රක්තහීනතාවය නැත්නම් ශරීරයේ රුධිර සෛලවල හිමොග්ලොබින් ප්‍රමාණය අඩුවීම කුඩා දරුවන්ටත් වැඩිහිටි උදවියටත් .ඇති වෙන්නට හැකි තත්වයක්. බොහෝවිට මේ තත්ත්වය කාන්තාවන් අතර බහුලව දකින්නට පුළුවන්. මේ නිරක්තිය ඇතිවෙන්නට හේතු කිහිපයක්ම බලපානු ලබනවා. පණු රෝග, පෝෂණ ඌණතා ආදිය එහිදී මූලික වෙනවා. කොහොමනමුත් දිගුකාලීනව මේ රක්තහීනතාවයෙන් පෙළීම නිතර නිතර ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට මූලික හේතුවක්. ඔබ රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නම් ඇඟ සුදුමැලිවීම, ක්ලාන්තය, සිරුරේ අප්‍රාණික බව, අධික නිදිමත, විඩාව,ස්වසන අපහසුතා, හිසරදය හාල්, මැටි, පස්, ලුණු ඇඹුල් වලට වැඩි රුචිකත්වයක් දැක්වීම, අතුල් පතුල් ඉදීමීම හා රාත්‍රී කාලයේදී අස්ථිවල වේදනාව ආදී ලක්ෂණ ඇති වෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයකදී ඔබ වහාම ශරීරයේ ලේ වඩවන ආහාර ලබා ගැනීම කළ යුතු වෙනවා. ඉතින් අපි අද ඔබට කියන්නට යන්නේ රක්තහීනතාවය දුරු කරගන්නට අනුභව කළ යුතු දේශීය කැඳ වර්ග පිළිබඳවයි.
අද බොහෝදෙනෙක් දවස පටන් ගන්නේ කිරි පිටි වීදුරුවක් හෝ කෝපි හෝ තේ කෝප්පයක් පානය කිරීමෙන්. නමුත් එදා අපේ ගැමි ජනතාව තමන්ගේ දවස ආරම්භ කළේ බොහෝ විට ඔසු කැඳ කෝප්පයකින්. එහෙමත් නැත්නම් පොල් කිරි කැඳ කෝප්පයකින්. උදෑසනට කොළ කැඳ කෝප්පයකින් දවස ආරම්භ කරන්නට නොහැකි වුණොත් ඔවුන් සතියකට දින කිහිපයක් හෝ ඖෂධීය කැඳක් පානය කළා. ඒ නිසාම ඔවුන් නීරෝගීව බොහෝ කාලයක් ජීවත් වුණා. නමුත් අවාසනාවට වත්මන් පරපුරේ අපි උපහාසයට කියන්නෙත් කැඳ බීලා වගෙයි කියලා. මොකද අද කැඳ පානය කිරීම වගේම ඔවුන්ගේ තත්ත්වයට මදිපුංචි කමක් ලෙසයි ඔවුන් සලකන්නේ. නමුත් එදා වගේම ජවසම්පන්නව නීරෝගීව ජීවත් වෙන්නට නම් අපෙන් දුරස්ව යන ඔසු කැඳ සහ ඔසු පැන් දේශීය ආහාරපාන නැවත අපේ ජීවිතයට සමීප කරගත යුතුමයි. ඉතින් මේ රක්තහීනතාවය නැත්නම් ලේ නැතිකම කියන තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නටත් රක්තහීනතාවය දුරුකර ගන්නටත් අපිට භාවිතා කරන්නට හැකි දේශීය කැඳ වර්ග ඕනෑ තරම්. අපි අද බලමු එසේ ලේ වඩවන කැඳ වර්ග කිහිපයක් පිළිබඳව.

මුරුංගා කොළ කැඳ නව යොවුන් වියේ දැරියන්ටත් ළමා වියේ දරුවන්ටත් වැඩිහිටි සැමටමත් පානය කළ හැකි යකඩ අඩුවීම දුරු කරන අපූරු කැඳ වර්ගයක් තමයි මුරුංගා කොළ දළු කැඳ. වෙනත් කොළ භාවිතයෙන් කොළ කැඳ සාදා ගන්නා ආකාරයටම මුරුංගා දළු සහ කොළ බ්ලෙන්ඩර් කර එහි යුෂ එකතු කර මුරුංගා කැඳ පිස ගන්නට පුළුවන්. රෝග 300 කට අධික ප්‍රමාණයකින් අපිව ආරක්ෂා කරන්නට හැකි මුරුංගා කැඳ රක්තීනතාවයත් දුරු කර ලේ වඩවනවා.
මොනරකුඩුම්බි කැඳ මේ ශාකයේ පිපුණු මල් මොනරෙකුගේ හිස් මුදුනේ පිහිටි ශිඛාව මෙන් පෙනෙන නිසාවෙන් මේ පැලෑටිය මොනර කුඩුම්බිය විදියට හඳුන්වනවා. සෙන්ටිමීටර් 30 ක් පමණ උසට වැවෙන මේ පැලෑටිය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දකින්නට පුළුවන්. මොනර කුඩුම්බි ශාකයම ඉතා ඉහළ ඖෂධීය වටිනාකමකින් සමන්විතයි. ඒ නිසාම ශාකයේ සියලුම කොටස් ප්‍රයෝජනයට ගනු ලබනවා. මොනර කුඩුම්බි කැඳ බොහෝ අය අතර ප්‍රචලිතයි. රෝග බොහොමයක් සුවකර ගන්නට උපකාරී වෙන මොනරකුඩුම්බි කැඳ රක්තහීනතාවය දුරු කරගන්නටත් ඉතාම සුදුසුයි.
මෙහි කාබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස්, යකඩ ආදී ඛනිජ, විටමින් A,B,C,D,සහ E ආදී පෝෂක ගණනාවක් අඩංගු නිසා බොහෝ ප්‍රතිලාභ එයින් අපිට ලබා ගන්නට පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය
ගලවා ගත් මොනර කුඩුම්බි පැලෑටියක්
පොල් ස්වල්පයක්
කැකුළු සහල් ස්වල්පයක් / හීනටි සහල්
රතු ළූනු සහ සුදු ලූණු ගෙඩි කිහිපයක්
හකුරු කෑල්ලක්
සාදා ගන්නා ආකාරය සම්පූර්ණ මොනර කුඩුම්බි ශාකයම සෝදා පිරිසිදු කරගෙන බ්ලෙන්ඩරයට දමා එයට වතුර සහ පොල් එකතු කර යුෂ ලබාගන්න.කැකුළු සහල් සහ සිහින්ව කපාගත් සුදු ළූණු, රතු ළූණු ආදියත් දමා හොදින් තම්බා එයට බ්ලෙන්ඩර් කරගත් මොනරකුඩුම්බි යුෂ එකතු කර නටවා හකුරු සමඟ පානය කරන්න.
ගොටුකොළ කැඳ ගොටුකොළ ආහාරයට එකතු කර ගැනීමෙන් වගේම කැඳ වශයෙන් පිළියෙල කර දිනපතා උදෑසන පානයට ගැනීමෙන් අපේ දේහයේ ලෙඩරෝග බොහොමයක් දුරුකර අපිව නීරෝගී කරනවා. දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරමින් අමිල මෙහෙයක් ඉටු කරනවා. ගොටුකොළ කැඳ වෙනත් පලා සමඟ මිශ්‍රකර වගේම ගොටුකොළ භාවිතයෙන් පමණක් වුණත් සකසා පානය කරන්නට පුළුවන්.

හීන්බෝවිටියා කැඳ අපේ රටට පමණක් ආවේණික හීන්බෝවිටියා රෝග බොහොමයකටම ගුණදායක වටිනා ශාකයක්. එය රක්තහීනතාවය දුරු කරගන්නටත් අපිට කැඳ වශයෙන් සකසා පානය කරන්නටත් පුළුවන්.
කැකුළු සහල් ස්වල්පයක් හොඳින් සෝදා හොඳින් තම්බා ගෙන හීන් බෝවිටියා කොළ කොටා එහි යුෂ ද වෙන් කර ගන්න. එහි රොඩු ටිකට පොල් දමා කොටා දෙවරක් මිරිකා ගෙන හාල් තැම්බෙන විට සුදු ළූණු බික් 2 ක් හා අමු ඉඟුරු දමා තැම්බූ පසු පොඩි කර මිරිකාගත් පොල් කිරි දමා හොදින් පස්සවා ගන්න. පසුව ලුණු සහ කොළ යුෂ එකතු කර උතුරවා විනාඩි 3 ක් පමණ හැදි ගා පානය කරන්න. අවශ්‍ය නම් හකුරු සමඟ පානය කරන්න.
මෙය සකස් කර ගැනීමේදී දියවැඩියාව කොලෙස්ටරෝල් ඇති අය පොල් නොදමා සකස් කරගන්න. කොලෙස්ටරෝල් රෝගීන් සුමානයකට දෙපාරක් මේ හීන් බෝවිටියා කැඳ වර්ගය පානය කිරීම සුදුසුයි.
මෙවැනි රෝගීන්ට මේ කැඳවලට බැද කුඩුකරගත් මුං ඇට පිටි ස්වල්පයක් හා ගම්මිරිස් ඇට 2-3 ක් එකතු කර පානය කිරීම වඩාත් සුදුසුයි. ඒ වගේම කොළ යුෂ එකතු කර වැඩි කාලයක් පිස නොගැනීමටත් වගබලා ගන්න. එයින් ඒවායේ පෝෂණ ගුණය විනාශ වී යන්නට ඉඩ ඇති නිසා.
ඉතින් මෙවැනි කැඳ වර්ග සතියකට දෙතුන් වතාවක් හෝ පානය කරන්නට උනන්දු වුණොත් ඔබේ ලෙඩ රෝග බොහොමයක් ඉතා ඉක්මනින් සුවපත් කරගන්නත් මාරාන්තික යැයි සැලකෙන බොහෝ රෝගවලින් ආරක්ෂා වී සිටින්නත් උපකාරී වෙනවා.