කාටිලේජ වර්ධනය කරන බරකොකු ව්‍යංජනය

health tips

මුදල් පසුම්බියට අත නොදමා කුස පුරවා ගන්නට හැකි තවත් රසවත් ගුණවත් ආහාරයක් තමයි බර කොකු හෙවත් කැරම් කොකු කියන්නේ. අපේ ආහාරවේලට අත්‍යවශ්‍යම කාණ්ඩයක් තමයි පලා වර්ග. නමුත් අද අපි බහුලව ආහාරයට ගන්නා පලා වර්ග අතර දකින්නට නොලැබෙන විශේෂ පලාවක් තමයි බර කොකු කියන්නේ. එදා පැරණි මුතුන් මිත්තන්ගේ ආහාරවේලට  නිතරම එකතු කරගත් මේ පලාව අද නම් අපේ ගෘහණියන්ට අමතකව ගිහින්. නමුත් අදටත් ඉතා පහසුවෙන් එය සපයා ගන්නට හැකියාවක් නම් පවතිනවා. මොකද මේ පැලෑටිය ගෙවත්තේ හෝ තෙත් ප්‍රදේශවල හෝ  ජලාශ ආශ්‍රිතව ඉබේ හට ගන්නා නිසා.විශේෂයෙන්ම ලවණ ආශ්‍රිත ප්‍රදේශවල මේ පැලෑටිය බහුලව දකින්නට පුළුවන්. ඉතින් ඉතා පහසුවෙන් සොයා ගන්නට හැකි මේ බර කොකුවල ගුණ බොහොමයක් පවතිනවා. ඉතින් ඔබට අද අපි කියන්නට සූදානම් වෙන්නේ මේ අපූරු බර කොකු පලාවේ රස ගුණ පිළිබඳවයි.

මීවන විශේෂයකට අයත්  වෙන මේ කැරම් කොකු කොක්කක හැඩයට පොළවෙන් මතුවෙන ලා කොළ සහ ලා රත් පැහැ ගන්නා පැලෑටියක්. එය විටමින් A හා C නයසීන්, පොස්පරස් සහ වෙනත් ලවණ වර්ගවලින් පොහොසත් වන අතර තන්තු බහුල ආහාරයක්.  මේ බර කොකු ශාකයේ දලු, කොළ වගේම මුල් දේශීය වෛද්‍ය ක්‍රමය තුල විවිධ  ප්‍රතිකාර සඳහා භාවිතයට ගනු ලබනවා. 

මේ බර කොකු ආහාරය සඳහා සකසා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියෙනවා. මේ බර කොකුවල දල්ල අග කැරකී තිබෙන බව ඔබ දන්නවා. ඉතින් මේ කොක්ක දිගහැරෙන්නට පෙර තමයි අපි ආහාරය පිණිස නෙලා ගන්නට අවශ්‍ය වෙන්නේ.ඉන්පසුව තරමක් උණුසුම් ජලයට ලුණු ස්වල්පයක් එකතු කරලා එයට මේ බර කොකු ටික දමා මද වේලාවක් තබා ගන්නට අවශ්‍යයි. එවිට මේ බර කොකුවල පියවි ඇසට නොපෙනෙන යම් විෂබීජ ඇත්නම් ඒවා ඉවත් වෙලා එහි ඇති තිත්ත රසයත් ඉවත්ව යනවා. ඉන්පසුව තමයි රසවත් ආකාරයට බරකොකු මැල්ලුම් හෝ ව්‍යංජනය අපි පිළියෙළ කරගත යුතු වෙන්නේ. 

ඒ හැරුණාම සිරුරට උෂ්ණ ගෙනදෙන හුරුල්ලන්, බලයන් ආදී  මාළු වර්ග පිසීමේදී ඒවායේ උෂ්ණය අඩු කරග්නටත් මේ බර කොකු භාවිතා කරනවා. ඒ වගේම මස් මාලු  වගේ ආහාර ගැඹුරු තෙලේ බදින විට ඒවාට උරා ගන්නා තෙල් ප්‍රමාණය අඩු කරගන්නත් මේ බර කොකු ඉතාම හොඳ ආහාරයක්.

බර කොකු සතු විස්මිත ගුණ 

  • මල්බද්ධය වළකාලයි තන්තු බහුල මේ බර කොකු තරමක් මේරූ දලු ලෙස ආහාරයට ගැනීමෙන් මල බද්ධය වඩාත් පහසුවෙන් වළක්වා ගන්නට පුළුවන්.
  • සන්ධි ඉදිමුම්වලට ඉතාමත් ගුණදායකයි දණහිස් ආශ්‍රිත ආබාධ වළක්වා ගන්නට මේ බර කොකු දළු ව්‍යංජනය සතියකට වරක් ආහාරයට ගැනීම සුදුසු බවයි සඳහන් වෙන්නේ.
  • අර්ශස් රෝගීන්ට ඉතාම සුදුසුයි
  • රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි 
  • පියයුරු පිළිකා ඇතුළු අනෙකුත් පිළිකා රෝග ඇතිවීම වළක්වයි 
  • කාන්තාවන්ගේ ගර්භාෂයට ඉතාමත් හිතකරයි 
  • පුරුෂයන්ගේ ලිංගික බෙලහීනතා දුරලයි
  • සමේ ඇතිවන තුවාල හා රුධිර ගලනයන් සඳහා ඉතා සුදුසුයි  
  • පණු රෝග නසාලයි 
  • සමේ ඇතිවන යම් යම් ආසාදන තත්ත්වයන් සඳහා වඩා සුදුසුයි 
  • විශේෂයෙන්ම කහබිලියා ආදී විෂ පැලෑටි ස්පර්ශවීමෙන් සමේ ඇතිවන කැසීම් හා දැවිලි ගතිය ආදිය සමනය සඳහා බර කොකු කොළ තලා ඒ ස්ථානවල ඇතිල්ලීමෙන් සුවය ලබා ගන්නට පුළුවන්.
  • සර්ප හා කෘමි විෂ නැසීමට භාවිතා කරයි 
  • විශේෂයෙන්ම මී මැසි දෂ්ටනවලදී, ගෝනුසු පත්තෑ විශවලට ආදියටත් නයි පොළොං විෂ හරණයටත් ප්‍රතිකාර කිරීමේදී මේ බර කොකු ශාකය භාවිතා කරනු ලබනවා.
  • ස්වසන රෝගීන්ට ගුණදායකයි 
  • ඇදුම් ආදී ස්වසන රෝග ඇති අයෙකුට හුස්ම ගැනීම අපහසුතාවක් ඇතිවිට ඒ අපහසුතා මගහරවා ගන්නට මේ බර කොකු වියළා පුළුස්සන දුම් ආඝ්‍රානය කිරීමට සලස්වනවා. එයින් ස්වාස නාල පුළුල් වී රෝගීයාට ඉතා හොඳින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නට ඉඩකඩ සැලසෙන බවයි සඳහන් වෙන්නේ.

රසවත් බර කොකු ව්‍යංජනයක් පිළියෙල කර ගන්නා ආකාරය 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • සෝදාගත් බර කොකු 
  • සෝදාගත් හාල් මැස්සන් 
  • පොල් කිරි අවශ්‍ය පමණට 
  • වතුර 
  • කරපිංචා 
  • උළුහාල් 
  • කහ 
  • තුනපහ 
  • මිරිස් කුඩු 
  • ලුණු 
  • ගොරකා 
  • සුදු ළූණු 
  • තක්කාලි 
  • රම්පේ 
  • රතු ළූණු 
  •  අමු මිරිස් 
  • පොල් තෙල් 

සාදා ගන්නා ආකාරය සෝදාගත් බර කොකු කැබලිවලට කඩා එයට ලුණු සහ ගොරකා ස්වල්පයක් දමා වතුර දමා තම්බා ගන්න. තම්බා ගත් බර කොකුවල ජලය ඉවත් කර පසෙකින් තබා ඇතිලියකට තෙල් ස්වල්පයක් දමා හාල්මැස්සන් හොඳින් බැද ගන්න. පසුව එයටම සුදු ළූණු, රම්පෙ, කරපිංචා, රතු ළූණු, අමු මිරිස් ආදියත් එකතු කර රන්වන් පැහැවන තුරු බැද ගන්න.පසුව තුනපහ, මිරිස් කුඩු, කහ කුඩු ආදී සියල්ලම එයට එකතු කර එයට බරකොකු දමා හොඳින් කලවම් කරගෙන එයට කපාගත් තක්කාලි සහ පොල් කිරි එකතු කරන්න.මේ සියල්ල හොදින් තම්බා ගැනීමෙන් පසුව  ආහාරයට ගන්නට පුළුවන්.

සැලකිය යුතුයි මේ බර කොකු ගර්භනී කාන්තාවන්ට එතරම් සුදුසු නොවෙයි.