දිවේ මැලියම් සහ ලපවලින් කියවෙන ලෙඩ රෝග 21 ක්

health tips

අපි ගන්නා සෑම ආහාරයකම රස හඳුනා ගන්නට, අදහස් ප්‍රකාශ කරන්නට මුඛය තුළ ආහාර හොඳින් මිශ්‍ර කරන්නට අපිට දිව අත්‍යවශ්‍ය වෙනවා. මිනිසාට විතරක් නෙවෙයි සත්ත්වයාටත් මේ කාරණා ඉටු කරන්නට දිව ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඉතින් මේ ප්‍රතිලාභ හැරුණාම දිව අපිට නීරෝගීව ජීවත් වෙන්නටත් උපකාර කරනවා. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ බාහිරව ඇතිවන ගැටළු රෝග තත්ත්වයන් අපිට පහසුවෙන් හඳුනා ගන්නට හැකියාව තියෙනවා වුණත් අපේ සිරුරේ අභ්‍යන්තරයේ ඇතිවන රෝග තත්ත්වයන් පෝෂණ ඌණතාවයන් ආදී දේවල් අපිට ඉතා පහසුවෙන් වගේම කල්තියා හඳුනා ගන්නට අපහසුයි. 

නමුත් මිනිස් සිරුරේ හරි අපූරු ක්‍රියාවලියක් සිරුරේ නීරෝගී පැවැත්ම වෙනුවෙන් සිදු කෙරෙනවා. අපේ ශරීරයේ යම් වෙනස්කමක් හෝ ගැටළුකාරී තත්ත්වයක් ඇත්නම් එය විවිධ  සංඥා මගින් අපිට පෙන්නුම් කරනවා. එවැනි අසාමාන්‍යය ලක්ෂණ කෙරෙහි සැලකිල්ලක් දැක්වීම මගින් අපිට ඕනෑම සෞඛ්‍ය ගැටළුවකට නියමිත වේලාවට ප්‍රතිකාර කර සංකූලතා ඇතිවීම වළක්වා ගන්නට පුළුවන්.ඉතින් එවැනි රෝගයන් හා සිරුර අභ්‍යන්තරයේ ඇති වෙනස්කම් හඳුනා ගන්නට දිව හොඳින් නිරීක්ෂණයෙන් අපට පුළුවන්. ඉතින් අපි අද කතා කරන්නේ දිවේ මතුපිටින් ඇතිවන යම් අසාමාන්‍යය ලක්ෂණ මගින් රෝග තත්ත්වයන් හඳුනා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

සාමාන්‍යයෙන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට දිවේ වර්ණය වෙනස්  වෙනවා.නමුත් බොහෝවිට එය රෝස පැහැයක් ගන්නවා වගේම එහි පැපිලේ නමින් හැඳින්වෙන කුඩා ගැටිති පවතිනවා. නමුත් ඇතැම්  අයගේ දිවේ යම් යම් අසාමාන්‍ය වෙනස්කම් පහත ආකාරයට ඇති වෙන්නට පුළුවන්.

  • කලු පැහැ දිව ඇතැම් අයගේ දිවේ කොටසක් කළු පැහැයක් සහ මුළු දිවම කලු පැහැයක් ගන්නා අවස්ථා පවතිනවා. මේ තත්ත්වය වේදනාවකින් තොරයි. ඒ වගේම තාවකාලිකයි. දිවේ මතුපිට පැපිලියා මත මිය ගිය සමේ සෛල සමුච්චයවීමකින් දිව කලු පැහැයක් ගනු ලබනවා.නමුත් දිවේ මේ තත්ත්වය ඇතිවෙන්නට  විවිධ හේතු බලපානවා.
  • මුඛ සෞඛ්‍ය නිසිපරිදි පවත්වා නොගැනීම 
  • මුඛයේ වියළි බව 
  • සැර ඔක්සිකාරක අඩංගු මුඛ සේදුම්කාරක ද්‍රව්‍ය දිනපතා භාවිතා කිරීම 
  • කෝපි හෝ කළු තේ පානය 
  • අධික ලෙස මත්පැන් භාවිතය 
  • මුඛයේ සාමාන්‍ය බැක්ටීරියා හෝ යීස්ට් අන්තර්ගතයේ වෙනස්කම් ඇති කළ හැකි ප්‍රතිජීවක ඖෂධ
  • කැන්ඩිඩියාසිස් හෙවත් තෙරපීම මේ තත්ත්වය ඇති කරන්නේ කැන්ඩිඩා ඇල්බිකන්ස් දිලීර අධික ලෙස මුඛය මත තැන්පත්වීම හේතුවෙන්.මේවා දිවේ සුදු පැහැය ඇති කරන අතර බොහෝවිට කම්මුල්වල අභ්‍යන්තර පටලය උගුරේ පිටුපස කොටසේ පවා දකින්නට පුළුවන්. මේ තත්ත්වය ප්‍රතිශක්තිකරණය දුර්වල අයෙකුට බරපතල ආසාදන තත්ත්වයක් ඇති කරන්නට පුළුවන්.මෙවැනි තත්ත්වයකදී මුඛ සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීමත්, සීනි අධික ආහාරවලින් වැළකී සිටීමත්, වැදගත් වෙන නමුත් මේ තත්ත්වයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් එය වළක්වා ගන්නට පුළුවන්.
  • ඉදිමුණු තද රතු පැහැ දිව රතු පැහැ දිව අපේ ශරීරයේ උෂ්ණත්වය පෙන්නුම් කරනවා. ඒ හැරුණාම වෙනදාට වඩා  රතු පැහැ සහ ඉදිමුණු ස්ට්‍රෝබෙරි ස්වභාවයක් දිවේ දකින්නට ඇත්නම් එය ඔබට සිරුරේ වෙනස්කම් සහ රෝග බොහොමයක් පිළිබඳව සංඥා නිකුත් කිරීමක්. මෙවැනි තත්ත්වයක් විවිධ හේතුන් නිසාවෙන් ඇති වෙනවා.
  • ආහාර අසාත්මිකතාවයන් 
  • ඖෂධ අසාත්මිකතාවයන්  
  • හෝර්මෝන අසමතුලිතාවයකදී 
  • කවාසාකි රෝගය හෙවත්  ළමුන් තුළ බහුලවම දකින්නට ලැබෙන ධමනිවල දැවිල්ල ඇති කරන තත්ත්ව
  • විටමින් B 12 ඌණතාවය 
  • සිනිඳු රතු පැහැ පැල්ලම්  දිවේ රතු පැහැ පැල්ලම් සුදු මායිම්වලින් වට වී පවතිනවා. මේ තත්ත්වය තවත් අයෙකුට බෝ නොවන අතරම මේ තත්ත්වය තරම් බියවිය යුතු නොවන දිගුකාලීන සෞඛ්‍ය ගැටළු ඇති නොකරන තත්ත්වයක්. භූගෝලීය දිව ලෙස හඳුන්වන මේ තත්ත්වය බහුලවම මේ පුද්ගලයන්ට ඇතිවෙන්නට පුළුවන්. 
  • හෝර්මෝන උපත් පාලන භාවිතා කරන කාන්තාවන් 
  • මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයන් 
  • අසාත්මිකතා ඇති පුද්ගලයන් 
  • දියවැඩියාවෙන් පෙලෙන පුද්ගලයන් 
  • විටමින් ඌණතා ඇති අය 
  • කොහොමවුණත් මේ තත්ත්වය සති ගණනක් හෝ වසර ගණන්  වුණත් පවතින්නට පුළුවන්.
  • දිවේ සුදු ලප බැක්ටීරියා වගේම මියගිය සෛල අතර සුදු පැහැති ආලේපයක් ඇතිවීමෙන් ඉදිමුණු ස්වභාවයකින් ගන්නා මේ තත්ත්වය ඇතිවෙන්නටත් විවිධ හේතු කාරණා බලපානු ලබනවා. 
  • ශරීරයේ ජලය ප්‍රමාණවත් නොවීම 
  • මුඛ සෞඛ්‍ය දුර්වල වීම 
  • මුඛය වියළි වීම  
  • දුම්කොළ භාවිතය 
  • අධික ලෙස මත්පැන් හා දුම්පානය කිරීම    

ඒ හැරුණාම දිව සුදුමැලි නම් එයින් ශරීරයේ ලේ අඩු බවත් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වලවීමක් පෙන්නුම් කරනු ලබනවා.ඉතින් දිවේ වර්ණයේ ඇතිවන වෙනස්කම් හෝ මැලියම් තට්ටුවල ඇති වෙනස්කම් හෝ බිබිලි පවා අපි ඇතැම් වෙලාවට සැලකිල්ලට ගන්නේ නැහැ. නමුත් මෙවැනි පුංචි ලක්ෂණයක් ඇතැම්විට ඔබේ ශරීරයේ දරුණු සෞඛ්‍ය  ගැටළුවක් කල්තියා හඳුනා ගන්නට පවා උපකාරී වෙන්නට හැකි බව ඔබ අමතක කරන්නට එපා. ඒ නිසාවෙන් ශරීරයේ ඇතිවන පුංචි අසාමාන්‍ය තත්ත්වයක් වුණත් නොසලකා හරින්නට එපා.