අළුපුහුල් CUCURBITACEAE උද්භිද කුලයට අයත් වන අතර Benincasa hispida යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන ලද ගෙඩි විශේෂයක් වේ. වැල් වල හට ගන්නා මෙම ගෙඩි මතුපිට සුදු පැහැති අලු විශේෂයක් තැවරී ඇති බැවින් ” අලු පුහුල්” යන නමින් හදුන්වනු ලැබේ.
අළු පුහුල් යනු ඖෂධීය ගුණ රැසක් අන්තර්ගත ගෙඩි විශේෂයක් වේ. වර්තමාන සමාජයේ එම ඖෂධීය භාවිතයන් පිළිබඳ පුද්ගලයා තුළ පවතින නොදැනුවත්භාවය හේතුකොටගෙන අලු පුහුල් එතරම් ප්‍රසිද්ධියට පත් නොවී ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව වැල් වල හටගන්නා ගෙඩි අතුරින් ආහාරය සඳහා සුදුසුම ගෙඩියක් ලෙස අලුපුහුල් පෙන්වා දී තිබේ.
අලු පුහුල් වල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අන්තර්ගතව පවතී. ඒ අනුව විටමින් බී කාණ්ඩයේ පෝෂ්‍ය කොටස්, ප්‍රෝටීන්, විටමින් සී, සෝඩියම්, කැල්සියම්, පොස්පරස්, යකඩ, ජලය ආදි පෝෂ්‍ය සංඝටක පෙන්වා දිය හැකිය. නිර්මාංශ පුද්ගලයින් ලබා ගන්නා ආහාර අතර අළු පුහුල් වඩාත් ප්‍රසිද්ධ වන අතර රසම් සහ සුප් ආදිය සැකසීමට ද බහුලව අළු පුහුල් යොදාගනී.

අලු පුහුල් වල ගුණ දන්නා ග්‍රාමීය සමාජය තුළ අදටත් ජනප්‍රිය ආහාරයක් ලෙස අළුපුහුල් හඳුනාගත හැකිය. ඒ අනුව අලු පුහුල් වලින් සකසන ලද ව්‍යංජනය වට්ටක්කා හා කැකිරි ව්‍යංජනය ට සමාන කමක් දක්වන ආහාරයකි. එමෙන්ම ලොකු කුඩා කවුරුත් කැමති පුහුල් දෝසි සකසනු ලබන්නේ ද අලුපුහුල් වලිනි. අළු පුහුල් ගෙඩි පමණක් නොව එහි පන්චාංගමය කොටස් සියල්ලක්ම ඖෂධීය වශයෙන් ගුණදායක වන බැවින් එහි භාවිතයන් රැසකි.
ශරීරයේ විස නසයි. කෘතීම ආහාර, මත්ද්‍රව්‍ය, රසදිය, හොඬොල, නියඟලා හා ඊයම් වැනි දෑ ආහාර ලෙස හෝ වෙනයම් දෙයක් වශයෙන් ශරීරගත වූ අවස්ථාවලදී එමඟින් ශරීරයේ ඇති වන විෂ නැසීම සඳහා සුදුසුම ආහාරයක් ලෙස අළුපුහුල් හඳුනාගත හැකිය. මේ සඳහා හොඳින් පැසුණු අළු පුහුල් ගෙඩියක මදය සූරා ඉන් වෙන් කරගන්නා යුෂ කෝප්ප භාගයක් ගෙන ඊට එළඟිතෙල් සහ සීනි ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම මගින් ශරීරයේ ඇතිවන මෙම විස තත්ත්වයන් නාශනය කරගත හැකිය. එමෙන්ම මත්ද්‍රව්‍ය නිසාවෙන් ඇතිවන විෂ වීම් වලදී අලු පුහුල් යුෂ පානය කිරීමට ලබා දීම අතීතයේ පටන් ම සිදු වූවකි.
පුරුෂ මදසරු බවට කදිම ඔසුවකි. අලු පුහුල් යුෂ වෙන්කරගෙන නිතර නිතර පානය කිරීමෙන් පුරුෂයන්ට හටගන්නා මදසරුභාවය සුවපත් කරගත හැකිය. එමෙන්ම පුරුෂ ශක්තිය වඩවන ගුණයෙන් යුක්ත අළු පුහුල් ලිංගික කටයුතු වල දී එහි සාර්ථකත්වය අත්දැකීම සඳහා ද ඉවහල් වේ.
අම්ල පිත්ත රෝගය සුව කරයි. අම්ල පිත්ත රෝගය නොහොත් ගැස්ට්‍රයිටීස් රෝගීන් සඳහා වඩාත් හොඳ ප්‍රතිඵල ළඟා කර දෙන ඔසුවක් ලෙස අළුපුහුල් හඳුනාගත හැකිය. මේ සඳහා අලුපුහුල් තරමක කැබලි සිටින සේ කපා හොඳින් තම්බා පසුව එම කැබලි හකුරු සමඟ අනුභව කිරීම මගින් ගැස්ට්‍රයිටීස් රෝගය සුවපත් කරගත හැකිය.
ශරීර දාහය නිවා සිරුර ප්‍රබෝධමත් කරයි. ශරීරයේ ඇතිවන දැවිල්ල සඳහා අලුත් පුහුල් මදය සුරා වෙන් කරගෙන එය සිරුර පුරා ආලේප කර මද වේලාවක් තිබෙන්නට හැර සෝදා හැරීම මගින් දැවිල්ල සමනය වී ශරීරයට සිසිලසක් ලැබෙනු ඇත. තවද ශරීර අභ්‍යන්තරයේ ඇතිවන දාහය සඳහා අළු පුහුල් යුෂ වලට පෙරුම්කායම් හා යවකාර ලුණු ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීම ද සුදුසු වේ. එමෙන්ම සිරුරේ ඇතිවන විජලන තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ද අලු පුහුල් යුෂ යෝග්‍ය වේ. මේවා මගින් සිරුරේ ප්‍රබෝධමත් භාවයක් ද ඇති කරගත හැකි ය.
බාහිරින් සිදුවන පිලිස්සුම් තුවාල සුව කරයි. මෙය ක්ෂණික ප්‍රතිකර්මයක් ලෙස භාවිත කළ හැකි අතර බාහිරින් සිදු වන පිළිස්සුම් තුවාලයකදී එවේලෙහිම අළු පුහුල් කොළ කොටා එම යුෂ ආලේප කිරීම මඟින් සිසිලක් ලබාගත හැකිය.
රුධිර ගලනය සිදුවන රෝගී තත්ත්වයන් වලට යෝග්‍ය වේ. විශේෂයෙන් මෙහිදී අර්ශස් රෝගය, නාසයෙන් ලේ ගැලීම, ඔසප් සමයේ ඇතිවන අධික රුධිර ගලනය ආදී තත්වයන් වලට අලු පුහුල් යුෂ වලින් සැකසූ කසාය පානය කිරීම වඩාත් යෝග්‍ය වේ. මෙම කසාය සකසනු ලබන්නේ හොඳින් පැසුණු අළු පුහුල් ගෙඩියක මදය සූරා වෙන්කරගෙන ඊට කොත්තමල්ලි කුඩු, වැල්මී කුඩු හා සුදු හඳුන් කුඩු මිශ්‍රකර වසා රැයක් පින්නේ තබා පසුදින උදෑසන එම මිශ්‍රණය මිරිකා යුෂ වෙන්කර පානය කිරීම මගිනි. මෙයින් රුධිර ගලනය සිදුවන රෝග වලට සහනයක් ලබාගත හැකිය.
පණු රෝග සුව කරයි. මේ සඳහා අළු පුහුල් ඇට භාවිතා කරන අතර එම ඇට හොඳින් වියලා කුඩුකර එදිනෙදා පිසින ව්‍යංජන වලට එක්කර ආහාරයට ගැනීම මගින් සිරුරේ පවතින පණු රෝග සුවකර ගත හැකිය. එමෙන්ම මෙම අළු පුහුල් ඇට කුඩු කර ලබාගන්නා මිශ්‍රණයට එළඟිතෙල් සහ සීනි මිශ්‍ර කර පානය කිරීමට ලබා දීමෙන්ද පණු රෝග වලට සහනයක් ලබාගත හැකිය.
පෙනහළු ශක්තිමත් කරයි. විෂ වායූන් ආඝ්‍රණය කිරීම, අධික දුම්පානය, ඇදුම වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳීම යන තත්ත්වයන් වලදී අපගේ පෙනහලු දුර්වල වේ. මෙම දුර්වල වූ පෙනහළු ශක්තිමත් කර ගැනීම සඳහා අලු පුහුල් ආහාරයට එක්කර ගැනීම වඩාත් යෝග්‍ය වේ.
වකුගඩු නිරෝගිමත් කරයි. අලු පුහුල් ආහාරයට එක්කර ගැනීමෙන් වකුගඩුවල රුධිර ප්‍රේරණ ක්‍රියාවලිය මනාව සිදු කිරීමට අවශ්‍ය දායකත්වය ලබා දෙයි. ඒ අනුව වකුගඩු වල නිරෝගිමත් භාවය සඳහා අලුපුහුල් කදිම ඔසුවකි.

රක්තහීනතාවය හා සිරුරේ කෘෂ බව නැසීමට දායක වේ. මෙම තත්ත්වයන් සඳහා ප්‍රතිකර්මයක් ලෙස අලුපුහුල් යොදාගෙන කදිම ඔසුවක් නිර්මාණය කරයි. එය පුහුල් බස්නය ලෙස හඳුන්වනු ලබයි. මෙය සකසා ගනු ලබන්නේ හොඳින් පැසුණු ලොකු අළු පුහුල් ගෙඩියක් ගෙන එහි ඇස්ස කපා ගෙඩියට හානියක් නොවන පරිදි අලුපුහුල් මදය පිටතට ගත යුතුය. අනතුරුව පුහුල් ගෙඩිය ඇතුලට ඉඟුරු යුෂ, දෙහි ඇඹුල් යුෂ, පොල් පැණි සහ කිතුල් පැණි සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන දැමිය යුතුය. අනතුරුව යකඩ කුඩු හෙවත් ලෞහ භෂ්ම කුඩා ප්‍රමාණයක් ද ඒ තුළට දමා නැවතත් ඇස්සෙන් අලු පුහුල් ගෙඩිය වසා දින තුනක් පමණ ලිප ළඟ තැබිය යුතුය. පසුව එම ද්‍රාවණය පෙරා වරකට මේස හැදි 1 බැගින් දිනකට දෙවරක් පානය කිරීම මගින් රක්තහීනතාවය සහ සිරුරේ කෙට්ටු බව නැති කරගත හැකිය.
කුඩා දරුවන්ගේ ඇතිවන මන්දපෝෂණ තත්ත්වයන් වලදී සහ රක්තහීනතාවයෙන් පෙළෙන දරුවන් හට අලු පුහුල් ආහාරයට ලබා දීමෙන් ශරීරයේ කෘශ බව නැතිකර පෘෂ්ඨිමත් බවක් ලබාගත හැකි අතරම රක්තහීනතාවය ද දුරු කරගත හැකිය.
අර්ශස් රෝග සඳහා ගුණදායක වේ. මේ සඳහා අලුපුහුල් දළු භාවිතයෙන් සකසන ව්‍යංජනය වඩාත් සුදුසු වේ. මෙම ව්‍යංජනය වට්ටක්කා දළු ව්‍යංජනය සකසන ආකාරයට පිසින අතර කොස් ඇට එකතු කිරීමෙන් ව්‍යංජනය වඩාත් රසවත් කර ගත හැකිය. මෙම ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් අර්ශස් රෝගය සදහා සුවයක් ලබාගත හැකිය.
මුත්‍රා රෝග සුව කරයි. විශේෂයෙන් මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ගල් සහ වකුගඩු ආබාධ ආදිය ඇතිවීමේ දී අළු පුහුල් මදයෙන් ලබාගන්නා යුෂ සහ අළු පුහුල් ඇට චූර්ණය ලබාදීමෙන් මුත්‍රා රෝග සමස්තයකට ම සුවයක් ලබාගත හැකිය.
සම පැහැපත් කරයි. සමේ පැහැය වැඩි දියුණු කිරීම සඳහා වඩාත් සුදුසු අළු පුහුල් සම සේදුම් කාරකයක් ලෙසද භාවිතයට ගත හැකිය. එමෙන්ම සම වෙනුවෙන් නිෂ්පාදනය කරනු ලබන ආලේපන වර්ග සැකසීමේදී ද වර්තමානයේ දී අළුපුහුල් භාවිතා කරන අතර එමඟින් සම නිරෝගිමත් කරගත හැකි මෙන්ම පැහැය වර්ධනය කරගත හැකිය.
අහිතකර කොලෙස්ට්‍රෝල් මර්දනය කරයි. මේ සඳහා අලුපුහුල් දළු යොදාගෙන සකසනු ලබන සලාදය අතිශය වැදගත් වේ. මෙම සලාදය සැකසීමේදී කරපිංචා, සුදුළූණු මෙන්ම අලුපුහුල් දළු ද යොදා ගන්නා අතර එම සලාද ආහාරයට ගැනීමෙන් රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් ඉවත් කර ගැනීමට හැකියාව ලැබේ.
ඉහතින් දක්වා ඇති ආකාරයෙන් ශරීරයේ ඇතිවන ලෙඩ රෝග රැසකට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස අළුපුහුල් හඳුනාගත හැකි අතර අතීතයේ පටන් අදටත් ශාන්තිකර්ම කටයුතුවලදී මෙම අළුපුහුල් භාවිතය සිදුවේ. අලුපුහුල් සතුව පවතින සියලු දෝෂ නැසීමේ ගුණය ශාන්තිකර්ම සඳහා අලුපුහුල් භාවිතයට හේතු වී තිබිය හැකිය. පෝෂණීය ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් අනූන අලු පුහුල් සෑම ගෙවත්තකම වගා කරගැනීම සෑම අතකින්ම යහපත් වේ.