මුඛයේ ඇතිවෙන දුඟධ නැති කරන ආයුර්වේද පිළියම් 6 ක්

health tips

ප්‍රාශ්වාසයේ හෝ මුඛයේ අප්‍රසන්න දුර්ගන්ධයක් හැමීම වෛද්‍ය විද්‍යාවේදි ‘හැලිටෝසිස් ‘(halitosis) ලෙස හඳුනාගන්නා තත්වයකි. මෙය ආයුර්වේදයේ ‘මුඛදුර්ගන්ධි’ තත්වය ලෙස හඳුන්වනු ලබයි. බොහෝ විට මුඛයේ හා මුඛයේ-නොවන ගැටලු තත්වයන්ගේ බලපෑමින් .මෙය වර්ධනය විය හැකියි.කෙසේවෙතත් හඳුනාගෙන ඇති මෙවැනි ගැටලු අතරින් 90%කට හේතුව මුඛය ආශ්‍රිත ගැටලු බව පෙනී යයි.මුඛ සනීපාරක්ෂාව පවත්වාගැනීම මුඛයේ නීරෝගි බවට ඉතා වැදගත් බව ආයුර්වේදයේ ඉස්මතු කර පෙන්වා ඇති කරුණකි.බොහෝ ආයුර්වේද ග්‍රන්ථ වල ‘ප්‍රතිසරණ’ (විදුරුමස් හා දත් සම්බාහනය), ‘දන්තධාවන’ (දත් මැදීම) වැනි ක්‍රියාකාරකම් දන්ත සෞඛ්‍ය පවත්වාගැනීමට ප්‍රතිලාභ දෙන බව සඳහන් වේ. ‘කවල’ හා ‘ගන්දුශ’ වැනි තෙල් ඉරීමේ උපක්‍රම (oil pulling techniques) හැලිටෝසිස් තත්වයට ප්‍රතිකාර කෙරෙන ප්‍රධාන ක්‍රම දෙකක් ලෙස දැක්වේ.

වඩාත් බහුල හේතු: බැක්ටීරියා ආසාදන,දත්මුල් ඉදිමීම (gingivitis) වැනි විදුරුමස් රෝග,දුර්වල මුඛ සනීපාරක්ෂාව,GERD හෙවත් අම්ල ප්‍රතිවාහ රෝග (උගුරට ඒම),ටොන්සිල්දාහය හෙවත් සෙම්ගෙඩි ඉදිමීම (tonsillitis), මුඛයේ වියළිබව, මුඛ හෝ නාසයේ පිළිකා,නාසයේ, පෙනහළු තුළ හෝ උගුරේ ආසාදන තත්වයන් හේතුවෙන්. දියවැඩියාව, sjogren’s syndrome වැනි ස්වයං ප්‍රතිශක්ති රෝග වලින් පෙළෙන පුද්ගලයින් තුළ ද මුඛ දුර්ගන්ධය වැනි ලක්ෂණ මතුවිය හැකිය.

ආහාර ජීර්ණය ඇරඹෙන්නේ මුඛ කුහරය තුළින් නිසා නිතර මුඛය පිරිසිදුව පවත්වාගැනීමට සැලකිලිමත් විය යුතුයි. නැතිනම් ආහාර අවශේෂ වල බැක්ටීරියා ගහණය අධිකව වී මුඛ දුර්ගන්ධය හැමීමට පටන්ගත හැකිය. මුඛ කුහරයට අයත් දිව,උගුර,දත්,තොල්, මුඛ ආස්තර (කොපුල්) හා විදුරුමස් හොඳින් පිරිසිදු කරගත යුතුයි.

මුඛ දුර්ගන්ධය හෙවත් හැලිටෝසිස් තත්වයට ආයුර්වේදයේ සිදුකෙරෙන ප්‍රතිකාර

‘දට්‍ටුනා’- උදෑසන හා ආහාර ලබාගැනීමෙන් පසු කෝ‍ටු කැබැල්ලක් සැපීම හෝ දත් මැදිම මුඛය පිරිසිදු කරගැනීමට උපකාරී වන ක්‍රමයකි.කොහොඹ, වැල්මී,කරඳ,නික හා කුඹුක් වැනි ශාක වල නැවුම් කෝ‍ටු කැබලි යොදාගනියි.දත් මැලියම් ඉවත්කිරීම, දත්මුල් ඉදිමීම වැළැක්වීම,දත් කුහර හා විදුරුමස් රෝග වැළැක්වීම මෙන්ම මුඛ දුර්ගන්ධයට ප්‍රතිකාර කිරීම වැනි ප්‍රතිලාභ ලබාදෙයි.

‘ජීව නිර්ලේඛන’- දිව සූරා පිරිසිදු කිරීමයි. කෝ‍ටු වලින් දත් පිරිසිදු කළ පසු සිදුකරයි.තඹ,රන් හෝ රිදී වලින් සැකසූ දිව සූරන උපකරණ (tongue scrapers)  හෝ ඖෂධීය ශාක වල අතු වලින් සැකසූ ඒවා භාවිත කරයි.ආමාශ ගින්න ප්‍රවර්ධනය කරමින් ආහාර ජීර්ණ පද්ධතිය උත්තේජනය කරවයි.දුගඳ ඇතිවීමට හේතුවන මුඛ කුහරයේ අධික බැක්ටීරියා ගහනය දුරුකරයි.දිවේ රස සංවේදන උත්තේජනය කරයි.ජීර්ණ ස්‍රාවය ප්‍රවර්ධනය කර ආහාර ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරවන නිසා මුඛ දුර්ගන්ධය ඇතිවීම බොහෝ දුරට වළකයි.

‘ගන්ධුෂ හා කවල’- ගන්ධුෂ ප්‍රතිකාරයේදී ඖෂධීය දියර වර්ග වලින් සම්පූර්ණයෙන් මුඛ කුහරය පිරවීම සිදුකෙරේ.ස්‍රාවය ඇස් හෝ නාසයෙන් නිකුත් වන තුරුම මේවා මුඛයේ රඳවාගෙන සිටීමට නියම කෙරෙයි.කවල ප්‍රතිකාරයේදී ඖෂධ මිශ්‍රණය හෝ දියරය යම් මාත්‍රාවකින් මුඛයට ඇතුල්කරයි.යම් වෙලාවක් පුරා කට තුළ ඒවා කළතවා කෙළ ගැසීමට උපදෙස් දෙයි. මද උණුසුම් වතුර, මී පැණි, තෙල් හෝ එළකිරි බහුලව භාවිත කෙරේ.

කලාඳුරු,කුඹුක්,නෙල්ලි,අරළු හා ඖෂධීය ගිතෙල් කසාය ලෙස සකසා කවල ප්‍රතිකාරයේදී භාවිත කරයි. ගන්ධුෂ දිනපතා අනුගමනය කිරීමෙන් මුඛයේ ඉදිමුම,දිවට පිළිකුල් රසක් දැනීම,දුර්ගන්ධය , අමුතුබව දුරුකරයි.තෙල් වර්ගයකින් මෙම ප්‍රතිකාරය කිරීම දත් වේදනාව, මුඛයේ වියළිබව, තොල් පැලීම, දන්ත සංවේදීතාව,දත් හැලීයාම වළකයි.මුඛයේ නැවුම්බව වැඩිකරයි.

‘ප්‍රතිසරණ’-තෙල් හෝ මී පැණි මුසු කළ කුඩු හෝ ඖෂධ මිශ්‍රණ වලින් දත් හා විදුරුමස මෘදුව සම්බාහනය කිරීමයි.දත් මැලියම්, ආහාර කොටස් හා බැක්ටීරියා දුරුකරයි.අරළු,බුළු,නෙල්ලි සංයෝගය,තිප්පිලි, වියළි ඉඟුරු හා කලු ගම්මිරිස් මේ ප්‍රතිකාරයට භාවිත කෙරේ.

මුඛ දුර්ගන්ධය දුරුකරන ආයුර්වේද ඖෂධ

කුරුඳු-කසට ගුණයෙන් මෙන්ම මිහිරි සුවඳකින් යුතු ඖෂධීය කුළුබඩුවකි.ඇට මිදුළු, ප්ලස්මා හා ස්නායු පටක ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි.මේවායේ පොතු වල දිලීරනාශක හා බැක්ටීරියානාශක ගුණ බහුලයි. මුඛ දුර්ගන්ධය දුරුකිරීමට කුරුඳු හොඳ පිළියමක් වන්නේ ද ඒ නිසයි.බඩපිපුම, ප්‍රදාහය හා අපහසුතා සමනය කරන ගුණ මෙන්ම ආහාර ජීර්ණය වැඩිදියුණු කරන, උත්තේජක, පැසවීම වළකන හා සෙමහරණ ගුණ බහුලයි.මේ නිසා මුඛ දුර්ගන්ධයට බලපෑ හැකි ආමාශ ආන්ත්‍රික රෝග සමනයට උපකාරී වේ.ඔක්කාරය,වමනය, දත් කැක්කුම, පේශි ආතතිය, ඔසප් වේදනා හා පරිවෘත්තිය දුර්වලතා වලට ගුණදායකයි. ආහාර වලට එක්කරගැනිමට අමතරව කසාය හෝ තැම්බූ වතුර මුඛ සේදුම් දියරයක් ලෙස භාවිත කළ හැකියි.

කරදමුංගු-ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි.ස්නායු, ශ්වසන හා රුධිර සංසරණ පද්ධති නීරෝගි කරයි.ඔක්කාරය, පාචනය, බඩේ අපහසුතා වලට හා උගුරට එම සමනය කරයි.තැම්බූ වතුර හෝ කසාය මුඛ සේදුම් දියරයක් ලෙස භාවිත කිරීම , කිරි සමඟ මුසු කර හෝ කුඩු ලෙස පරිභෝජනයට ගත හැකියි.

කොහොඹ-තිත්ත අධික වුවත් කොහොඹ වල බොහෝ ඖෂධීය ගුණ අඩංගුයි. ශ්වසන, රුධිර සංසරණ , ආහාර ජීර්ණ මෙන්ම මූත්‍රා පද්ධති නීරෝගි කරයි.වෛරසනාශක,වේදනානාශක,පරපෝෂීආසාදන වළකන හා රුධිරය පිරිසිදු කරන ගුණ බහුලය.ජෝන්ඩිස් (ඇස් හා සම කහවීම),ස්ථූලතාව,සි‍ෆිලීස්, ප්‍රදාහය හා මැලේරියාවට ප්‍රතිකාර කිරීමේදි ඵලදායිය.විෂබීජනාශක ගුණ ඇති නිසා මෙම කෝ‍ටු දත් පිරිසිදු කිරීමට ද යොදාගනියි.තැම්බූ වතුර, ඖෂධීය තෙල් හෝ ගිතෙල් සමඟ, කසාය වශයෙන් හෝ කුඩු ලෙස ද භාවිතයට ගත හැකියි.

වදකහ-ප්‍රතිදේහජනක, වාතහරණ හා උත්තේජක ගුණ බහුල වදකහ මූත්‍රා, රුධිර සංසරණහා ආහාර ජීර්ණ පද්ධති වල නීරෝගීබව වැඩිදියුණු කරයි. ප්‍රදාහක බඩවැල් රෝග, ජෝන්ඩිස්,දියවැඩියව, ව්‍රණමය පුරිතන්දාහය හෙවත් ulcerative colitis රෝගය, පොතුකබර (psoriasis) හා ඇස් වල වේදනාව සමනය කරයි. රෝග සුවකිරීම ගුණය මෙන්ම තුවාල, තැලුම්, පේශි පෙරළුම් හා කැක්කුම් වේදනා අඩුකරයි.දත්මුල් ඉදිමීම, දත් කුහර ඇතිවීම, මුඛ දුර්ගන්ධය ඇතුළු ගැටලු වලට හොඳ ප්‍රතිකාරයකි. කහ වලින් විදුරුමස් සම්බාහනය කිරීම දත් වේදනාව හ ඉදිමුම අඩුකරවයි.

තල-අර්ශස්,දුරාර්තවය (dysmenorrhea),මලබද්ධය,පිලිස්සුම්,ගොනෝරියා,අතීසාරය,අක්ෂි ගැටලු හා අනාර්තවය (amenorrhea) වැනි  ගැටලු තත්වයන් සුවපත් කරයි.තල තෙල් වලින් ගන්ධුෂ ප්‍රතිකාරය කිරීම තොල් පැලීම, මුඛයේ අප්‍රසන්න දුගඳ, දත් දිරායාම හා උගුරේ වියළිබව වැනි ගැටලු වලට සහනය සලසයි. කසාය,ඖෂධීය තෙල්, කුඩු, පේස්ට් වශයෙන් භාවිතයට ගත හැකියි.

අරළු,බුළු හා නෙල්ලි යන ත්‍රිපලා චූර්ණය, ඉඟුරු,කහ,අමුක්කරා,වැල්මී,තිප්පිලි,නෙල්ලි ඇතුළු ඖෂධ අඩංගු ‘කුමාරභරණ රස’, කලාඳුරු,අරළු,බුළු, නෙල්ලි හා වියළි ඉඟුරු මුසු ‘නාගරාදී ක්වාත’ වැනි ආයුර්වේද ඖෂධ මුඛ දුර්ගන්ධය දුරුකිරීමට ප්‍රතිකාර ලෙස භාවිත වේ.

නිතිපතා ඔබේ මුඛය පිරිසිදුව තබාගන්න. දුම්වැටි හා මත්පැන් පානය වැනි පුරුදු වලින් ඈත්වන්න. ඉන් ඔබේ මුඛයේ වියළිබව හා විදුරුමස් රෝග වර්ධනය වීමට ඇති අවදානම ඉහළ යා හැකිය. මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න