේ හෝ ලුණු කහ මිශ්‍ර ජලයේ තබා තියනවා.

ඒ වගේම මේ බිලිං ගෙඩිවල දෙපැත්ත කපා ලුණු දැමූ ජලයේ පැය 12ක් ගිල්වා තබා ගෙන රත්කර ගත් සීනි ද්‍රාවණයක වරින්වර දින කිහිපයක් තබා ගැනීමෙන් වියළි මිදි වගේ රසකැවිල්ලක් සකසා ගන්නත් පුළුවන්.
බිලිං වාරයේදී ලපටි බිලිං ගෙඩි ලුණු දමා තම්බා විටින් විට එකතු වන ජලය ඉවත් කර වියළා ගැනීමෙන් අවාරයේදී රතු ලූණු, කරපිංචා, කෑලි මිරිස් ආදිය දමා රසවත් තෙම්පරාදුවක් සකසාගෙන ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම ඉස්සර කෙසෙල් ඉදවීම සඳහා බිලිං කොළ භාවිතයට ගැනුණා.
ඒ හැරුනහම පාරම්පරික වෛද්‍ය විද්‍යාව තුළ බිලිං ගසේ කොළ, මල් සහ ගෙඩි භාවිතා කරන සකස් කරන ලද ඖෂධ වට්ටෝරු ගැන සඳහන් වෙනවා. විශේෂයෙන්ම විවිධ චර්ම රෝග. කම්මුල්ගාය, කක්කල් කැස්ස ,සිපිලස් ආදී රෝග සඳහා ප්‍රතිකාර කරන්නට මේ ශාකය භාවිතයට අරගෙන තියෙනවා.
වසවිස නැති සොබාදහමෙන් අපට ලබා දීපු මේ අපූරු ආහාරය අපිට සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන්නට උදව් වෙනවා.
බිලිං ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- උදරයට හිතකරයි.
- උණ රෝගය සඳහා ගුණදායකයි.
- අර්ශස් රෝගය සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගන්නවා.
- දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
- සමේ ඇතිවන කැසීම් ඉදිමුම් ආදී විවිධ රෝග තත්ත්වයන්වලට එරෙහිව ප්‍රතිචාර දක්වනවා.
- සමේ ඇති කුරුලෑ ලප කැළැල් දුරුකර දීප්තිමත් සහ තරුණ පෙනුමක් ලබා දෙනවා.
- නිරක්තිය දුරු කරනවා.
- දේහ බර පාලනයට උපකාරී වෙනවා.
- උගුරේ ඇතිවන ආසාදන, කැස්ස, උල්ලෝගම් ආදිය සුවපත් කිරීමට උදව් වෙනවා.
- මාංශපේශීවල වේදනා දුරු කරනවා.
- කම්මුල්ගායට සහනය සලසනවා.
- මළබද්ධය දුරු කරනවා.
- අස්ථිවල සහ දත්වල සෞඛ්‍ය ආරක්ෂා කර දෙනවා.
- ආතරයිටීස් රෝගය ඇතිවීම වළක්වා රෝගය පාලනය කරනවා.
- අධි රුධිර පීඩනයට හිතකරයි.
රෝග සඳහා අත් බෙහෙත් කිහිපයක්

කැස්ස සඳහා-මහදුරු ඇට කිහිපයක්, බිලිං ගෙඩි තුනක් සහ සීනි එකතු කර නටන උණු වතුරේ හොඳින් තම්බා ගෙන පැය කිහිපයක් වාෂ්ප වෙන්නට ඉඩ හරින්න. ඉන්පසුව මේ මිශ්‍රණයෙන් හරි අඩක් බැගින් භාජන දෙකකට දමා එක් කොටසක් උදෑසන හිස් බඩ පානයට ගන්න. ඉතිරි කොටස සන්ධ්‍යා කාලයේදී පානයට ගන්න.
දියවැඩියාව සදහා– දියවැඩියා රෝගියෙක් නම් බිලිං ගෙඩි හයක් පමණ ගෙන තලා වතුර වීදුරුවක් පමණ එකතු කර හොඳින් නටවා නිවාගෙන දවසට දෙවරක් පානයට ගන්න.
කුරුලෑ සදහා-කුරුලෑ ඉතා ඉක්මනින් සුව කරන්නට බිලිංවල ඇති ආම්ලික බව හේතු වෙනවා. බිලිං ගෙඩියකින් කුඩා කැබැල්ලක් කපාගෙන ආසාදනය ඇති වුණු ස්ථානයේ තබා විනාඩි කිහිපයකින් පසුව ඒ ස්ථානය පිරිසිදු ජලයෙන් සෝදා හරින්න.
සන්ධිවල ඇතිවන වේදනාවන් සඳහා-බිලිං කොළ මිටක් පමණ ගෙන ජලය සමග අඹරා මිශ්‍රකර වේදනාව සහිත සන්ධියේ දිනකට දෙතුන් වතාවක් ආලේප කරන්න.
මාංශ පේශිවල ඇති තද ගතියට බිලිං කොළ මිටකට බිලිං ගෙඩියක්, සුදු ළූණු බික් 10-15 ක් සහ විනාකිරි ස්වල්පයක් එකතු කර හොඳින් අඹරා මිශ්‍රණයක් ලෙස සකසා ගන්න. ඉන්පසු එය මාංශ පේශිවල තද ගතිය ඇති ස්ථානවල ආලේප කරන්න.
දත්වල අවපැහැය දුරුකිරීමට-බිලිං ගෙඩියක් දෙකක් හොඳින් හපා දත් බුරුසුවකින් හොඳින් දත් මැදීමෙන් දත්වල ඇති අවපැහැය දුරු කරගන්න පුළුවන්. ඒ වගේම දත් කැක්කුමටත් බිලිං ගෙඩියක් කපා වේදනා සහිත ස්ථානයේ තබා ගැනීමෙන් සහනය සලසා ගන්න පුළුවන්.
පාදයේ කටුවක් ඇනුණු විට-බිලිං ගෙඩියක් උණු අළු පල්ලේ තම්බා ගෙන කටුව ඇති ස්ථානයේ තබා බැඳ ගැනීමෙන් කටුව ඉවත් කර ගන්න පුළුවන්.
ගහ පිරෙන්න හැදෙන බිලිං අපිට අගේ නැති වුණාට හරිම ගුණදායක ආහාරයක් . ඒ නිසා ආහාරයට නොගෙන ගස් යට වැටී කුණු වෙන්නට ඉඩ නොහැර මේ ගුණදායක ආහාරය ඔබේ නිරෝගී බව උදෙසා ආහාරයට එකතු කරගන්න.