මුත්‍රාශයේ ඇතිවෙන ගල් නිට්ටාවට සුව කරන ස්වභාවික ප්‍රතිකාර 5 ක්

health tips

 අද බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක් විදිහට මුත්‍රාශයේ ගල් හඳුන්වන්නට  පුළුවන්. මේ වෙද්දි මේ රෝගයෙන් පෙළෙන උදවිය දන්නවා මේ රෝගය කොතරම් වේදනාකාරී රෝග තත්ත්වයක් ද කියලා. මුත්‍රාශයේ ගල් විදිහට හඳුනා ගන්නා මේ තත්ත්වයේදී වකුගඩුවල, මුත්‍රාශයේ, මුත්‍රා නාලවල කුඩා ප්‍රමාණයේ ගල් හෝ සෙන්ටිමීටර එකක හෝ දෙකක පමණ විශාල වුණු ගල් පවා ඇති වෙන්නට පුළුවන්.

 මේ  මුත්‍රාශයේ ගල් ඇති වෙන්නට බලපාන්නේ අපේම ආහාර රටාවේ හා චර්යා රටාවේ විවිධ බලපෑම්. දවසට අවශ්‍ය කරන ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීම තමයි මේ රෝගයට මූලිකම හේතුව වෙන්නේ. ඒ නිසා මුත්‍රා ගල්වලින් ආරක්ෂා වෙලා ඉන්නට  නම් දවසකට වතුර වීදුරු 8 ක් පමණ  ප්‍රමාණයක් පානය කිරීම කළ යුතු බව සඳහන් වෙනවා. ඒ විතරක්ම නෙමෙයි දියරමය ආහාර වර්ග වැඩි වශයෙන් ගන්නා අයටත් මේ රෝග තත්ත්වයෙන් ආරක්ෂා වෙලා ඉන්නට පුළුවන්.අපි අද ඔයාලට කියන්නේ මුත්‍රා ගල් දියකර හැරීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් සම්බන්ධවයි.

රාබු  මුත්‍රා ගල් සුවපත් කරගන්නට සිදුකළ හැකි පිළියම් අතර වඩාත් සාර්ථක පිළියමක් තමයි රාබු  යුෂ පානය.රාබු ගෙඩියක් හෝ කිහිපයක් ගෙන එය හොඳින් පිරිසුදු කර කුඩා කොටස්වලට කපා බ්ලෙන්ඩර් කර ලබාගත් යුෂවලට ජලය ලීටර් 200 ක් පමණ එකතු කරමින් සාදාගත හැකි රාබු යුෂ සතියකට දින කිහිපයක් පානය කිරීම මඟින් මුත්‍රා ගල් ඉතා පහසුවෙන් සුවකර ගන්නට පුළුවන්. ඒ  හැරුනහම රාබු ව්‍යංජනයක් ලෙස වගේම රාබු කොළ මැල්ලුමක් ලෙස සකසා ආහාරයට ගැනීමත් මේ මුත්‍රා ගල්වලින් සුවය ලබන්නට අපිට භාවිතා කරන්නට පුළුවන්.

කටු අනෝදා පානය කටු අනෝදා යුෂ සතියකට දින කිහිපයක් පානය කිරීම මගින් මුත්‍රා ගල් සුවපත් කරගන්න පුළුවන්. හොඳින් ඉඳුණු කටු අනෝදා ගෙඩියක මදය ගෙන ඇට ඉවත් කරමින් ලබාගත් කොටස් ජලය එකතු කර බ්ලෙන්ඩර් කරගෙන යුෂ වශයෙන් සකසා ගන්න. ඒ වගේම පලතුරක් ලෙස නිතර ආහාරයට ගැනීම මඟින් පවා  මුත්‍රා ගල් ඇතිවීම වළක්වා ගන්න  වගේම ඇතිවුණ මුත්‍රා ගල් දියකර හැරීමටත්  උපකාරී වෙනවා. 

කැකිරි ශරීරය සිසිල් කරන කැකිරි මුත්‍රා ගල් නිට්ටාවටම සුවකර ගැනීම සඳහා වූ ප්‍රතිකර්ම සඳහා භාවිතයට ගන්නට පුළුවන්. කැකිරි යුෂ වශයෙන් ආහාරයට ගැනීම වගේම එළවළුවක් වශයෙන් ආහාරයට  ගැනීමත් මේ සඳහා ගුණදායකයි.

මැටි මුට්ටියක් ගෙන රතු කැකුළු සහල් කාල් භාගයක් සෝදා එයට එකතු කරන්න.

උයන කැකිරි ගෙඩියක් (ග්‍රෑම් 250 ක් ) අඟල් දෙකක පමණ කැබලිවලට කපා එයටම එකතු කරන්න. ඉන්පසු තැඹිලි වතුර මිලිලීටර් 300 ක් පමණ එකතු කර කොට මුට්ටියේ  කට පිරිසිදු රෙදි කඩකින් ගැටගසා මද ගින්දරේ පිස ගන්න. 

බත් කැඳ සිදුණු පසු ලිපෙන් ඉවත් කර සිසිල්වන තුරු ටික වෙලාවක් තබා මුට්ටියෙ ඇති තැම්බුණු කැකිරි කැබලි සියල්ල ආහාරයට ගන්න. මෙහි ඇති  බත් කිසිම අවස්ථාවක් ආහාරයට ගන්න එපා .

ඒ වගේම මේ කැකිරි කැබලි ආහාරයට ගැනීමෙන් මිනිත්තු හතළිහක් ගතවන තුරු කිසිවක් ආහාරයට නොගෙන විනාඩි 45 ක් ගතවූ පසුව හොඳින් උණුකර  නිවාගත් ජලය වීදුරුවක් පානය කිරීමෙන් පසු ආහාරයක් හෝ පානයක් ඔබට ලබා ගන්නට පුළුවන්. මෙය  දවසකට දෙවරක් දින විසිඑකක් පමණ සිදු කිරීමෙන් මුත්‍රා ගල් නිට්ටාවටම සුවපත් කරගන්නට පුළුවන්. 

අක්කපාන මුත්‍රා රෝගවලට සහ වකුගඩු රෝගවලට ඉතාම ගුණදායක අක්කපාන යුෂ වශයෙන්  සකසා පානයක් ලෙස ගැනීම වගේම  සම්බෝලයක් ලෙස සකසා ආහාරයට ගැනීමත් මුත්‍රා ගල් දියකර හරින්නට ප්‍රබල ඖෂධයක්.

 අක්කපාන, කැකිරි ඇට සහ පෙනල ස්වල්පයක් සමඟ තම්බා පානය කිරීමත්, අක්කපාන සහ නීරමුල්ලිය මිට බැගින් ගෙන තම්බා පානය කිරීම හෝ අක්කපාන සම්බෝලය  එක දිගට ආහාරයට ගැනීමත් මගින් මුත්‍රා ගල් දියකර ගන්න පුළුවන්. නමුත් මුත්‍රා ගල් නොමැති අයට මෙය මසකට දෙවරක් පමණ ආහාරයට ගැනීම ප්‍රමාණවත්. 

නීරමුල්ලිය, පොල් පලා තැම්බූ වතුර පානය මුත්‍රා ගල් සඳහා පොල්පළා ඉතාම හොඳ ඖෂධයක් වුණත්  නියමිත මාත්‍රාවට සහ නියමිත කාලයට පමණක් පානයට ගත යුතුයි. අනවබෝධයෙන් මෙය පානය කරන්නට එපා. වැඩිපුර පානය කිරීමෙන් වකුගඩු නරක් වීමටත් ඉඩ තියෙනවා. ඒ නිසා ඇති හැම වෙලාවෙම කැඳ විදිහට පොල්පලා සකසාගෙන ආහාරයට ගන්න. 

ලුණු කැද, බාර්ල්,  මුං  ඇට තැම්බූ වතුර ආදියත් මුත්‍රා ගල් දියකර හරින්නට උපකාරී වෙන පිළියම්. ඔබ වකුගඩුවල වෙනත් රෝග හෝ වෙනත් ඖෂධ  ලබා ගන්න අයෙක් නම් මේ පිළියම් සිදු කරන්නට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.