මලබද්ධය සමනය කරන නිවිති 

health tips

අප ගනුලබන ආහාර සෑම විටම අපේ සෞඛ්‍යය යහපත් අන්දමින් පවත්වා ගෙන යාමට උපකාරී වේ. මේ නිසා අප සෑම දෙනාම පාහේ සමබල ආහාර වේලක් හැකි සෑම අවස්ථාවක්ම ගැනීම සදහා  යොමු විය යුතුය. යහපත් ශරීර සෞඛ්‍යයක් පවත්වා ගන්නට ඉවහල් වන ඉතා ගුණදායක මෙන්ම පෝෂණීය ගුණයෙන් පිරි ආහාර වර්ග රැසක් ඇත. ඒ අතර නිවිති යනු ඉතා වටිනා අපට ගෙවත්තෙන් පහසුවෙන් ලබා ගත හැකි ආහාරයක් වේ. යකඩ අන්තර්ගත ආහාර පිළිබඳ කතා කිරීමේදී පළමු තැන හිමි වන්නේ නිවිති සදහා ය. උගත් නූගත් බොහෝ දෙනාම මෙය හොඳින් දනී. නිවිති Baselloceae යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලැබේ. නිවිති දණ්ඩ දම් පැහැති සහ කොළ පැහැති යනුවෙන් ප්‍රභේද දෙකක් ඇති අතර නිවිතිවල 

  • යකඩ ( නිවිතිවල බහුලවම පවතින පෝෂ්‍ය පදාර්ථය වේ. )
  • විටමින් A
  • විටමින් C 
  • විටමින් B 

යනාදී පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන වැල් ශාකයක් වේ. පත්‍ර හෘදයාකාර ස්වරූපයක් ගනී. සරු පස් ඇති තැන්හි ඉතා සරුවට වැඩෙන නිවිති වැලෙහි ගෙඩි ඉදුණු පසු දම් පැහැය ගනී. නිවිති යනු පෝෂණීය මෙන්ම ඖෂධීය ගුණයෙන්ද පිරි ශාකයක් වේ. 

නිවිතිවල ඖෂධීය ගුණ 

ආයුර්වේදයේදී පෝතකි යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ආයුර්වේද ඉපැරැණි ග්‍රන්ථයන්හි පවා සදහන් කර ඇති සුවිශේෂී ඖෂධීය ගුණයෙන් හෙබි ශාකයක් ලෙස නිවිති හදුනා ගත හැකිය. නිවිතිවල ඇති සෙවල ස්වභාවය නිසා ලපිචිබිලාල යනුවෙන් ද හදුන්වනු ලැබේ. මෙහි ඇති ඖෂධීය ගුණ මෙලෙස හදුනා ගත හැකිය. නිවිති ආහාරයට ගැනීමෙන් අත් කර ගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

සුව නින්දක් ලබා දෙයි.නිවිති යනු සුව නින්දක් ලැබෙන්නේ නැති පුද්ගලයන් සදහා ඉතා ගුණදායක ඔසුවකි. නින්ද නොයන පුද්ගලයන් නිවිති ආහාරයට ගත් විට සුව නින්දක් ලබා දීමට එහි ඇති ඖෂධීය ගුණ උපකාරී වේ. එනිසාම මෝහීනි යන නාමයෙන් ද නිවිති හදුන්වනු ලැබේ. 

ගැබිණි මව්වරුන් ,කුඩා දරුවන් සදහා.නොයෙක් ආහාර වර්ග කුඩා දරුවන් ට මෙන්ම ගර්භණී කාන්තාවන්ට අහිතකර බලපෑම් අත්කර දෙයි. නමුත් නිවිති කුඩා දරුවන්ට මෙන්ම ගර්භණී කාන්තාවන් සදහා ,කිරිදෙන මව්වරුන් සදහා ඉතා ගුණදායක මෙන්ම පෝෂණීය ආහාරයක් වේ. 

මලබද්ධය සදහා.නිවිති යනු මලබද්ධය රෝගී තත්වය සදහා ද ගුණදායක ආහාරයකි. නිවිති කොළ වෂ්පයෙන් තම්බා උයා පිස අහාරයට ගැනීමෙන් මල ද්‍රව්‍ය ඉතා පහසුවෙන් පිට කිරීමට හැකි වේ. නිවිතිවල පවතින ස්වාභාවික කෙදි සහිත ස්වභාවය නිසා මල හොඳින් දිරවා ඉතා පහසුවෙන් පිට කිරීමට උපකාරී වේ. මලබද්ධය පවතින රෝගීන් සදහා නිර්දේශ කරන්නේ ලාදම් පැහැති අවස්ථාවේ නිවිති ආහාරයට ගන්නා ලෙසයි. 

සත්ත්ව දෂ්ටන සදහා.දෙඹරුන්, බඹරන් ,ගෝනුස්සන් යන සතුන් දෂ්ඨ කළවිට නිවිති මල් උණුවතුරේ තම්බා කෂාය ලෙස සකසා පානය කිරීමට ලබා දෙනු ලබයි. එමගින් ශරීරගත විෂ විනාශ කරනු ලබයි. 

දරු ප්‍රශුතියේදී ඇතිවන වේදනා සදහා.අතීත සමාජයේ ජනයා දරු ප්‍රශූතිය සදහා සූදානම් වන මව්වරුන්ට නිවිති කොළ තම්බා කෂාය ලෙස සකස් කර පානය කිරීම සදහා ලබා දී තිබේ. එමගින් දරු ප්‍රශූතියේදී ඇතිවන වේදනාවන් අවම වී වේදනාවකින් තොරව දරුවා බිහි කිරීමට හැකියාව ලැබෙන බව අතීත වෙදදුරන් ගේ පිළිගැනීම වේ. 

අධික උෂ්ණත්වය සදහා.අධික උෂ්ණත්වය බෝහෝ දෙනෙකුට අපහසුතා ඇතිකරවන දෙයක් වේ. මේ නිසා බොහෝ විට ශරීරයේ දැවිල්ල ඇති වේ. මේ සදහා නිවිති කොළ හොඳින් කොටා ලබා ගන්නා යුෂ මිලිලීටර් 15-30ත් අතර ප්‍රමාණයක් පානය කිරීමෙන් සහනයක් ලබා ගත හැකිය. නිවිති යනු ශරීරයට සිසිලසක් ගෙන දෙන ඖෂධයක් වේ. 

නාසයෙන් ලේ ගලන අවස්ථා සදහා.නාසයෙන් ලේ ගලන අවස්ථාවන්හි නිවිති කොළ යුෂ ස්වල්පයක් පානය කිරීම ඉතා ගුණදායක වේ. 

නිවිති ආහාරයක් ලෙස භාවිත කළ හැකි ආකාර. නිවිති ඉතා ගුණදායක ආහාරයක් නිසා අප සෑම විටම එය අමුවෙන් ආහාරයට ගැනීම සදහා පෙළඹිය යුතුය. එමගින් එහි ඖෂධීය මෙන්ම පෝෂණීය ගුණ හානියකින් තොරවම අප ශරීරයට ලබා ගත හැකිය. නිවිති අපට එළවළුවක් ලෙස හෝ සලාදයක් ලෙස අහාරයට ගත හැකිය. 

1. නිවිති බෝහෝමයක් දෙනා පරිප්පු සමග මිශ්‍ර කර ඉතා රසවත් ලෙස සකසාගෙන ආහාරයට ගනු ලැබේ.

2. දෙල් වැනි උෂ්ණාධික ආහාර පිසීමේදී ද නිවිති කොළ ස්වල්පයක් එක් කරනු ලැබේ.

3. වාෂ්පයෙන් තම්බා සලාදයක් ලෙස සකසා ද නිවිති ආහාරයට ගනු ලැබේ. 

4. විවිධ ආහාර වර්ග වර්ණගැන්වීම සදහා අප කෘත්‍රීම වර්ණක භාවිත කරනු ලබයි. මේ සදහා ආදේශකයක් ලෙස අපට නිවිති ඉදුණු නිවිති ගෙඩි භාවිත කළ හැකිය. එමගින් අප සකසන ආහාරයේ ගුණාත්මකබවද වැඩි කර ගත හැකිය. නිවිති ඇටවලට දෙහි යුෂ ස්වල්පයක් එක් කිරීමෙන් ඒවායේ දම් පැහය තවත් වැඩි කර ගත හැකිය.

5. නිවිති කිරි හොදි ලෙසද සකසා ආහාරයට ගනු ලැබේ.( උෂ්ණ බිබිලි ඇති වූ අවස්ථාවන්හි ) 

මේ අකාරයට කිනම් හෝ ආකරයකින් අපට නිවිති ආහාරයට ගැනීම කළ හැකි නම් එය අප ශරීරයට ඖෂධීය ගුණ මෙන්ම පෝෂණීය ගුණ ද නො අඩුව ලබා දෙනු ඇත. ඔබේ ගෙවත්තේ තවම මෙවැනි වටිනා ඖෂධීය ශාකය නොමැති නම් එය ඔබේ ගෙවත්තේ ශාක අතරට එකතු කර ගන්න. කෘත්‍රීම ආහාර වෙනුවට ස්වාභාවික ගුණදායී ආහාර අපේ ආහාර වේලට එකතු කර ගැනීම අපට නීරෝගී දිවියක් ලබා දීමට උපකාරී වේ.