කට අරද්දී එන ඉවසිය නොහැකි දුගඳය දුරු කරන ස්වභාවික සත්කාර 4 ක්

health tips

මුඛය ආශ්‍රිතව ඇතිවන විදුරුමස් දියවීම, විදුරුමස්වලින් ලේ  ගැලීම, මුඛ දුර්ගන්ධය කියන රෝග තත්ත්වයන් අද බහුතරක් දෙනා අතර දකින්නට ලැබෙන ගැටළු. විශේෂයෙන්ම මුඛ දුර්ගන්ධය කියන්නේ  වැඩි දෙනෙක් කතා කරන්නට මැලිකමක් දක්වන ගැටළු.  මුඛයේ දුගඳ නිසා තම හිතවතුන් ඉදිරියේ ඔබට අපහසුතාවයට  පත් වෙන්නට සිදු වෙනවා. මේ මුඛ දුර්ගන්ධය මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඇතිවන විවිධ ගැටළු නිසා හෝ මුඛය නිසිලෙස පිරිසිදු නොකිරීම හෝ ලබා ගන්නා යම් යම් ඖෂධ යන කාරණා නිසා ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම අපි  ගන්නා ඇතැම් ආහාර නිසා වගේම ආමාශයේ ගැටළු,  දේහ උෂ්ණත්වය ආදිය හේතුවෙන් පවා මේ මුඛ රෝග ඇති වෙනවා. 

ඒ හැරුණාම මුඛ දුර්ගන්ධය ඇතැම් විට පිළිකා , අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයක් නිසා ඇති වෙන්නටත් පුළුවන්. හේතුව කුමක් වුණත් පිරිස අතරින් කොන් වෙන්නට හේතු වෙන මේ මුඛ දුර්ගන්ධය දුරු කරගත යුතු වෙනවා.  ඒ සඳහා අපේ චර්යාවේ වගේම ආහාර රටාවේ යම් යම් වෙනස්කම් ඇති කරගත යුතු වෙනවා. ඒ වගේම මේ සඳහා සාර්ථක ප්‍රතිඵල  ගත හැකි අත් බෙහෙත් පවා තියෙනවා. ඔන්න අපි අද කියන්න යන්නේ මුඛ දුර්ගන්ධයට වගේම මුඛයේ ඇතිවන උෂ්ණ බිබිලි, පණු  ගෙඩි වගේම විදුරුමස් දියවීම, විදුරුමස්වලින් ලේ ගැලීම ආදි මුඛ රෝග කිහිපයකටම එක සේ ගුණදෙන අපූරු අත් බෙහෙත් කිහිපයක් පිළිබඳව.

ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් සකසා  ගත හැකි මේ දන්තාලේපය සහ සේදුම් දියර  දවසේ ඕනෑම වේලාවක භාවිතා කිරීමේ හැකියාව වගේම ඕනෑම පුද්ගලයෙකුටත් භාවිතා කිරීමේ හැකියාවත්  පවතිනවා.නමුත් මේවා  නිවැරදිව සකසා ගැනීම ඉතා වැදගත් වෙනවා. 

1. අවශ්‍ය  ද්‍රව්‍ය 

  • වෙනිවැල්ගැට 
  • නෙල්ලි 
  • රණවරා මල් 
  • වසාවාසි 
  •  සිද්ධි ඉඟුරු

මේ බෙහෙත සාදා  ගැනීමට ගත යුත්තේ වියළි ඔසු බව මතක තබා ගන්න.මේ අත් බෙහෙත සැකසීම සඳහා මුලින්ම මැටි භාජනයකට පොල් කටු කිහිපයක් පුළුස්සා අඟුරු සකසා ගත යුතු වෙනවා.  වෙනිවැල් ගැට කැබලි තරමක් ඝන නිසා ගින්දර  තිබියදීම වෙනිවැල් ගැට පුළුස්සා ගත යුතුයි. පසුව මේ අනෙක්  ඖෂධ  වර්ග එකින් එක පොල් කටු අඟුරු මත තබා පුළුස්සා  ගත යුතුයි. නමුත් මේ  පුළුස්ස ගන්නා ඖෂධ පොල් කටු අඟුරු සමඟ  කලවම් නොවීමට වග බලා ගන්න අවශ්‍යයි. මොකද පොල් කටු අඟුරු මිශ්‍ර වීමෙන් දිව තොල් පැලීයන්නට ඉඩකඩ තියෙන නිසා. මේ ඖෂධ හොඳින්ම පිළිස්සුණු  පසුව  රස්නය සමඟම ඉවත් කරගෙන පිළිස්සුණු ඖෂධ පමණක් ඉවත් කර ගන්න. පසුව මේ ඖෂධ සියල්ල හොඳින් කොටා කුඩු වශයෙන් සකසා ගෙන බෝතල් කර භාවිතයට ගන්නට පුළුවන්.

මෙය දිනපතා  භාවිතයට සුදුසු දන්තාලේපයක්.  ඒ වගේම  මේ කුඩු එකතු කර ජලය  සමඟ  මිශ්‍ර  කරගෙන මුඛය සෝදා හරින්නටත් පුළුවන්. ඒ නිසා දිනපතාම නැතත් ඔබේ මුඛ සෞඛ්‍ය යහපත්ව තබා ගන්නට මෙය මාසයට දින කිහිපයක් පමණක් වුණත් භාවිතයට ගන්නට පුළුවන්.

2. අවශය  ද්‍රව්‍ය  

  • මූනමල් පොතු 
  • කරාබු නැටි 
  •  කරදමුංගු 
  •  පුවක් මුල් 

මේ ද්‍රව්‍ය සියල්ලම කොටා තම්බා ගෙන යුෂ ලබා ගන්න. පසුව මෙය මුඛය සේදීම සඳහා භාවිතා කරන්න. එමගින්  මුඛ දුර්ගන්ධය නසා මුඛ සෞඛ්‍ය රැක ගන්නට හැකියාව ලැබෙනවා.

3. අවශ්‍ය ද්‍රව්‍ය 

  • කුරුඳු කුඩු මේස හැදි 1 
  •  මී පැණි මේස හැදි භාගයක් 
  •  දෙහි ගෙඩි 2 

 කුරුඳු කුඩු සහ මී පැණි භාජනයකට දමා එයට උණු වතුර එකතු කර ගන්න. මී පැණි දියවන තුරු හොඳින් කලවම් කරගත් මේ ද්‍රාවණයට දෙහි ගෙඩි 2 ක යුෂ එකතු කර ගන්න. පසුව වැසිය  හැකි වීදුරු බෝතලයකට දමා මෙය ශීතකරණයේ තබන්න. මේ දියරයෙන් දිනපතාම මුඛය සෝදා හරින්න. මෙයින් දුගඳ සඳහා හේතුවන විෂබීජ නසමින් මුඛ සෞඛ්‍ය වර්ධනය කරනවා.

4. කරාබු නැටි කිහිපයක් තලා රාත්‍රියේදී වතුර වීදුරුවකට දමා උදෑසන හිස්බඩ පානය කරන්න මේ අත් බෙහෙත් භාවිතය වගේම මුඛයේ තෙතමනය පවත්වා ගන්නට දිනකට අවශ්‍ය තරම් ජලය පානය කිරීම, දේහය සිසිල් කරන ආහාර  ගැනීම, දවසට දෙවරක් දත්  මැදීම සහ දිව මැදීම මගින් මුඛය පිරිසිදුව තබා ගැනීම, මත් ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වීම,  නිසි වේලාවට ආහාර පාන ලබා ගැනීම ආදී කරුණු කාරණ ගැනත් සැලකිලිමත් වෙන්න.