මලබද්දය සුව කරන ආයුර්වේද සත්කාර 7 ක්

health tips

ස්ත්‍රී පුරුෂ භේදයකින් හෝ වයස් භේදයකින් තොරව වැළඳෙන රෝගී තත්ත්වයක් ලෙස
මලබද්ධය හඳුනාගත හැකිය. මෙම රෝගයේ දී ප්‍රධාන වශයෙන්  සිදුවන්නේ බඩ වේලීම සහ මලපහ කිරීමට අපහසු වීමයි. මලබද්දය බහුලව වැඩිහිටියන්ට වැළඳෙන අතර ඊට අමතරව කුඩා දරුවන්ට සහ ගැබිනි මව් වරුන්ට ද වැළඳීමේ ඉහළ ප්‍රවණතාවක් පවතී.

මල බද්ධය රෝගය වැළඳුණු පුද්ගලයකුට තමන්ගේ දෛනික වැඩකටයුතු නිසි පරිදි සිදු කර ගැනීමට ඇති හැකියාව වළක්වාලනු ඇත. එමඟින් පුද්ගලයා අපහසුතාවයට පත්වන අතර දැඩි පීඩනයක් ද ඇතිවේ.

මල බද්ධය රෝගී තත්ත්වය දිගුකාලීන මෙන්ම කෙටිකාලීන ද විය හැකිය. එනම් යම් පුද්ගලයෙකුට සති දොළහකට වඩා වැඩි කාලයක් මෙම රෝගී තත්ත්වය පවතින්නේ නම් එය දිගුකාලීන මල බද්ධය වේ. එමෙන්ම සති 12 ට වඩා අඩු කාලයක් තුලදී මෙම රෝගය සුව වන්නේ නම් එය කෙටිකාලීන මලබද්ධය වේ.

මෙම රෝගී තත්ත්වය ඇති වීම සඳහා හේතු සාධක කීපයක්ම බලපානු ලබයි.

  • නොසැලකිලිමත් ආහාර රටාවන් සහ කෘතිම ආහාරපාන වෙත යොමුවීම.
  • තන්තුමය ආහාර පාන ආහාර වේල් වලට එකතු කර නොගැනීම.
  • දියරමය ආහාර සහ ජලය ශරීරයට ප්‍රමාණවත් පරිදි ලබා නොගැනීම.
  • දෛනික ආහාර ලබා ගැනීමේ රටාවන් වල වෙනස්කම් සිදුවීම.
  • දේශගුණික මට්ටම් වල වෙනස්කම් සිදුවීම සහ ජීවත්වන පරිසරය වෙනස් කිරීම.
  • ඡීවන රටාව තුළ අධික කාර්යබහුල බවක් පැවතීම.
  • ප්‍රමාණය ඉක්මවා ආහාර ගැනීමට පුරුදු වී සිටීම.
  • මානසික රෝගවලින් පීඩා විඳීම.
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව යම් යම් රෝගී තත්ත්වයන් පැවතීම සහ අම්ල පිත්ත රෝගයෙන් පීඩා විඳීම.යනාදී හේතු සාධක පදනම් කරගනිමින් මල බද්ධය ඇති වේ.

මෙම රෝගී තත්ත්වය වැළඳුණු විට රෝග ලක්ෂණ කීපයක් හඳුනාගත හැකිය.

  • දිනපතා මලපහ පිටවීම සිදුනොවන අතර සතියට දෙතුන් වතාවක් පමණක් එම අවශ්‍යතාවය ඇතිවීම.
  • දැඩි පීඩනයක් සහිත ව තැටමීම හරහා මල පහ පිට කිරීම.
  • ගුද මාර්ගයේ අවට ප්‍රදේශය හිර ගතියක් සහ තද ගතියක් දැනීම.
  • ඝනකමින් යුක්ත කැටිති සහිතව මලපහ පිටවීම.
  • මලපහ පිට කිරීමෙන් අනතුරුව වුවද එම කර්තව්‍යය අසම්පූර්ණ බවක් ඇතිවීම.
  • මලපහ අතින් ඉවත් කිරීමට පවා සිදු වීම.
  • මලපහ පිට කිරීමේදී අධික වේදනාවක් ඇතිවීම සහ ගුදය ආශ්‍රිත ප්‍රදේශ ඉරීමකට ලක්වීම.
  • බඩ පුරවා දැමීම. 
  • මුහුණ සහ සම දුර්වර්ණ වී අඳුරු පැහැයක් ගැනීම.
  • හිසේ කැක්කුම ඇතිවීම.
  • සම මතුපිට කැසීම් ඇති වීම සහ එම ප්‍රදේශයේ පලු ඇතිවීම.
  • ශරීරයේ තුනටිය සහ හන්දිපත් වල වේදනාවක් ඇතිවීම.
  • පුද්ගලයා තුළ නොසන්සුන් බවක් ඇතිවීම.ආදී වශයෙන් එම රෝග ලක්ෂණ ඉදිරිපත් කළ හැකිය.

මලබද්ධය ඇතිවීම සඳහා ශරීරයේ ඇති වෙනත් රෝගාබාධ ද බලපානු ලබයි. ඒ අනුව  තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු, දියවැඩියා රෝගයෙන් පීඩා විඳීම, පිළිකා වැළඳී තිබීම, කැල්සියම් හා පොටෑසියම් ඌනතාවයන් ගෙන් පෙළීම, බඩවැල් ආශ්‍රිතව ඇති වන ගැටලු, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු, මානසික ගැටළු ආදී වශයෙන් ශරීරයේ ඇතිවන වෙනත් ලෙඩ රෝග නිසාවෙන් සහ ඒවා සඳහා භාවිතා කරන ඖෂධ නිසාවෙන් මලබද්ධය තත්ත්වය ඇතිවිය හැකිය.

ඉහත දක්වා ඇති ආකාරයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම හෝ ඒ සඳහා ඇති ස්වභාවික පිළියම් වෙත යොමුවීම අතිශයින්ම වැදගත් වේ. විශේෂයෙන් මෙහිදී මල බද්ධය රෝගය වැළඳුණු අයකු තමන්ගේ ජීවන පුරුදු සහ ආහාර රටාවන් රෝගයට ගැළපෙන ආකාරයට වෙනස් කරගත යුතුය.

මළබද්ධය සමනය කර ගැනීම සඳහා ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග පහක් තිබේ. ඒවා වන්නේ

Food containing vitamin C. Healthy eating. Top view
  • විටමින් සී
  • විටමින් බී – 1
  • විටමින් බී – 5
  • විටමින් බී – 9
  • විටමින් බී -12

ආදී වශයෙනි. මෙම විටමින් වර්ග ඖෂධ මගින් ශරීරයට ලබා ගැනීමට වඩා අප එදිනෙදා ගනු ලබන ආහාර වේල් වලට මෙම විටමිනයන් අන්තර්ගත ආහාර පාන එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.

විශේෂයෙන් විටමින් සී අප ගනු ලබන ආහාර හොඳින් ජීර්ණය කිරීමට පහසුව සලසනු ඇත. ඒ අනුව විටමින් සී බහුලව අන්තර්ගත එළවළු හා පලතුරු අපගේ දෛනික ආහාර වේල් සඳහා එක් කරගැනීමෙන් මල බද්ධය රෝගය වළක්වා ගත හැකිය.

විටමින් බී – 1 යනු තයමින් වේ. මෙම විටමිනය ද ආහාර ජීර්ණය සම්බන්ධ ගැටලු රැසක් සමනය කරන අතර ඒ සඳහා මෙම විටමිනය මගින් නිපදවන හයිඩ්‍රොක්ලෝරික් සමත් වේ. මේ සඳහා සෝයා, බෝංචි, අබ හා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගත හැකි අතර ඒවායෙහි මෙම විටමිනය අඩංගු වේ.

පැන්තොතෙනික් අම්ලය විටමින් බී – 5 ලෙස හඳුන්වයි. මෙම විටමිනය අන්තර්ගත ධාන්‍ය වර්ග, පීකුදු, හතු වර්ග, මාළු වර්ග, චීස් ආදිය දෛනික ආහාර වේලට එක්කර ගැනීමෙන් මල බද්ධය රෝගය වළක්වා ගත හැකිය.

ෆෝලික් අම්ලය විටමින් බී – 9 ලෙස හඳුනාගන්නා අතර බත් ,කැරට් ,දොඩම්, පෙයාර්ස්, කැරට් ආදී වශයෙන් ෆෝලික් අම්ලය අඩංගු ආහාර එදිනෙදා ආහාරයට එකතු කර ගැනීම මගින් ද මලබද්ධය වළක්වා ගත හැකිය.

විටමින් බී – 12 අඩංගු ආහාරපාන භාවිතයෙන් ද මල බද්ධය රෝගය වළක්වා ගත හැකිය. ඒ අනුව බිත්තර, කිරි, කිරි මිශ්‍ර ආහාර වර්ග, ඇපල් ආදිය ආහාරයට ගැනීම ගුණදායක වේ.

ඊට අමතරව තන්තු අධික ආහාර පාන බහුලව ආහාරයට එක්කර ගැනීමත් වැඩිපුර ජලය පානය කිරීමත් මෙම රෝගය වළක්වා ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වේ.

මල බද්ධය රෝගය වළක්වා ගැනීම සඳහා ආයුර්වේද ප්‍රතිකාරද රැසක් පවතී. එම ප්‍රතිකාර නිසි පරිදි ඉටු කිරීම මගින් ද මෙම රෝගයට සහනයක් ලබාගත හැකිය. ඉන් ප්‍රතිකාර කීපයක් පහත පරිදි වේ.

  • අරළු කලං එකහමාරක් උක් හකුරු ද මිශ්‍ර කර කොටා උදෑසන හිස් බඩට පානය කිරීම යෝග්‍ය වේ.
  • වියළාගත් නෙල්ලි කළං 6 ක් ගෙන එයට වතුර පත හතරක් දමා පත දෙකට සිදුවා මීපැණි මිශ්‍රකර පානය කිරීම යෝග්‍ය වේ.
  • හොඳින් ඉදුණු බෙලි සූකිරි සමඟ ආහාරයට ගැනීම සුදුසු වේ.
  • හොඳින් ඉදුණු රටඉඳි වල ඇට ඉවත් කර ඇල් ජලයට මිශ්‍රකර රැයක් පොඟවා පසුදින උදෑසන ආහාරයට ගැනීම සුදුසු වේ.
  • දෙහි යුෂ උණුවතුරට දමා ඊට මී පැණි ද මිශ්‍ර කර පානය කිරීම සුදුසු වේ.
  • නිවිති කොළ හොඳින් කොටා යුෂ වෙන්කර ඊට වතුර ද එක්කර පානය කිරීම යෝග්‍ය වේ.
  • හොඳින් වේලා ගන්නා ලද මහදුරු ඇට කුඩුකර උණුවතුරට දමා පසුව පෙරා පානය කිරීම යෝග්‍ය වේ.
  • පලතුරු යුෂ වලට එඬරු තෙල් තේ හැන්දක් පමණ මුසුකොට පානය කිරීම ද සුදුසු වේ.

මේ ආකාරයට විවිධ ප්‍රතිකර්ම ඔස්සේ මලබද්ධය වළක්වා ගැනීමට කටයුතු කළ හැකිය. ඒ කෙසේ නමුත් අපගේ දෛනික ආහාර පුරුදු සහ ජීවන රටාවන් යහපත් අන්දමින් වෙනස් කර ගැනීම මගින් ද මෙම රෝගයට සුවයක් සලසා ගත හැකිය.