වසංගතයක් පැතිරෙමින් පවතින අද වගේ කාලයක නීරෝගිකම රැකගැනීම ප්‍රමුඛතාවක් වෙනවා.සිරුරට පෝෂණය ලබාගැනීමේදී ආහාර පාන වලට අමතරව අප පෝෂණ අතිරේක ද භාවිත කරනවා.මෙහිදි ස්වභාවික පෝෂණ මූලාශ්‍ර වලට වැඩි අවධානයක් දිය හැකි නම් එය කොතරම් වටිනවා ද.බාර්ලි කියන්නේ ඊට හොඳ උදාහරණයක්.
බාර්ලි කියන්නේ ඉතා ජනප්‍රිය ධාන්‍ය විශේෂයක්. නට් රසයක් ඇති බාර්ලි පාන් ඇතුළු ආහාර හා සෞඛ්‍ය නිෂ්පාදන වලට යොදාගැනෙනවා.බියර් වැනි මධ්‍යසාර පාන සැකසිමේදී මෝල්ට් වර්ගයක් ලෙසත් බාර්ලි මුසුකරනු ලබනවා.මෙම ධාන්‍යමය ශාකයේ විද්‍යාත්මක නම තමයි Hordeum vulgare කියන්නේ.එය Poaceae කියන තෘණ කුලයට අයත් ය.බටහිර ආසියාවේ හා ඊසානදිග අප්‍රිකාව පුරා මේවා වැඩෙයි.
බාර්ලි වෙනත් ආකාර වලින් පරිභෝජනය කරනවාට වඩා බාර්ලි වතුර බොහෝසෙයින් ගුණදායක බවයි සඳහන් වෙන්නේ.බාර්ලි වතුර ‘සට්‍ටු’ කියන නමින් ඉන්දියාවේ පන්ජාබය තුළ ඉතා ජනප්‍රිය පානයක් ලෙස භාවිත වේ.සිරුරේ විෂහරණය කිරීමට සහය දෙනවා වගේම සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කිරීමටත් බාර්ලි වතුර ගුණදෙයි.

බාර්ලි වතුර පිළියෙල කරන ක්‍රමය:අවශ්‍ය ද්‍රව්‍ය: බාර්ලි කෝප්ප 1, වතුර කෝප්ප 7-8ක්, ලෙමන් ගෙඩියක යුෂ, මී පැණි මේස හැඳි 1ක් (අවශ්‍යම නොවේ), කුරුඳු කැබැල්ලක්, ඉඟුරු කැබැල්ලක් සකසන ආකාරය: බාර්ලි, ඉඟුරු හා කුරුඳු ටික වතුරේ තම්බාගන්න.මිනිත්තු 30ක් පමණ වතුර බඳුන මද ගින්නේ තැම්බෙන්නට හරින්න.වතුර පෙරාගන්න.ඊට ලෙමන් යුෂ හා මී පැණි රස පදමට එක්කර පානයට ගන්න.
බාර්ලි වතුරේ පෝෂණ ගුණය බාර්ලි වතුරේ විටමින් B සංකීර්ණයේ පෝෂණය, මැංගනීස්, සෙලේනියම්, පොස්ෆරස්, යකඩ, කැල්සියම් හා සින්ක් ආදි ඛනිජ ලවණ, ආහාරමය තන්තු, ප්‍රතිඔක්සිකාරක හා ශාක රසායන (phytochemicals) අඩංගු වේ.
ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ බාර්ලි වතුර පානය කිරීමෙන් ඔබේ සිරුරට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ හිමි වේ. මේ ඊට උදාහරණ කිහිපයකි.
බර අඩු කරගැනීමට සහය දෙයි-බාර්ලි වල ආහාරමය තන්තු බහුල නිසා බාර්ලි වතුර පානය කිරීම ඔබේ සිරුරේ ජීර්ණ හා පරිවෘත්තිය ක්‍රියාවලින් සමතුලිත කිරීමට සහය දෙයි.බඩගින්න දුරුකර වැඩි කාලයක් පිරුණු ගතියක් ඇතිකරයි.ආහාර ගැනීමට ඇති ආශාව අඩුය් කරයි. මන්දගාමීව ජීර්ණය වෙමින් වැඩි වෙලාවක් බඩගිනි ඇති නොවී සිටීමට සහය දෙන නිසා බර අඩුකරගන්නා අයට සහය දෙන හොඳ පානයකි.

මූත්‍රා මාර්ග ආසාදන වලට ගුණදායකයි-මූත්‍රා ආසාදන දුරුකරගැනීමට බාර්ලි වතුර හොඳ ඖෂධයක් වගෙයි.එය මූත්‍රාවර්ධකයක් ලෙස ක්‍රියාකරමින් මූත්‍රා බැහැර වීම වැඩිකර සිරුරේ සියලු විෂ අපද්‍රව්‍ය බැහැර කරවීමට කටයුතු කරයි.වකුගඩු වල ගල් හා කෝෂ්ඨ (cysts) වලට ද ගුණදායකයි.මූත්‍රා ආසාදනය දුරුවන තුරු දිනපතා පානය කළ හැකියි. ළමා හා වැඩිහිටියන් දෙපිරිසටම සුදුසුයි.
ආහාර ජීර්ණය වැඩි දියුණු කරයි-ආමාශයේ හා බඩවැල් ආශ්‍රිත ගැටලු ඇතිවීම වළක්වාගැනීමට හා ප්‍රතිකාරයක් ලෙස බාර්ලි වතුර ඉපැරණි කාලයේ සිටම භාවිත කර තිබෙනවා.ආයුර්වේදයට අනුව මෙය ජීර්ණ ක්‍රියාවලිය වැඩිදියුණු කරන ජීරක ඖෂධයකි.මේ සියලු ප්‍රතිලාභ ලැබෙන්නේ එහි ඇති තන්තු අන්තර්ගතය නිසයි.සැහැල්ලු පානයක් නිසා බඩටත් සෞම්‍යයයි. පෝෂක බහුල නිසා සිරුරට ගුණදායකයි.
ආමාශයේ සිටින bacteroides නම් ඇතැම් හානිකර බැක්ටීරියා මර්දනයට බාර්ලි වතුර ප්‍රයෝජනවත් ය.මලබද්ධය වැනි බඩවැල් ගැටලු ඇතිවීම අඩු කරයි.ඇතැම් පර්යේෂකයින් පෙන්වාදෙන්නේ දිගු කාලයක් තිස්සේ බාර්ලි වතුර පානය කිරීම හෘත්වාහිනි රෝග වර්ධනය වීමේ අවස්ථා යම් දුරකට හෝ අඩු කිරීමට සහය දෙන බවය.
රුධිර සීනි අඩු කරයි බාර්ලි වතුර පැය 11-14ක් දක්වා රුධිර සීනි මට්ටම් පහත දැමීමට සහය දෙන prevotella නම් බඩවැල් බැක්ටීරියා වර්ධනය වීමට සහය දෙයි.රස නොගැන්වූ බාර්ලි වතුර පානය කිරීමෙන් රුධිර සීනි මට්ටම් හදිසියේ ඉහළ යාම නියාමනය වීමට ප්‍රතිලාභ ලැබේ.බාර්ලි වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණ රුධිර සීනි නියාමනයට සහය දේ.
කොලෙස්ටරෝල් අඩු කරයි-බාර්ලි වල අඩංගු රසායනයන් LDL අහිතකර කොලෙස්ටරෝල් මට්ටම් යටපත් කරමින් සමස්ත හෘද සෞඛ්‍ය නීරෝගී කිරීමට හොඳ දායකත්වයක් සපයන බව සොයාගෙන ඇත. ප්‍රතිඔක්සිකාරක හා තන්තු බහුල නිසා රුධිරයේ කොලේස්ටරෝල් මට්ටම් අඩු කිරීමට සහය දෙයි.

සමට ගුණදායකයි-බාර්ලි සමට ගොඩක් හොඳ ප්‍රතිඵල දෙන ධාන්‍යයක් බව බොහෝ අය දන්නේ නැහැ.ඉන් ඔබේ සමට දීප්තියක් ලබාදෙයි.සම නීරෝගී කරයි. නැවුම් පෙනුමක් ලබාදෙයි. එමෙන්ම සමේ මෘදු සුමුදු බව වැඩිදියුණු කරයි.
රුධිර පීඩනය පාලනයට දායක වේ-රුධිර පීඩනය අඩුකිරීමට ගුණදෙන පානයක් ලෙසත් බාර්ලි වතුර ජනප්‍රියයි.රුධිර නාළ සිහින් වීම හෙවත් atherosclerosis වැනි හෘද රෝග වර්ධනය විමට බලපාන ප්‍රබල හේතුවක් ලෙස අධි රුධිර පීඩනය හැඳින්වේ. බාර්ලි වතුර පානය කිරීම රුධිර පීඩනය අඩු කිරීමට හා නියාමනයට සහය දෙයි.රුධිර නාළ සිහින්වීමේ රෝගයට ද ඵලදායිය.
නීරෝගි ගැබ්ගැනීමකට ප්‍රතිලාභ දේ පෝෂණ ගුණයෙන් අනූන නිසා බාර්ලි වතුර ගර්භනී කාන්තාවන්ට ද ගුණදායක බව පිළිගැනේ.නීරෝගී ජීර්ණ ක්‍රියාවලියක් ඇතිකරයි.මලබද්ධය ඇතිවීම වළකයි.එමෙන්ම උදෑසන කාලයේ ඇතිවන අපහසුතාව (morning sickness) අඩු කිරීමට ද සහය දෙයි.මූත්‍රාවර්ධක ගුණ ඇති නිසා ගර්භනී සමයේදී සිරුරේ තරල තැන්පත්වීම (water retention) අඩු කරයි.