බේකිං සෝඩා සෑම නිවසකම වගේ තිබෙන දෙයක්.බේකිං සෝඩා වලින් ලැබෙන ප්‍රයෝජන ද රැසක් තිබෙනවා. බහුලවම ආහාර පිසීමේදී, පිරිසිදු කිරීම් කටයුතු වලදී මෙන්ම රූපලාවන්‍ය සත්කාර වලදී බේකිං සෝඩා භාවිතයට ගැනෙනවා. මේ ප්‍රයෝජන වලට අමතරව බේකිං සෝඩා කියන්නේ ඔබේ ගෙවත්තේ ආරක්ෂාවට භාවිතා කල හැකි හොඳ ප්‍රතිඵල ලබාදෙන අමුද්‍රව්‍යක්. බේකිං සෝඩා භාවිතා කරමින් ඔබේ ගෙවත්ත ආරක්ෂා කරගනිමින් ඔබේ පැළ වගාව නීරෝගී කරගන්නේ කොහොමද කියා අපි දැන් බලමු.
- පැළ ආශ්‍රිතව දිලීර ආසාදන තත්වයන් හටගැනීම වළක්වයි.

බේකිං සෝඩා භාවිතයෙන් පරිසර හිතකාමි ස්වභාවික ආකාරයකින් දිලීර මර්දනය කල හැකියි.බේකිං සෝඩා සමඟ සබන් සහා ජලය මිශ්‍ර කරමින් සාදාගත් දියරයක් භාවිතා කරමින් ඇතැම් පැළ වල, පඳුරු වල සහා පලතුරු ගස් වල හටගන්නා දිලීර ආසාදනයන් විනාශ කිරීමට හැකිය.මෙම දියරය ශාකයට හොඳින් ඉසගැනීමෙන් දිලීර පැතිරීයාම ඉක්මනින් වළක්වාගැනීමට හැකියි. නමුත්, රසායනික ද්‍රව්‍ය මෙන් නොව මෙය ස්වභාවික ක්‍රමයක් නිසා එහි ප්‍රතිඵල දක්නට ලැබෙන්නේ මද කාලයක් ගතවූ පසුවයි. දියරය ඉසීමෙන් පසු පත්‍ර ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි පරීක්ෂාකාරී වන්න. මෙම දියරය අධිකව ඉසීම නිසා ශාකයේ පත්‍ර වලට හා අනෙකුත් කොටස් වලට හානි සිදු විය හැකි බැවින් ප්‍රමාණය ගැන සැලකිල්ලක් දක්වන්න.
- පැළ වගාවට හානිකරන කුඩිත්තන් බෝ වීම අවම කරයි.

කුඩිත්තන් (aphids) යනු ගෙවත්තට හානිකරන ඉතා කුඩා කෘමීන් විශේෂයකි. ඔවුන් පැළ වල ළපටි කඳ කොටස් ආහාරයට ගැනීමට ඉතා ප්‍රිය කරනවා. ඔවුන් එසේ පැළ වල කඳ ආහාරයට ගන්නා විට යම් ඇලෙන සුලු ද්‍රව්‍යක් ශ්‍රාවය කරනවා. එම ශ්‍රාවයට කුහුඹුවන් ආකර්ෂණය වීම සිදුවන අතර එහිදී කලු පැහැති දිලීරයක් වර්ධනය වීමට හේතුවෙයි. මෙම දිලීරය ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියට බලපෑම් ඇතිකරවන අතර ශාකය රෝගී කරවීම සිදුකරයි. මෙවැනි දිලීර හටගත් විට පැළයේ හටගන්නා අලුත් අතු රිකිළි විකෘති ස්වභාවයක් ගන්නා අතර පැළයේ ශක්තිමත් බව තුරන් වී යාම සිදුවේ. බේකිං සෝඩා, සබන් සමඟ මිශ්‍රකර බෙහෙත් දියරයක් ලෙස ඔබේ ගෙවත්තේ ඇති පැළ වලට ඉසින්න. එමඟින් මෙම හානිකර කෘමී වර්ධනය වීම පාලනය කරමින් ගෙවත්තේ ඇති බෝග ආරක්ෂා කරගැනීමට හැකි වේ.
- කුහුඹුවන් පළවා හරින විකර්ෂකයක් ලෙස භාවිතා කල හැකියි.

බේකිං සෝඩා මඟින් කෘමින් මර්දනය කල හැකි බව මින් අවස්ථා දෙකකදීම සඳහන් වුණා. කුහුඹුවන්ගේ කරදරයට විසඳුමක් ලෙසත් බේකිං සෝඩා භාවිතා කල හැකියි. ඒ සඳහා හොඳ ඛනිජ පසකට බේකිං සෝඩා මිශ්‍රකිරීම සිදුකල යුතුයි. උදාහරණයක් ලෙස සාරවත් ඛනිජ පසක් වන ‘විකෝසා මිශ්‍රණය (Viçosa mixture)’ සමඟ බේකිං සෝඩා භාවිතා කල හැකියි. විකෝසා මිශ්‍රණයේ අඩංගු වන්නේ ජලය, කොපර් සල්ෆේට්, සින්ක් සල්ෆේට්,මැග්නිසියම් සල්ෆේට්,බෝරික් අම්ලය සහා සජල හුණු ය. මේ සඳහා යොදාගත හැකි තවත් පසක් වන්නේ ‘බෝර්ඩොක්ස් මිශ්‍රණයයි (Bordeaux mixture)’. එය ජලය,කොපර් සල්ෆේට් සහා සජල හුණු වලින් සමන්විත මිශ්‍රණයකි. මේ පස් මිශ්‍රණ දෙක සමඟ බේකිං සෝඩා ස්වල්පයක් මිශ්‍ර කර වගාවේ පසට එක්කිරීමෙන් කුහුඹුවන් මර්දනය කල හැකියි. මෙහිදී සිදුවන්නේ මෙම පොහොර සංයුතිය නිසා කුඩිත්තන්ගේ ශ්‍රාවය තවදුරටත් ඉව නොවැටීමෙන් ඒ කරා කුහුඹුවන් ආකර්ෂණය වීම නතර වී යාමයි.
- පසේ ගුණාත්මක බව මැනීමේදී බේකිං සෝඩා ඉතා ප්‍රයෝජනවත් වෙයි.

විශේෂඥයින් ගේ අදහසට අනුව සාරවත් පසක් යනු අධික ආම්ලිකතාවෙන් හෝ අධික ක්ෂාරීය බවින් යුක්ත නොවන පසකි. පසේ pH අගය සාමාන්‍යය අගයක් ගන්නා තරමට පලිබෝධ රහිත සාර්ථක අස්වැනක් ලබාගැනීමට හැකියාව ලැබේ. ඔබේ ගෙවත්තේ ඇති පස කුමන පසක් දැයි පරීක්ෂා කිරීමට පහත පියවර අනුගමනය කරන්න.
- රතු/දම් ගෝවා ගෙඩියක් ගෙන එය කුඩා කුඩා කොටස් වලට කපා උණු කර පෙරාගත් ජලයට දමන්න.
- මිනිත්තු 10ක් පමණ ගෝවා කැබලි පෙඟෙන්නට තබා කැබලි පෙරා වෙන්කරගනිමින් ජලය ඉවත් කරගන්න. එසේ ඉවත් කරගත් ජලය ‘pH neutral’ අගයක් ගනියි.
- කෝප්ප දෙකක් ගෙන ගෝවා ජලය වත්කරගන්න. ඉන් එක් කෝප්පයකට විනාකිරි එක්කරන්න(එහිදී ජලය තද රෝස පැහැයකට හැරීම සිදුවේ. එසේ වන්නේ ආම්ලිකතාව නිසයි). අනික් කෝප්පයට බේකිං සෝඩා එක්කරන්න (එහි වර්ණය නිල් හෝ කොළ පැහැයට හැරෙන අයුරු දැකිය හැකි වනු ඇත. එසේ වන්නේ බේකිං සෝඩා වල ඇති ක්ෂාරීය ගුණය නිසයි). මේවා පාලක වර්ණ වේ (‘control’ colours).
- දැන්, වෙනත් භාජන වලට ගෝවා ජලය හා ගෙවත්තේ ඇති පස් හැඳි එකක් හෝ දෙකක් බැගින් එක්කරමින් මිනිත්තු 30 ක් පමණ තිබෙන්නට හරින්න.
මෙම පරීකෂණයේ ප්‍රතිඵල ලෙස,
ජලය රෝස පැහැයට හැරුණේ නම් එම පස ආම්ලික (acidic) පසකි. ජලය නිල් හෝ කොළ පැහැයට හැරුණේ නම් එම පස ක්ෂාරීය (alkaline) පසකි. ජලයේ පැහැය දම් පැහැයෙන්ම ඉතිරි වූවා නම් ඔබේ ගෙවත්තේ ඇත්තේ හොඳම පසකි.
- හොඳ කොම්පෝස්ට් පොහොරක් සකසා ගැනීමට උපකාරී වෙයි.

පසේ pH අගය neutral, එසේත් නැතිනම් සාමාන්‍යය අගයක් ගැනීම ශාක වර්ධනයට වඩාත් හිතකර බව දැන් ඔබ හොඳින් දන්නවා. දැන්, අපි පසට හිතකර කොම්පෝස්ට් පොහොර සාදාගන්නා ආකාරය දැනගනිමු. කොම්පෝස්ට් පොහොර සඳහා ඔබේ නිවසේ මුළුතැන්ගෙයි භාවිතයෙන් ඉවත් කරන කාබනික ද්‍රව්‍ය (පලතුරු හා එලවලු වල පොතු හා කොටස් මෙන්ම ශාක කොටස්),කාඩ්බෝඩ්,කැඩුණු ගල් කැට, මස් කටු ඇතුලු ඉවතලන ද්‍රව්‍ය භාවිතා කල හැකියි. මේ කොම්පෝස්ට් පොහොරට බේකිං සෝඩා ද එක්කරන්න අමතක කරන්න එපා!. කොම්පෝස්ට් බඳුනට හෝ සැකසුම් ස්ථානයට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම ද වැදගත්ය. පසේ ගුණාත්මක බව ශාක වර්ධනය කෙරෙහි වැදගත් වන බැවින් මේ සාරවත් පොහොර ඔබේ ගෙවත්තේ හොඳ අස්වැන්නක් ඇති කරගැනීමට ඔබට උපකාරී වේවි.