වකුගඩුවලට හානිකරන නරක පුරුදු 9 ක්

health tips

අපි හැමෝටම අපිට ආවේණික වුණු විවිධාකාරයේ පුරුදු තියෙනවා. ඒවා අපේ ශරීරයට හිතකර වන්නත් පුළුවන් අහිතකර වෙන්නත් පුළුවන්. ඉතින් වකුගඩු කියන අපේ ශරීරයේ ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කරන අවයවයන් දෙක විනාශ කරන්න තරම් ඇතැම් විට අප සතු පුරුදු හේතුවක් වන්නට පුළුවන්. ඉතින් ඇතැම්විට ඔබටත් මේ පුරුදුවලින් එකක් හෝ කිහිපයක්  තියෙන්නට පුළුවන්. නමුත් ඒවා  ඔබේ වකුගඩුවලට හානිදායක විදියටයි බලපෑම් කරනු ලබන්නේ.  ඒ නිසාවෙන් එවැනි පුරුදුවලින් ඔබට ඈත් වෙන්නටම සිදුවෙනවා. වකුගඩු විනාශ කරන එවැනි නරක පුරුදු ගැනයි අද අපි ඔබ සමඟ කතා කරන්නේ.

  • නිතරම වේදනා නාශක පෙති භාවිතය අද සැමදෙනෙක්ම පාහේ ක්ෂණික සහනයක් ලබාදෙන වේදනා නාශක පෙති භාවිතයට පුරුදු වෙලා ඉන්නවා.විශේෂයෙන්ම   NSAID යන නමින් හඳුන්වන ඖෂධ පරිභෝජනය අඩුකළ යුතුමයි. සිරුරට අහිතකර මේ ඖෂධ ප්‍රමාණයට වඩා අධි මාත්‍රාවෙන් ලබා ගැනීමත් කුඩා ප්‍රමාණයක් දීර්ඝකාලයක් ගැනීමත් වකුගඩුවලට හානිදායකයි.  ඉතාම ආරක්ෂාකාරී ලෙස හඳුන්වන Tylenol නම්  පැරසිටමෝල් විශේෂයෙන් පවා  වකුගඩුවලට හානි සිදු වෙන්නට පුළුවන්.තද හිස කැක්කුමකදී නම් අයිස් කැටවලින් නළල තැවීම වතුර පානය කිරීම හෝ ශාරීරික ක්‍රියාකාරම් නිරත වීම ආදී විකල්ප වේදනා නාශක ගැනීමට වඩා බෙහෙවින් ආරක්ෂාකාරී පිළිවෙතත්.  
  • මුත්‍රා  පිට කිරීම කල්දැමීම යම් ශාරීරික අවශ්‍යතාවයක් සඳහා සංඥා ලබාදුන් විට එයට එවිගසම ප්‍රතිචර දැක්වීම අත්‍යවශ්‍ය  වෙනවා. අපට මුත්‍රා  පිට කිරීමේ  අවශ්‍යතාවය ඇති වූ විට එය කල්දමන්නේ නම් එය වකුගඩුවලට ඉතාමත් අහිතකර ලෙස බලපානු ලබනවා.විශේෂයෙන්ම එහි ඇති බැක්ටීරියා ක්‍රියාකාරී වීම මගින් නොසිතන දරුණු තත්වයන් ඇති වන්නට හැකි අතර මුත්‍රාශයේ මුත්‍රා  බොහෝ වේලාවක් රඳවා තබා ගැනීම නිසා වකුගඩුවලටත් අනවශ්‍ය පීඩනයක් එල්ල කරනු ලබනවා. ඒ නිසාවෙන් නිතරම ශාරීරික අවශ්‍යයතා කල්දැමීම හානිදායක පුරුද්දක් බව මතකයේ තබා ගන්න. 
  • ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම අපේ ශරීරයේ ඇති විෂ ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කරන වකුගඩුවලට ඒ කාර්යය සඳහා ජලය අත්‍යවශ්‍ය වෙනවා. ශරීරගත රුධිරයෙන් අපද්‍රව්‍ය ඇදගැනිමෙන් පසු ඒවා මුත්‍රා  ලෙස මුත්‍රාශයට මුදා හැරීම වකුගඩුවල මූලික කාර්යයක්. ඒ නිසා වකුගඩුවලට සිය රාජකාරිය කරන්නට අවශ්‍ය ඉන්ධනය වෙන්නේ ජලය. ඒ සඳහා ප්‍රමාණාත් තරම් ජලය නොලැබීම ඒ කටයුත්තට විශාල බාධාවක්. ඒ නිසා දිනකට අවශ්‍ය තරම් ජලය පානය කිරීමට පුරුද්දක් ඇතිකර ගත යුතු වෙනවා.
  • අධික ලුණු සහිත ආහාර පරිභෝජනය ආහාර මේසයේ අවශ්‍ය වූ විට ඉස ගැනීමට තබා ඇති ලුණු බෝතලය අපව බොහෝ ලෙඩරෝග කරා තල්ලූ කරන්නට හේතුවක් වෙනවා. ඒ නිසා  ආහාරවලට වැඩිපුර ලුණු එකතු කර ගැනීමත් ලුණු අධිකව යොදා සකස් කරන ලද මස් වර්ග බයිට්ස් වර්ග ආදියත් සීමා කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය mg  1500- 2000 තරම් ප්‍රමාණයක්. ඒ ප්‍රමාණය අපි ගනු ලබන ආහාරවලින් ප්‍රමාණවත්ව සැපයෙන නිසා ලුණු අධිකව පරිභෝජනය ඔබ අත්හල යුතුම වෙනවා.
  • ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම ශරීරයට කායිකව වගේම මානසිකවත් විවේකය අවශ්‍ය වෙනවා. නින්ද කියන්නේ අපේ ශරීරයට විවේකය ලබාදිය හැකි හොඳම ක්‍රමයක්. නින්දේදී  අපේ ශරීරයේ ගෙවීගිය පටක අලුත්වැඩියා විෂහරණ කටයුතු ඇතුළු බොහොමයක්  දෑ සිදු වෙනවා. ඒ කාර්යන් සඳහා ප්‍රමාණවත් නින්දක් අප විසින් ලබාගත යුතු වෙනවා. පුරුද්දක් වශයෙන් ප්‍රමාණවත්ව නිදා නොගන්නා අයෙක් නම් එය ඔබේ වකුගඩුවලට හානිදායක තත්ත්වයක් ඇති කරන්නට හේතු වෙනවා.
  • අධික ලෙස කැෆේන් අඩංගු පානයන් පරිභෝජනය අධිකව කැෆේන් පරිභෝජනය කිරීමට පුරුදු වීම  අධික රුධිර පීඩනය ඇතිවීම සහ  රුධිර නාලිකා ප්‍රමාණය කුඩාවීම මගින් වකුගඩු නරක් වෙන්නටත්  හේතුවක් වෙනවා. ඒ නිසා කෝපි පානය කරනවා නම් එය අධිකව නිතර නිතර පුරුද්දක් වශයෙන් නොගැනීමයි වඩා සුදුසු වන්නේ.
  • මත්පැන් පානය මත්පැන් අධිකව ලබා ගන්නට ඇබ්බැහි වුණු අයෙකුට වකුගඩුවලට හානි සිදුවීමේ සම්භාවිතය ඉතාමත් ඉහළ බවයි පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත්තේ. ඒ නිසා මේ පුරුද්ද නතර කර ගැනීමයි වඩාත්ම සුදුසුව න්නෙ. නමුත් එය නතර කළ නොහැකි නම් එය ඉදහිට ගැනීම වගේම ඉතා සුළු ප්‍රමණයකින් ගැනීමත් බීව වයින් වැනි සැර අඩු මත්පැන් වර්ග පමණක් ගැනීමත් වැදගත් . පසුව ක්‍රමයෙන් ප්‍රමාණය අඩුකර නතර කිරීම දක්වාම ගෙනයාම ලෙඩරෝග බොහොමයකින්ම වැළකීමට අපිට උදව් වෙනවා.
  • දුම්පානය දුම්පානය බොහෝදෙනෙක්ට අත් නොහැරිය හැකි පුරුද්දක් බවට පත්වෙලා. දුම්බීම මගින් වකුගඩුවල ඇති රුධිරනාලවල විශාලත්වය ප්‍රමාණයෙන් අඩු කිරීම සිදු වෙනවා. ඒ නිසා වකුගඩුවලට රුධිර සැපයුම  ක්‍රමයෙන් අඩු වෙනවා. මෙය ඉතාම බරපතල තත්ත්වයක්. ඒ නිසා වකුගඩු විනාශ කිරීමට හේතුවෙන් ඒ නරක පුරුද්ද ඔබ අත්හැරිය යුතුමයි.
  • අධි ප්‍රෝටීන ආහාර නිතර පරිභෝජනය අධික ලෙස ප්‍රෝටීන් අඩංගු ආහාර නිතර ගැනීම වකුගඩුවලට ඉතාම අහිතකරයි. අපි  බහුලව භාවිතා කරන සත්ත්ව ප්‍රෝටීන වකුගඩුවලට ඉතාමත් අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා. එයින් වකුගඩු කාර්යබහුල කරන අතර ඒවා අධි ක්‍රියාකාරී ලෙස පෙරා ඉවත් කරන්නට වකුගඩුවලට අවම වශයෙන් පැය 2 ක් හො 3 ක්  වැනි කාලයක් ගත වෙනවා. ඒ සඳහා අමතර ශක්තියක් වැය කරන්නටත් වකුගඩුවලට සිදුවෙනවා. එය වකුගඩුවලට වැඩි පීඩනයක් එල්ල කරනු ලබනවා.

මේ නරක පුරුදු හැරුණාම දියවැඩියාව නිසි පරිදි පාලනය නොකිරීම, අධික රුධිර පීඩනය, තරබාරුව යන කාරණා පවා වකුගඩුවලට ඉතාමත් හානිදායක ලෙස බලපෑම් කරනු ලබනවා. ඒ නිසා මේ කාරණා ඔබ පුරුද්දක් විදියට සිදු කෙරෙන දේවල් නම් ඒවා වහාම නතර කිරීම ඔබේ වකුගඩු නීරෝගීව තබා ගන්නට උපකාරී වෙනවා.