මුත්‍රාශයේ ඇතිවී තිබෙන ගල් සදහටම ඉවත් කරන නීරමුල්ලිය ශාකය සතු ගුණ 8 ක්

health tips

මුත්‍රා ගල් ඇතිවීම ඇතුළු රෝග රැසක් නසන ගුණ සපිරි ඔසු පැලෑටියක් තමයි නීරමුල්ලිය කියන්නේ. නීරමුල්ලිය යන නම හැරුණාම ගොකටු , ඉකිරිය යන නම්වලිනුත් මේ ඔසු පැලෑටිය හදුන්වනවා. ඖෂධයක් විදියටත් ආහාරයක් විදියටත් භාවිතා කරන්නට හැකියාව තියෙන මේ ශාකය ජලාශ්‍රිත ප්‍රදේශවල වැඩිපුරම දකින්නට  ලැබෙනවා. ආයුර්වේද විද්‍යාවට අනුව නීර්මුල්ලිය සතු ඖෂධීය ගුණයන් අති මහත්. එය ලෙඩ රෝග රාශියක් සුවපත් කරන්නට පුරාණයේ සිටම භාවිතා කළා. ඉතින් සෑම ගෙදරකම වගා කර ගත යුතු මේ වටිනා ඔසු පැළය ගැනයි මේ කියන්න යන්නේ.

මේ  නීරමුල්ලිය පැළෑටිය සුදු සහ නිල් පැහැ හටගන්නා වර්ගය වශයෙන් ප්‍රභේද දෙකකින් සමන්විතයි. මේ දෙවර්ගයම සතු ඖෂධීය ගුණවල වෙනසක් නැහැ. අඩි 2-3 ක් පමණ උසට වැඩෙන පුරුක් සහිත කඳකින් සමන්විත පැලෑටිය කටු සහිත ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඒ කටු ගස හොඳින් මෝරා යනවිට පුරුක් සම්බන්ධ වන ස්ථානයෙන් හටගනු ලබනවා. 

ආයුර්වේදයේ විවිධ  ලෙඩ රෝග සුවපත් කරන්නට ප්‍රතිකාරවලට මේ නීරමුල්ලිය ශාකය බහුලවම භාවිතයට  ගැනෙනවා. මේ ශාකයේ පොටෑසියම් සල්පේට්,පොටෑසියම් ක්ලෝරයිඩ් අඩංගු අතර මෙහි මුලේ ඇල්කලොයි අඩංගුව පවතිනවා. ආයූර්වේදයට අනුව නීරමුල්ලිය ශීත හා වීර්ය ගුණ සහිතයි.මධුර අම්ල තිත්ත රසින් සමන්විතයි.

නීරමුල්ලිය සතු ඖෂධීය භාවිතයන් 

මුත්‍රා අමාරු සඳහා  නීරමුල්ලිය මුල්, ගොකටු මුල්, බෙහෙත් එරඩු මුල් සමව ගෙන පවනේ වියළා කුඩු කර තබාගෙන තේ හැන්දක් පමණ එළකිරි සමඟ උදෑසන පානය කරන්න.නීරමුල්ලිය තම්බා ගත් වතුර පානය කරන්න.

රුධිරය පිරිසිදු කිරීමට නීරමුල්ලිය මුල් කලං 12 ගෙන වතුර කාල් 8 ක් යොදා පත 8 එකට සිදුවා මී පැණි දමා උදේ සවස පානය කරන්න.

ලිංගික දුබලතා සඳහා නීරමුල්ලිය ඇට, වඳුරු මෑ ඇට චූර්ණ කර, උණු නොකළ එළකිරිවලින් දිය කර සීනි දමා පානය කරන්න.

සෙංගමාල සඳහා නීරමුල්ලිය ,මොණර කුඩුම්බි සමව ගෙන කොටාගත් යුෂවලින් කැඳ පිස කිතුල් හකුරු සමඟ උදෑසන හිස්බඩ පානය කරන්න.

විෂ නැසීමට වඩාත් විෂ සර්ප දෂ්ඨනයකදී බොහෝසෙයින් සිදුවන වකුගඩු නරක්වීම වළකා ගන්නට වෙද මහතෙකු හමුවන තෙක් ප්‍රථමාධාරයක් වශයෙන් නීරමුල්ලිය සහමුලින්ම තම්බා රෝගියාට පෙවීම හෝ කැඳ පිසදීම සිදු ලබනවා. ශරීරයේ රුධිරගත විෂ වකුගඩු තුළදී මුත්‍රාශයට පෙරා වැඩි වශයෙන් ශරීරයෙන් බැහැර කරන්නට ඉකිරිය ඉතා වැදගත්ම මෙහෙයක් ඉටු කරනවා.

ඒ හැරුණාම නීරමුල්ලිය ව්‍යංජනයක් ලෙස, මැල්ලුමක් ලෙස සලාදයක් ලෙස ආහාරයට ගන්නට පුළුවන්. ඔබ පිළියෙල කරන ගොටුකොළ ,මුකුණුවැන්න වගේ පලාවකටත් නීරමුල්ලිය කොළ දෙක තුනක් එකතු කර ආහාරයට ගන්නට පුළුවන්.

නීරමුල්ලිය ව්‍යංජනය නීරමුල්ලිය දඩු සහ කොල සෝදා කැබලිවලට කපා ගන්න.ඉන්පසුව භාජනයක් ගෙන එයට කපාගත් රතු ළූණු උම්බලකඩ, කරි කුඩු, මිටි කිරි, කහ කුඩු, මිරිස් කුඩු, දෙකට පලාගත් අමු මිරිස් හා සුදුළූණු එකතු කර ළිප තබන්න. රස අනුව ලුණු එකතු කර දෙහි යුෂ ස්වල්පයක් ද එකතු කරගෙන හිදෙන තුරු පිසගෙන ආහාරයට ගන්න.

නීරමුල්ලිය සතු අපූරු ගුණ 

  • හොඳින් මුත්‍රා වඩවන ගුණයෙන් සමන්විතයි . දියවැඩියා රෝගීන්ට යහපත්.
  • රත්පිත් සමනය කරයි.
  • ඇස් රෝග සුව කරයි.
  • රක්තහීනතාවය දුරලයි.
  • ලේ පිරිසිදු  කරයි . 
  • වකුගඩු, මුත්‍ර නාල හා මුත්‍රාශයේ ඇතිවන ගල් සඳහා ඉතා ගුණදායකයි.
  • මුත්‍රා දැවිල්ල, මුත්‍ර පිට කිරීමේදී ඇතිවන වේදනාව, මුත්‍රා පිටවීම අවහිරවීම නැති කරයි. 
  • ලිංගික බෙලහීනතාවය හා ශුක්‍රාණු නිෂ්පාදනය නොවීමට ගුණදායකයි. අධි රුධිර පීඩනයට ගුණදායකයි.
  • ශක්තිය ජනනය කරයි.
  • ආමවාත දුර කරයි.
  • අමිල පිත්ත රෝගීන්ට හිතකරයි.
  • අක්මා රෝග වළක්වා අක්මාව ආරක්ෂා කරයි.
  • මොළයේ නීරෝගි පැවැත්මට හිතකරයි නීරමුල්ලිය දලු සලාදය කැස්සට වගේම සිරුරේ අභ්‍යන්තර හා බාහිර ඉදිමුම්වලට ඉතාම ගුණදායකයි. 
  • සම පැහැපත් කරයි.
  • කිරිදෙන මව්වරුන්ට නැවත මාසික ඔසප් චක්‍රය ඇති කරන්නට උපකාරී වෙයි.
  • ආතරයිටිස් රෝගයට ඉතා සුදුසුයි.
  • කිරිදෙන මව්වරුන්ට කිරි වඩවයි.
  • උණ අඩු කරයි.
  • මලබද්ධය සුව කරයි.
  • හෘද රෝග සුවපත් කරයි.
  • කුෂ්ට රෝග සමනය කරයි.
  • ගොනෝරියා ආදී සමාජ රෝගවලට ගුණදෙයි.
  • බැක්ටීරියා වෛරස්වලට එරෙහිවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ගොඩනංවයි.

සැලකිය යුතුයි.දිනපතා නීරමුල්ලිය ගැනීමෙන් වකුගඩු පද්ධතියට හානිදායක විය හැකියි. එනිසා සතියකට වරක් දෙවරක් පමණක් නීරමුල්ලිය භාවිතයට ගන්න. ඒ වගේම වකුගඩු ආබාධ ඇති අයත්  නිතර නීරමුල්ලිය  භාවිතා කිරීම සුදුසු නැහැ.