සෙම්ගෙඩි සුව කරන ආයුර්වේද ප්‍රතිකාර 18 ක්

health tips

සෙම්ගෙඩි කියන්නේ කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් නිතර ඇතිවන ආසාදන තත්ත්වයක්. සෙම් ගෙඩි නමින් හඳුන්වන්නේ මුඛ කුහරයේ පිටුපස වන්නට උගුරේ පිහිටා ඇති වසා ගැටිති. මුඛයෙන් ශරීරයට ඇතුළු වන විශබීජ පෙරණයක් විදියට ක්‍රියා කරන මේ ග්‍රන්ථීන් ආසාදනයට ලක්වීමෙන් ඉදිමීමකට ලක්වෙනවා.එවිට උගුරේ වේදනාව, ගිලීමේ අපහසුතා, උණ, බෙල්ල දෙපස රතුවීම ආදී ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.මේ සෙම්ගෙඩි ප්‍රදාහය සෙම නිසා හෝ වෙනත් රෝගයක් නිසා හෝ විශබීජයක් නිසා ඇතිවෙන්නට පුළුවන්. හේතුව කුමක් වුණත් නිතර නිතර සෙම්ගෙඩි ප්‍රදාහයන් ඇතිවීම භයානක තත්ත්වයන් ඇති කරන්නට හේතුවෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.  

සෙම්ගෙඩි ඉදිමීම් තත්ත්වයන් නිතර ඇතිවීම නිසා ඒ විෂබීජය සන්ධි වෙත ගමන් කිරීමෙන් සන්ධි ඉදීමීම් තත්ත්වයන් නිසා රුමටොයිඩ් උණ වගේම සැරව ගෙඩි  ඇතිවීම, හෘදයේ කපාට දුර්වල වීම ආදී නොයෙක් තත්ත්වයන් ඇති වෙන්නට බලපානවා. ඒ නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා සිදුකළ හැකි ආයුර්වේදමය ප්‍රතිකාර පිළිබඳව දැනුවත්ව සිටීම ඔබට ඉතා වැදගත් වේවි. අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ සෙම්ගෙඩි ඉදිමීම නිසා දැනෙන අපහසුතාවය මගහරවා ගෙන ඒවා සුවපත්භාවයට පත් කරගන්නට උපකාරී වන සරල පිළියම් පිළිබඳවයි.

  • සෙම්ගෙඩි ආසාදනය වෙන්නට දවසකට පමණ පෙර අපිට උගුරේ වේදනාවක් වගේම ගිලීමේ අපහසුතාවයක් දැනෙනවා. ඒ වගේ අවස්ථාවක මේ සරල ප්‍රතිකාර නිවසේදීම කිසිදු වියදමක් නැතිව කර ගැනීම තුළින් ඉතා ඉක්මනින් සෙම්ගෙඩි ආසාදනයන් සුව කරගන්නට ඔබට පුළුවන්.
  • උදේ සවස උණු වතුරට ලුණු දමා උගුර සෝදන්න 
  • හීන් නාරංවලට ගම්මිරිස් ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් මිශ්‍රකර උගුරේ ආලේප කර සෙම ඉවත් කරන්න. ඉන්පසුව උණු වතුරෙන් උගුර සෝදා මද රස්නය ඇති උණුවතුර ස්වල්පයක් පානය කරන්න.
  • ඇඹුල් දොඩම් යුෂවලට සීනි එකතු කර බීමක් ලෙස සකසා පානය කිරීම 
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ ලුණු කුඩු ස්වල්පයක් මද උණුසුම් සහිත ජලයේ දියකර උගුර සේදීම. මේ බෙහෙත් වතුර භාවිතයෙන් පැය 4 න් 4ට සෙම්ගෙඩි ප්‍රදාහය සුව වනතුරුම උගුර සේදීමට මතක තබා ගන්න. මෙය උගුරේ ඇති බැක්ටීරියා ආසාදනය විනාශ කර සහනයක් ලබා ගන්නට බෙහෙවින් උපකාරී වෙන සත්කාරයක්.
  • නිල් කට්රොළු මුලක්, මුරුංගා පොත්තේ සිවියක්,  නික මුලක් යන ද්‍රව්‍ය සම ප්‍රමාණවලින් අරගෙන හොඳින් සෝදා තම්බා ගන්න.පසුව මේ පානයට මී පැණි ස්වල්පයක් මිශ්‍රකර උදේ සවස අඩු කෝප්ප භාගය බැගින් පානය කරන්න.
  • සූදුරු හෝ කළුදුරු ග්‍රෑම් 80 ක් , විස්කි මේස හැදි 1 ක් සහ පිරිසිදු පානීය ජලය මිලි ලීටර් 250 ක් සපයා ගෙන මුලින්ම වතුර මිලි ලීටර් 200ක් භාජනයකට දමා ගන්න. එයට සූදුරු හෝ කළුදුරු ග්‍රෑම් 80 එකතු කර හොඳින් තම්බා ගන්න. තැම්බුණු පසුව ලැබෙන තරමක් කළු පැහැයට හුරු ඝන මිශ්‍රණය පෙරා එයට ඉතිරි ජලය මිලි ලීටර 50 එකතු කර ඒවා හොඳින් නටවා ගන්න. පසුව මේ භාජනය ලිපෙන් ඉවත් කර විස්කි මේස හැන්දක්  එකතු කර කලවම් කරගන්න. මේ සාදාගත් ඔසු පානය සෑම විනාඩි 30 ට වරක්ම මේස හැන්ද ගානේ පානය කළ යුතුයි. මේ ආකාරයට පැය දෙකක් මේ පානය ලබා ගත්විට ඉතාම ලොකු සහනයක් ලබා ගන්නට පුළුවන්. මෙය පැය 4 ක් පුරාවට විනාඩි 30 න් 30ට පානය කිරීමෙන් සියලුම රෝග ලක්ෂණ පහවෙලා යනවා.
  • මී ගසේ අරටුව මී පැණියෙන් අඹරා දිනපතා උදේ සවස සෙම් ගෙඩි වැළදී ඇති ප්‍රදේශයේ ආලේප කරන්න. 
  • වැල්මී, තිප්පිලි, වියළි ඉඟුරු, සහිද ලුණු සමව ගෙන මී පැණියෙන් අඹරා සෙම් ගෙඩිවල දිනපතා උදේ සවස ආලේප කරන්න.
  • සර්ව විෂාදී තෙල් අමු ඉඟුරු යුෂ සමඟ කලවම් කර සෙම් ගෙඩිවල දිනපතා ආලේප කරන්න.
  • සර්ව විෂාදී තෛලය උගුරේ පිටතින් ආලේප කර බුලත් කොළයක් පොල්තෙල් පහනින් රත්කර උගුර තවන්න.
  • කබලේ බැදගත් ගම්මිරිස් ඇට මී පැණියෙන් අඹරා සෙම්ගෙඩි සහිත ප්‍රදේශයේ ආලේප කරන්න.
  • ගම්මිරිස් ඇට, ඉඟුරු කෑලි , ලුණු ඇට, ගොරකා සමාන ප්‍රමාණවලින් පිරිසිදු රෙදි කැබැල්ලකට දමා ගන්න. එය පොට්ටනියක් සේ සකසා ගෙන උගුර සමීපයේ ඇති දත්වලින් සෙමින් සපන්න. එවිට මේ ද්‍රව්‍යන්වල යුශ උගුරට ගමන් කිරීමෙන් ආසාදන තත්ත්වය ඉතා ඉක්මනින් අඩුවී සහනයක් ලබා ගන්නට පුළුවන්.
  • කිරි වීදුරුවක් ගෙන එයට කහකුඩු සහ ගම්මිරිස් කුඩුමේස හැදි භාගය බැගින් දමා කලවම් කර නින්දට පෙර සෙමෙන් පානය කරන්න.
  • ඇඹරැල්ලා ගසේ පොතු, වියළි ඉඟුරු  ගම්මිරිස්, තිප්පිලි, ලුණු ආදිය සමාන ප්‍රමාණවලින් ගෙන ඒවාට නස් නාරං යුෂ එකතු කර උගුර ඇතුළේ ආලේප කර සෙම ඉවත් කරන්න.
  • ඉද්ද කොළවලට දොඩම් යුෂ එකතු කර අඹරා උගුරේ බාහිරින් ආලේප කරන්න.
  • මද උණුසුම් ජලය වීදුරුවකට දෙහි බෑයක යුෂ හා ලුණු ස්වල්පයක් දමා එයට මී පැණි තේ හැදි 2 ක් එකතු කර කලවම් කර දිනකට දෙවරක් පානය කරන්න.
  • භාගෙට ඉදුණු ගස්ලබු ගෙඩියක් ආහාරයට ගන්න.
  • ඇඹුල් දොඩම් යුෂ හා ඉඟුරු යුෂ සමාන ප්‍රමාණවලින් ගෙන එයට මී පැණි දමා කලවම් කර දිනකට තුන් වරක් තේ හැන්ද බැගින් පානය කරන්න.

සෙම්ගෙඩි කියන්නේ අපිට නිවසේදීම ඉතා ඉක්මනින් සුවකර ගන්නට හැකි රෝග තත්ත්වයක්. ඒ සඳහා ඉහත සඳහන් කළ මේ ප්‍රතිකාර ඔබට වඩා වැදගත් වේවි. නමුත් නිතර නිතර සෙම්ගෙඩි ඉදිමීම නිසා පීඩාවට පත් අයෙක් නම් වෛද්‍යවරයෙකු හමුවට යා යුතුමයි.