කිරි තේ අපි නිතරම බොනවා සාමාන්‍ය විදියට. නමුත් අපි දිනපතාම පානය කරන මේ කිරි තේ එක ලෙඩ රෝග සුව කර ගන්නට පෝෂ්‍යදායි විදියට සකස් කර ගන්නා ක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා මදුරුතලා ශාකය. ඉන්දියාවේ මේ ශාකය තුල්සි යන නමින් තමයි හඳුන්වනු ලබන්නේ. ලාංකීය අපි මේ වටිනා ඔසුව භාවිතයට ගන්නේ හරිම අඩුවෙන්. බොහෝදෙනා සවස් කාලයට මදුරුවන් පලවා හැරීමේ කටයුත්ත සඳහා පමණක් මේ මදුරුතලා ශාකය භාවිතයට ගත්තත් මෙහි ඇති ඖෂධීය වටිනාකම ඉතාම ඉහළයි. අපේ රටේ ජනතාව බොහොමයක් දෙනා මේ මදුරුතලා ශාකයේ වටිනාකම දැන නොසිටියත් වෙනත් බොහෝ රටවල මේ ශාකය ආහාරය සඳහා එකතු කර ගන්නවා. තායිලන්තයේ ගෘහණියන් ආහාර පිසින විට මේ මදුරුතලා පැලෑටියේ කොළ කිහිපයක් අපි කරපිංචා ආහාරවලට එකතු කර ගන්නවා වගේ එකතු කර ගන්නේ ඒ නිසාවෙන්මයි.
හීන් මදුරුතලා, මහ මදුරුතලා, කළු මදුරුතලා, ගස් තලා ආදී වශයෙන් මදුරුතලා වර්ග ද කිහිපයක් පවතිනවා. මේ අතරින් කොළ පාට මදුරුතලා රාම තුල්සි ලෙසත් , දම්පාට මදුරුතලා ක්‍රිෂ්ණ තුල්සි ලෙසත් හඳුන්වනවා.මේ මදුරුතලා වර්ග දෙකම අපිට නිතර දකින්නට ලැබෙනවා. ඒ වගේම මේ වර්ග දෙකම ඖෂධ සඳහා භාවිතයට ගනු ලබනවා. නමුත් දම් පැහැති මදුරුතලා ශාකය වඩාත් ගුණදායක බව සඳහන් වෙනවා. මේ අපූරු ශාකයේ සෑම කොටසක්ම ප්‍රතිකාර සඳහා භාවිතා කරනවා. ඒ වගේම බාහිරව වගේම අභ්‍යන්තරව හටගන්නා රෝග බොහොමයක් සඳහාම ඉතා ගුණදෙන ඔසුවක් තමයි මේ මදුරුතලා.ඉතින් මදුරුතලා ශාකයේ ගුණ දැනගෙනම ඒවා අපේ ශරීරයට ලබාගත හැකි ආකාර පිළිබඳව දැන ගනිමු.
මදුරුතලා ශාකයේ ඇති අපූරු ගුණ

- විශබීජ නාශක හැකියාවෙන් සමන්විතයි.
- සන්ධි වේදනා දුරලයි.
- ආමාශය නීරෝගි කරයි.
- සම සිසිල් කරයි.
- සෙම්ප්‍රතිශ්‍යාව හා උගුරේ වේදනාව සමනය කරයි
- මුත්‍රා ගල් දිය කිරීමට උපකාරී වෙයි.
- පිළිකා සෛල ඇතිවීම වළක්වනු ලබයි.
- රුධිර පීඩනය පාලනය කරයි.
- අක්මාව නීරෝගී කරයි.
- සෙම් රෝග නසයි.
- අධික තරබාරුව නැති කරයි.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
- ආහාර අරුචිය දුරු කරයි.
- බඩේ දැවිල්ල හා වේදනාව සමනයට උපකාරී වෙයි.
- හෘද රෝග සඳහා සුවය සලසයි.
- රුධිරය පිරිසිදු කරයි.
- නරක කොලෙස්ටරෝල් පාලනය කරයි.
මදුරුතලා පානය මදුරුතලා කියන්නේ වල් පැලෑටියක් හෝ මදුරුවන් පලවා හැරීමට පමණක් භාවිතා කෙරෙන පැලෑටියක් නොව වටිනා ඖෂධීය ගුණයන්ගෙන් සමන්විත පැලෑටියක්. එය බාහිරින් විවිධ රෝග තත්ත්වයන්වල දී ආලේප කිරීම වගේම අභ්‍යන්තරයට කශාය හෝ තම්බා පානය කිරීමෙන් ලෙඩ රෝග බොහොමයක් සුවකර ගන්නටත් ලෙඩ රෝග බොහොමයකින් වැළකී සිටින්නටත් පුළුවන්. නමුත් ඒ හැරුණාම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට සතියකට දවසක් දෙකක් පානයක් ලෙස මදුරුතලා භාවිතයට ගන්නට පුළුවන්. ඒ සඳහා තම්බා පානය කිරීම හැරුණාම මදුරුතලා තේ පානයත් ,මදුරුතලා කිරි තේ පානයත් ඉතා රසවත් වගේම ගුණයෙන් ඉහළයි. ඒ විතරක් නෙවෙයි ඇතැම් අය සලාදවලටත් ව්‍යංජන පිසීමේදීත් මදුරුතලා කොළ එකතු කරනු ලබනවා.
මදුරුතලා කිරි තේ සකස් කර ගන්නා ආකාරය

- මදුරුතලා කොළ 15 ක් පමණ
- කළු දුරු ඇට 10 ක් පමණ
- කිරි කෝප්ප භාගයක් (එළකිරි / fresh milk / කල්කිරි )
- ජලය කෝප්ප 2 ක්
- සීනි අවශ්‍ය පමණට
භාජනයක් ගෙන එයට සෝදාගත් මදුරුතලා කොළ ටික දමා වතුර කෝප්ප 2 ක් එකතු කරන්න. ඉන්පසුව විනාඩි 4 ක් පමණ ඒවා තම්බා ගන්න. කළු දුරු ද මෙයට එකතු කරන්න. පසුව කිරි කොප්ප භාගය ද එකතු කර මදවේලාවක් රත් කරගෙන එයට තේ කුඩු මේස හැදි 1 ක් එකතු කරන්න. ඉන්පසුව මද වේලාවක් හොඳින්ම පිසගෙන සීනි අවශ්‍ය ප්‍රමාණයට එකතු කර කලවම් කර ගන්න. දියවැඩියා රෝගීන් මේ සඳහා සීනි එකතු කරන්නට එපා.හොඳින් පෙරා පානය කරන්න. මෙය සතියකට දෙවතාවක් පානය කිරීම ප්‍රමාණවත්.
මදුරුතලා තේ පානය
1 . සෝදා වියළා ගත් මදුරුතලා කොළ තේ කුඩු ලෙස සකසා ගෙන තේ වෙනුවට උණු වතුරට දමා තම්බා ගෙන පෙරා පානය කළ හැකියි.
2 .කැබලිවලට කපා ගත් මදුරුතලා කොළ 15 ක් පමණ එනසාල් කුඩු තේ හැදි භාගයක් සමඟ මිශ්‍ර කරන්න. ඉන්පසුව වතුර කෝප්ප තුනක් පමණ එයට දමා විනාඩි 10 ක් පමණ රත් කර ගන්න. පානය කිරීමට පෙර මී පැණි ස්වල්පයක් සහ ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරන්න.
මේ කුමන ආකාරයට ඔබ මදුරුතලා පරිභෝජනයට ගත්තත් එය ඔබේ නීරෝගී බවට ඉතාම වැදගත් වේවි. ඕනෑම ගෙවත්තක තිබිය යුතු උදලු ගා දැමිය යුතු නොවන මේ ඔසු පැළෑටියේ වටිනාකම අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතුයි. ඒ විතරක් නෙවෙයි දුවා දරුවන්ටත් මෙවැනි වටිනා පැළෑටි පිළිබඳව දැනුවත් කර ඒවා භාවිතයට ගත යුතු ආකාරය කියාදීම නීරෝගී ජාතියක් ගොඩ නැගීමට බෙහෙවින් උපකාරී වෙනවා.